.........towards the stream of thoughts

Sunday, August 31, 2014

මන්දාරම් අඳුර මැදින්


"දැන් උඹ මොනවද කරන්න හිතා ගෙන ඉන්නේ. ඉස්කෝලේ ලොකු මහත්තයා නම් කිව්වේ උඹව ටවුමේ ලොකු ඉස්කෝලෙට යවන්න කියලා."  අඳුරු කුටියට වැටෙන සිහින් එළිය දෙස බලා ගෙන තාත්තා අසයි.
 
"එච්චර සල්ලියක් නැහැනේ තාත්තේ . අනික නංගි ගැන බලන්නත් එපැයි. මම ගමේ ඉස්කෝලෙටම යන්නම්. හොඳ පන්තියකට දෙකකට ගියොත් මට විභාගේ පාස් වෙන්න පුළුවන් වෙයි"
 
"උඹේ කැමැත්තක් . අපිට ඕව ගැන තේරුමක් නැහැ නෙවෙ"
 
" කොල්ලට දොස්තර මහත්තැන් කෙනෙක් වෙන්න ඕනමයි කියන්නේ. ඕක ගොඩක් අමරුයිලු. කලා කොලා නම් එච්චර නැහෙන්නේ නැතුවම විස්ස විද්‍යාලේ යන්න තිබ්බ" අම්මා කියයි.
 
" කොලුවගෙ ආසාව තියෙන දේ එපැයි කොරන්න දෙන්න" තාත්තා කියයි.
 
"මිනිහෙක්ගේ හද ගැස්ම අදුනගන්න පුළුවන් ක්‍රම දෙකයි මේ ලෝකෙ තියෙන්නේ. එකක් කලාකාරයෙක් වෙන එක අනික දොස්තර කෙනෙක් වෙන එක . කලාකාරයෙක් වෙලා අම්මලාව බලාගන්න මට බැහැ. ගොඩක් කලාකාරයෝ මිනිය තියන්නවත් තැනක් නැතුවයි මැරෙන්නේ. අම්මල ඔය දුක් වින්ද ඇති. මට ඕනේ අම්මලාව මේ නරකාදියෙන් බේර ගන්න. එකට ටිකක් මහන්සි වෙන්න වුණාට කමක් නැහැ. දුක් විදලා ලැබෙන දේයි ගොඩක් වටින්නේ."


බස් රථයේ කවුළුවෙන් හීතලම හුළඟක් හමා එන්නේ මගේ හිසකෙස් තවත් අවුල් කරමිනි. වේගයෙන් ගමන් වංගු අතරින් ගමන් ගන්න බසයේ කෙළවරක වාඩි වී හුන් මට මීට සය වසරකට පෙර  අම්මා සහ තාත්තා පැවසු ඒ වදන් සිහියට නැගේ. මගේ දෙනෙත් තෙත්ව ඇති බව දැනෙන විට  මං කඳුළු සෙමින් පිසදා ගනිමි. මම ඇදුම් බෑගය තවත් තදින් තුරුළු කර ගනිමි. මගේ පළමු පත්වීම මන්දාරම් නුවර ග්‍රාමීය රෝහලටය. අසුනේ ඒ මේ අතට බර වන විට  ඇදුම් බෑගයේ ඇති වෙද නළාවේ ආදරණීය ස්පර්ශය මට දැනේ.

අලුත් පත්වීම ලැබ ඒ නාදුනන පෙදෙසට ගිය පසු මගේ ළයාදර සේවකයා වූයේ අප්පුය. ඔහු මුඛරි කම සහජයෙන් මෙන් උරුම කර ගත්තෙකි.

" මේ පැත්ත හරිම හාස්කම් තියෙන පැත්තක් සර් .අපේ රාවණා රජ්ජුරුවෝ සීතා දේවිව හිර කරලා තිබ්බේ මේ පළාතේ කියලයි ගම්මු කියන්නේ.  ඒ ගොල්ලෝ රාවණා රජ්ජුරුවන්ව දෙවියෙක් වගේ අදහනවා "

" වෙන කෙනෙක්ගේ බිරිඳක් පැහැරගෙන ඇවිත් හිර කරලා තියාගෙන ආදරේ ලැබෙයි කියල බලන් හිටියා මිනිහෙක් මට පේන්නේ මෝඩයෙක් හැටියට මිසක් දෙවියෙක් හැටියට නෙවෙයි අප්පු"

"අම්මෝ සර් ඔය කතා කියන්න එපා. රාවණා රජ්ජුරුවන්ගේ අඩවිය මේක"

මම ඔහුගේ අනුවණකම ගැන සිතමින් තනිව සිනාසෙමි.

                                                   *************


                                   අලුත් තැනට පැමිණ දින තුනක් ගත විය.එදින තරමක් මීදුම පැවතියද උදෑසනින්ම ඇවිදින්නට යාමට මට සිත් විය. කුඩා කල පටන් සීත කාලගුණය මට හොදින් ඔරොත්තු දෙයි. අප්පු සැකසූ කිරි කෝපි කෝප්පය උගුරට දෙකට පානය කළ මම මීදුම අතරින් කඳුකර මායිම ඔස්සේ පිය මැන්නෙමි.

තවම හිරු නැගී නොමැති මුත්, පෙරදිග අහසේ වුයේ චමත්කාරජනක ප්‍රභාශ්වර මන්දාලෝකයකි. හෙල්මළු කුඹුරු වලට එපිටින් මීදුම අතරින් රන් කෙඳි සේ අරුණාලෝකය පතිත වෙයි. මීදුම මැදින් කිසිවක් පැහැදිලිව නොපෙනුණනද මට අඩි කීපයක් ඉදිරියෙන් ගමන් ගන්න කාන්තාවකගේ රුවක් මගේ නෙත ගැටිණි.

විගසින් කඳුකර මාර්ගයේ  එක කෙළවරක  සිට වේගයෙන්  පැමිණි ලොරි රථයක් මහා හඩින් තිරිංග තද කරන හඬ මට ඇසිණි.ඉන් පසු එය මා සිටි ස්ථානයද පසු කර වේගයෙන් ධාවනය විය.

කුමක් හෝ හේතුවක් නිසා අනතුරක සේයාවක් මට ඉව වැටිණි.  ඉන්  මොහොතකටවත් නොනැවතුණු මම ශබ්දය පැමිණි දිසාවට , මීදුම කපා ගෙන වේගයෙන් දිව ගියෙමි.

මාර්ගය කෙළවර වූ තැන බිස්ස මත තරුණියක් වැටි සිටියාය.  අනතුරින් අයගේ නළලේ වම පස දරුණු ලෙස තුවාල වී තිබිණි .වෙද නලාව සාක්කුවේ තිබීම ගැන ස්තුතිවන්ත වූ මට ඇය තවමත් ජීවතුන් අතර බව පසක් විය. ඇය තවත් පියවර කිහිපයක් පසුපසට විසිවී ගියා නම් ප්‍රපාතයෙන් වැටී මිය යන්නට ඉඩ තිබිණි.

                                                ****************


මගේ ප්‍රතිකාරයෙන්  ඇය යම් ගුණයක් ලැබුවාය. මෙවැනි දුෂ්කර පළාතක දුක් විදින තරුණියකගෙන් අපේක්ෂා කළ නොහැකි අන්දමේ රූමත් සහ බුද්ධිමත් පෙනුමක් ඈ කෙරෙන් දිස් විය. මින් පෙර සරසවියේ සය වසර තුළදී පවා නොහැගුණ හැඟුමකින් මගේ සිත පිරී ගොස්ය. ඇයගේ තත්වය නරක අතට හරි අයව නගරයේ රෝහලට මාරු කර යැවීමට සිදු වේ යැයි මා තුල බියක් විය. ඒ බියෙහි මුල ඇත්තේ ප්‍රේමයක් බව තේරුම් ගැනීමට මට අපහසු නොවීය.
 
මා දකින විට වේදනාවෙන්  තැවුණු අයගේ දෙනෙත් වල කාන්තියක් පෙනේ.
 
I swear by Apollo, the healer, Asclepius, Hygieia, and Panacea and I take to witness all the gods, all the goddesses, to keep according to my ability and my judgment, the following Oath and agreement....
 

අවුරුදු සිය ගණනක් පැරණි හිපොක්‍රටික් දිවුරුම මගේ මනස තුළ දෝංකාර දෙයි. ඇය මගේ රෝගියාය. නමුදු කිසිවක් නොදැන ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති වීම නිසාදෝ මට මා ගැනම බියක් දැනුණි.

 " සර්ට ඕක තම මම කියන්නේ උදේ පාන්දර ඇවිදින්න යන්න එපා කියල" මේ සිදුවීම දැනගත් වහාම අප්පු කිවේය. ඔහුගේ මුහුණෙන් පල වුඋයේ භීතියට පත් ලකුණුය.

 " ලෙඩාගේ කාට හරි මේ ගැන දන්වන්න වෙයි"

 " වැඩක් නැහැ සර්. පියුමි ඉස්කෝලේ නෝනට කවුරුවත් නැහැ. එයා අර ළමා නිවාසේ තමයි පොඩි කාලේ ඉදන් හැදිලා තියෙන්නේ "  ඔහු නිල්වන් කඳු යාය පාමුල ඇති ගොඩනැගිල්ලකට ඇත දිගු කරයි.

 "හරිම හොඳ ඉස්කෝලේ නෝනා කෙනෙක් . ගමේ ඉස්කෝලේ හරියට වැඩ කරන කෙනෙක්ට ඉන්නේ එච්චරයි. මේ දවස් වල ළමා නිවාසේ ලලිතා නෝනා ඉස්කෝලේ නෝනට මනමාලයෙක් හොයනවා. ඉස්කෝලේ නෝනාගේ ඕවට කිසි උනන්දුවක් නැහැ". 

 " හැබෑට?" මගේ යටි සිත සතුටින් පිනුම් ගසයි.

 "තාම විසි තුනයිනේ මාමේ  කියල කියනවා මන් ඔය ගැන කියද්දී. මොනවා වුණත්  හොඳ ගුණ යහපත් මහත්තයෙක් හම්බ වෙන්න ඕනේ "

                                                  ************
කාලය වේගයෙන් ගෙවී ගොස්ය. නංගිගේ මංගල්ලයෙන් පසුව යුතුකම් ඉෂ්ට කළ වැඩිමහල් සොහොයුරෙකු ලෙස  මට වෙනදාටත් වඩා සැහැල්ලුවක් දැනේ . බරපතල රෝගීන් කිසිවෙකු නොසිටීම නිසා  ඒ කටයුතු කර ගැනීම මට පහසුවක් විය.

" දැන් පුතත් පිළිවෙලක් වුනොත් නරකද?" අම්මාගේ හැම ලියුමකම එම වාක්‍යය නොවැරදීම තිබේ.

              මා නංගිගේ මගුල සදහා මන්දාරම් නුවරින් පිට වූ දින පියුමි සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබිණි. එක දිගට නිවාඩු ගැනීමට මට සිදු වුණේ අන් විකල්පයක් නොවූ හෙයිනි.මේ බව මට දැනගන්නට ලැබුණේ මසකට පසු ආපසු රෝහලට පැමිණෙන අතරමගදී අයව හමු වූ  විටය. 
         මට ඒ ගැන කිසිත් නොකියා මගේ රෝගියා ගැන එවන් තීරණයක් ගැනීම නිසා මම රෝහලේ ජේෂ්ඨ වෛද්‍යවරයා සමග අමනාපයෙන් පසු වුණෙමි.  නමුත් ඇය කීවේ ඇය වෙනදාටත් වඩා සුවෙන් පසුවන හෙයින් ඔහුගේ තීරණයේ වරදක් නැති බවය.
ඔහු විශ්‍රාම ගැනීමට දින කිහිපයක් පමණක් පවතී හෙයින් නිකරුනේ මේ ගැන වාද කර සිත් රිදවා ගැනීමට මම කැමති නොවීමි. රෝහලේ අනික් කිසිවෙකුත් අප්පුවත් ඉන් පසුව පියුමි ගැන වචනයක්වත් කතා නොකළහ.

පියුමි සහ මා අතර ඇති සම්බන්ධය ගැන කිසිවක් කිසිවෙකුටත් නොපැවසීමට මම වග බලා ගතිමි. කිසිවක් නොකීවද අප්පු හැසිරෙන්නේ තතු සියල්ල දන්නා කෙනෙකු පරිද්දෙනි.
     මට හැම දිනකම ඇයව මුණ ගැසෙන්නේ  ඇය මුලින්ම දුටු කඳුකර මාවතේ ඒ  වෙලාවටමය.  අප එතන සිට තණකොළ පලස මත වාඩි වී අල්ලප සල්ලාපයේ යෙදෙමින් හිරු නැගෙනයුර බලා සිටිමු. නිකරුනේ ගම්මුන්ගෙන් කතා අසා ගැනීමට අප දෙදෙනාටම අවශ්‍ය නොවීය. පෝය දින වල මට ඇයව මුණ නොගැසෙන්නේ ඇය උදෙන්ම සිල් ගැනීමට යන නිසාය.

 "එදා ඔයා නොහිටින්න මම මැරිලා ගොඩක් කල්" අයගේ කටහඬ සිහින්ය. හිත නිවනසුළුය.

 " ඔයා මැරෙන්න බයද?" මම අසමි.

 " අපි ආදරය කරන  දේවල් මැරුණට  පස්සේ හරි ලැබෙනවානම් මම මැරෙන්න බය නැහැ." ඇය සිනා සෙමින් කියන්නීය. සාහිත්‍ය පොත් මත ජීවත් වන ඇයගේ සමහර පිළිතුරු මට නොවැටහේ.

 

                                 ***********

 මගේ සිත පුරා පිරී පවතින්නේ ඉමහත් සතුටකි. තවත් මෙය ඔහුගෙන් වසන් කර තැබීමට මගේ සිත නොදෙයි.

 " අප්පු මට දෙයක් කියන්න තියෙනවා "

 ඔහු නෑබිළිය පසෙක ලා මා දෙස විස්මය මුසු බැල්මක් හෙළීය.

 " මං පියුමි මිස්ව බදින්නයි යන්නේ"

 අප්පුගේ නළලෙහි හා කම්මුලෙහි මස් පිඩු අවතාරයක් දුටුවාක් මෙන් වේගයෙන් සැලෙන්න විය.

 " මො...  ක... ක්...?"

 "මං පියුමි මිස්ව බදින්නයි යන්නේ"

 " ඇයි සර්.....මීට මාස තුනකට කලින් සර් නංගිගේ මංගල්ලෙට ගමේ ගිය දවසේ....... පියුමි මිස් නැති උනානේ..."

 
" සමහර දේවල් මැරුණට  පස්සේ හරි ලැබෙනවානම් මම මැරෙන්න බය නැහැ."

 ඇයගේ කටහඬ හීනෙන් මෙන් ඇසෙද්දී මම ක්ලාන්ත වුණෙමි.

 

                                                   සමාප්තයි.!

 

 

 

 

  

 
 
 
 
 
 
 
 

No comments:

Post a Comment