.........towards the stream of thoughts

Thursday, December 5, 2019

හිම මත මතක 02




සුදු හැඳගත් කාන්තා රූපය කෙමෙන් කෙමෙන් සමීප වන විට මොකක්දෝ හුරු පුරුදු ගතියක් මට දැනෙන්න පටන් ගත්තා. ඒත් මගේ හිතේ තිබුණු කැළඹිල්ල සහ චකිතය එයින් අඩු වුණේ නැහැ. සුදු ජාතිකයෙකුගේ හමට වඩා අඳුරු පැහැයක් ගත්ත ඇගේ මුහුණේ තිබුණේ ආසියාතික පෙනුමක් බව මම නිරීක්ෂණය කළා.

මාර්ක් කොලින්වුඩ්! ඇය කටහඬ අවදි කළා

මහ රෑ පාළු පාරකදී මුණ ගැහෙන සුදු ඇඳගත් ගැහැනියක් තමන්ගේ නම කියලා කතා කරනකොට මොන වීරයා වුණත් තිගැස්සෙනවා. ඒ තිගැස්ම මගේ ඇස්වලින් පෙනෙන්න ඇති.
.
දෙවියනේ! මොකද මේ බය වෙලා?

මනුෂ්‍ය වේශයෙන් ආව අවතාරයක් මාව මුළා කරලා මේ පාළු පාරේ මාව මරලා දාන්න හදනවාවත් ද?

 නැහැ! මගේ යටිහිත කෑගහලා විරෝධය පළ කළා.

මාර්ක් මොළේ කල්පනා කරලා වැඩ කරපන්! දැන් මතක් කරපන්. උඹ කවදහරි මේ කෙල්ලව කලින් දැකලා තියෙනවද මගේ යටිහිත ඒකාධිපති විදිහට මට අණ කළා.

කාලයේ වැලි තලාවෙන් ජීවිතේ ගොඩක් දේවල් වහලා හංගලා දාන්න පුළුවන් වුණත් එක හදිසි සැඩ හුළඟකට පුළුවන් වැල්ලට යට වෙලා තිබුණු සිප්පි කටුවක් ආයෙත් උඩට මතු කරලා ගන්න. මේ හමුවීමත් ඒ වගේ තමයි.

දෙවියනේ සාධනා! මට කවදාවත් අමතක නොවෙන ඒ මුහුණ මට අමතක වුණේ කොහොමද?
                                         
                                                      *****************

දයාබර පාඨකයිනි, මම ලේඛකයෙකු හෝ සාහිත්‍යකරුවෙකු නොවෙමි. සාමාන්‍ය මිනිසෙකු සිය ජීවිත කාලය තුළ මුහුණ දෙන අත්දැකීම්වලට හාත්පසින්ම වෙනස් අත්දැකීම් සමුදායකට කෙටි කලක් තුළ මුහුණ දීමට මා හට සිදු විය. ඒ කතාන්තරය ඔබ වෙත කිව යුතුමය.

මිනිසා යනු පරිණාමයේ අග්‍රගණ්‍ය ඵලයකි. හෝමෝ සේපියන් මානවයා තෙක් විකසනය වී ඇති මනුෂ්‍යයාගේ අතීත ගමන් මඟ සැබවින්ම විස්මය එළවන සුලුය. තමාට මුහුණ පෑමට සිදු වන අනේක විධ බාධක සිය බුද්ධිය මෙහෙයවා ජය ගැනීමට හැකි වීම මනුෂ්‍යයා සතු ප්‍රබලතම හැකියාව බව මම අදහමි. එහෙත් විද්‍යාවට හා තාක්ෂණයට හසු නොවු යම් අපැහැදිලි සිදුවීම් ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ සිදු විය හැකිය. එවන් අවස්ථා වලදී අප හට කළ හැකි වන්නේ ඉරණමට ඉඩදී බලා සිටීම පමණි.

මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ඇති මා එම රහස් සමඟ කාලයාගේ ඇවෑමෙන් මෙලොව හැර යා යුතු නොවේ. ප්‍රබන්ධයක ස්වරූපයෙන් හෝ මා විඳ ඇති ඒ අත්දැකීම් ලෝකය හමුවට ගෙන ඒමට මම පන්හිඳ අතට ගනිමි.

2009.12.27
සමර්සෙට්

ශීත සෘතුවේ සෞම්‍ය සිසිලස මුළු එන්ගලන්තය පුරාම පැතිර ගොස් තිබුණේ නත්තල් සමයේ ප්‍රීතිය හා මුහු වෙමිනි. නත්තල් දිනය පවුලේ සාමාජිකයින් සමඟ ගත කළ යුතුය යන සම්ප්‍රදාය ගරු කළ මම ඉන් අනතුරුව මගේ පාසල් මිතුරෙකු වු පේලේඩ් ටෘමන් හමු වී නිවාඩුවක් ගත කිරීම සඳහා සමර්සෙට් වෙත යමින් සිටියෙමි.පසුගිය දින කිහිපය තුළ පැවති අධික හිමපතනය මේ වන විට තරමක් අඩු වී තිබුණ ද මාර්ග තවමත් හිමෙන් වැසී පැවතිණි.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ඉහළ නිලධාරියෙකු වු මගේ පියාගේ අකල් වියෝවෙන් පසුව මාත් මගේ මවත් ලන්ඩනයේ තනිවිය. මව ඇගේ ඥාති සහෝදරියගේ නිවසට ඇරලවු මම සන්ධ්‍යා යාමයේදී ලන්ඩනයෙන් පිටත් වුණෙමි. පේලේඩ් ටෘමන් මගේ දිගු කාලීන පාසල් මිත්‍රයෙකු වීමට හේතු වුයේ අපගේ සිතුම් පැතුම් වල පැවති සාම්‍යත්වයයි. ප්‍රභූ පෙළපතකින් පැවතී එන්නෙකු වුවද ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙකු විය. ලන්ඩනයේ සිට සමර්සෙට් දක්වා දුරක් පැමිණීමට මා පෙළඹවුයේ ද පේලේඩ්ගේ මෙම යහපත් චරිත ස්වභාවයයි.

කාලගුණ තත්ත්වය එතරම් යහපත් තත්ත්වයක නොපැවතීම නිසා මඳ වේගයෙන් රිය ධාවනය කිරීමට පරිස්සම් වුණේමි. මව මේ ගමන සඳහා කැමැත්ත පළ කළේ ද වේගයෙන් රිය පැදවීමෙන් වළකින බවට මගෙන් පොරොන්දුවක් ලබා ගැනීමෙන් අනතුරුවය.
සමර්සෙට් වෙත සමීප වෙමින් සිටිය දී මාර්ගයේ වම් පසට වන්නට ආරක්ෂිත වැට ආසන්නයේ යමක් හදිසියේ මා නෙත ගැටිණි. එය මාර්ගය මත මුනින් අතට වැටී ඇති කාන්තා සිරුරක් බව හඳුනා ගැනීමට ගතවුයේ නිමේෂයකි.
            රථය ආරක්ෂාකාරීව මාර්ගයේ කෙළවරක නැවතූ මා ඒ දෙසට වේගයෙන් දිව ගියේ මගේ යටි සිත යම් අනතුරක සේයාවක් සම්බන්ධයෙන් ඉඟි කළ හෙයිනි.

            ඇතැම් සුළු සිද්ධියකින් පවා ඉමහත් කම්පාවකට ලක් වන සංවේදී හදවතක් ඇති පුද්ගලයෙකු වු මා හට මා යන මඟ මෙසේ යමෙකු කරදරයට පත්ව ඇති විට එය නොතකා සිටිය නොහැකිය.
            සිහින් සිරුරකින් හෙබි තැනැත්තියක් වු ඇයගේ සිරුර ස්පර්ශ කළ වහාම දැඩි සීතලක් මා හට දැනිණි. ඇගේ මුහුණ හරවා බැලු විට මට දිස් වුයේ නළලෙහි ගැඹුරු තුවාලයකි.
මා ඇයට වහාම උපකාර කළ යුතුය. දැඩි ශීතල හා අධික රුධිර වහනය මධ්‍යයේ ඇය ජීවතුන් අතර සිටී ද යන්න පිළිබඳව ද මට හරිහැටි අදහසක් නොවීය. නමුත් ඇයව හැර දමා යාම මනුෂ්‍යත්වයට කරන නිගාවකි.

            මෆ්ලරයෙන් ඇගේ රුධිරය වහනය වන තුවාලය ආවරණය කළ මම ඇයව පසුපස අසුනේ හාන්සි කරවා රිය පණ ගැන්වුයෙමි. නාඳුනන අනතුරට පත් කාන්තාවක් මේ අයුරින් රෝහලට ගෙන යාමට සිත තුළ යම් චකිතයක් පැවතිය ද මගේ පරාර්ථකාමීත්වය එය අභිබවා ගියේ මගේ වාසනාවකට ද අවාසනාවකටදැයි මම ඒ වන විට නොදත්තෙමි  .