.........towards the stream of thoughts

Tuesday, September 2, 2014

සුපෙම් යාත්‍රා ..නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා (සවැනි දිගහැරුම)

" මට සමාවෙන්න බාධාවක් වුණා නම්. මම ඇවිත් ටිකක් වෙලා. වැඩේ අතරමගදී කතා කරන්න හොඳ නැති නිසයි හිටියේ."

"චිත්‍ර අදිනවා කියන්නේ භාවනාවක් වගේ වැඩක්.  නිරාමිස භාවනාවක් නම් නෙවෙයි. මේ චිත්‍ර එක්ක මම ගොඩක් ඇලෙනවා .ඔයා මගේ දැහැන බින්දා... අහා ඒකට කමක් නැහැ."  ඔහු පින්සල් පසෙක තබා හිස එසවූයේය.



සාවිත්‍රි ඔහුගේ මුහුණ පැහැදිලිව දුටුවේ එවරය. ඇයගේ දෙනෙත් විස්මයෙන් මහත් විය. හරි මට මතකයි.මේ ඔහුය! එය කෙතරම් අහම්බයක්ද?

" මන් හිතන්නේ අපි මීට කලින් කොහේදී  හරි මුණ ගැහිලා තියෙනවා.  පොත් ප්‍රදර්ශනේදි නේද? අර මට ගත්ත පොත දීලා ගියේ ගොඩගේ ස්ටෝල්  එකේදී"

"එහෙම දෙයක් වුණා මතකයි. එත් මට මූණ හරියට මතකයක් නැහැ. එත් ඔයා මේ ඇවිත් ඉන්නේ ඒ පොත මට ආපහු දීල යන්න වෙන්න බැහැ." විදර්ශන කීවේය.

සාවිත්‍රි මදක් විළියෙන් රතු විය.

" නැහැ මම සාවිත්‍රි. පත්තරේ වැඩ කරන්නේ. රහල් සර් තමයි මාව එව්වේ සම්මුඛ සාකච්ඡාවක් ගන්න කියල"

" මම ඔය දේවල් වලට ඒ හැටි කැමැත්තක් නැති බව මම රහල්ට පැහැදිලි කරලා කිව්වා. ඒ තියෙද්දිත්....මම දන්නේ නැහැ යි ඔයාව එව්වේ කියල..කොටින්ම මන් කැමති නැහැ මන් ගැන අනවශ්‍ය ප්‍රචාරයක් පත්තර වලින් දෙනවට. ඒ හින්ද මන් ඔය වැඩේට කැමති නැහැ. සමාවෙන්න"

" එහෙම කරන්න එපා. විදර්ශන මහත්මය, මම රහල් සර්ට පොරොන්දු වුණා ආර්ටිකල් එකක් දෙනවා කියල. මේක මගේ රස්සාවටත් හරි නැහැ."

අපක්ෂපාතී ලිපි නිසා දේශපාලකයින්ගේ නිරන්තර ක්‍රෝධයට පාත්‍ර වන සාවිත්‍රි මදක් හෝ සැනසුමක් ලැබුවේ මෙවැනි ලිපියක් සම්පාදනය කිරීමට ඉඩ ලැබෙන විටය. ඒ සදහා ඇති අවස්ථාව ගිලිහී යාමට ඉඩ දිය නොහැකිය.

"අපිට සාමාන්‍ය පිළිසදරක යෙදෙන්න පුළුවන්. හැබැයි සම්ප්‍රදායික සම්මුඛ සාකච්ඡාවක් නම් එපා. රහල්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් වුනොත් මම කියන්නම්කො මමයි එපා කිව්වේ කියල"

සාවිත්‍රි කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ බැල්මක් හෙළුවාය.

"එයා එපා කිව්වට කමක් නැහැ. කොහොමහරි ඕනේ විස්තර දැනගත්තොත් ආර්ටිකල් ඒක ලියන්න පුළුවන්." ඇය සිතුවාය.


"මම සායම් ටික හෝදගෙන එන්නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න". ඔහු අලංකාර වේවැල් පුටුවක් පෙන්නුවේය.

නිහැඩියාව මුසු නිස්කලංක පරිසරය සාවිත්‍රිගේ සිත පැහර ගත්තේය. ඊයේ පතිත වූ වරුසාව නිසා  තවමත් වාතයේ පැවතියේ ජාල වාෂ්ප මුසු සිසිල් බවකි. චිත්‍ර එල්ලා තිබූ බිත්තිය දෙස  ඇය බලාගත්වනම සිටියාය.

ඔහු ආපසු පැමිණියේ තීන්ත පැල්ලම් වැකුණු ඇඳුම වෙනුවට අලුත් ඇඳුමක් ඇඳගෙනය. නමුත් ඔහුගේ කේශ කලාපයේ  තිබූ අපිළිවෙල පෙර පරිදිම පැවතිණි. ඔහු ඇය සමීපයෙන්ම හිඳ ගන්නා විට ප්‍රසන්න ඖෂධීය සුවඳක් ඔහු වෙතින් වහනය විය.

" විදර්ශන මහත්මයා ඇයි ප්‍රසිද්ධ වෙනවට ඔය තරම් අකැමැති ?" සාවිත්‍රි ඇසුවාය .

"මහත්මය කියන්න ඕනේ නැහැ" ඔහු සිනා සුණේය.  සාමාන්‍යයෙන් කලාකරුවන් කෙරෙන් දක්නට ලැබෙන බුලත් කහට හෝ සිගරට් කහට බැදුණු දුර්වර්ණ දත් පෙළක් වෙනුවට ඔහුට හිමව තිබුණේ දීප්තිමත් දසන් පෙළකින් එළිය වූ සිනහවකි.

" මම චිත්‍ර අදින්නේ මගේ සතුට වෙනුවෙන් මිසක් ප්‍රසිද්ධ වෙන්න නැත්තම් මුදල් හම්බ කරන්න නෙවෙයි" ඔහු නිවුණු හඩින් කීවේය.

"එතකොට සල්ලි? එතකොට ප්‍රදර්ශනයක් තියන්නේ?"

" කාටවත් අත නොපා ජිවත් වෙන්න තරම් සල්ලි මා ගාව තියෙනවා. ඒ ඇති. ප්‍රදර්ශනේ තියන්නේ මගේ නිර්මාණ අනික් අයටත් බලා ගන්න ඉඩක් ලබා දෙන්න."

" විදර්ශන චිත්‍ර අදින්න මුලින්ම යොමු වුණේ කොහොමද?"

"ආයෙත් මාව ඉන්ටර්වීව් කරන්නද හදන්නේ?" ඔහු සිනා සෙමින් ඇසුවේය.

"අපෝ නැහැ නැහැ. මම නිකං දැනගන්න ඇහුවේ"

" මම දන්නේ නැහැ කවදද හරියටම ඒකට යොමු වූණේ කියල. එත් ඒක හරියට සසර පුරුද්දක් වගේ. සමහර දේවල් අපි හිතල නෙවෙයි කරන්නේ. ඉබේ ඒ පිළිවෙලට සිද්ධ වෙනවා. මේකත් හරියට ඒ වගේ. ඒ වෙලාවට ඒ දේවල් වලට ඉරණමේ විදිහට වෙන්න දෙන්න ඕනේ "

" ඒ කිව්වේ?"

"මගේ අම්මවත් තාත්තවත් කවදාවත් හිතන්න නැතුව ඇති මම පින්සලක්වත් අල්ලයි කියල. මම උසස් පෙළට ඉගෙන ගත්තේ වාණිජ. ජීවිතේට පින්සලක් අතට ගත්තෙත් උසස් පෙළ පන්තියේදි. එතකොට විභාගෙට මාසයයි. නමුත් එදා මට තේරුණා මෙච්චර කල් මම ගිහින් තියෙන්නේ වැරදි පාරක බව. නමුත් පටන් ගත්තා දේ අත් ඇරලා ආපහු හැරෙන්න කල් මදි. ඒ හින්ද මන් විභාගේ ඉවර වෙනකම් ඉවසීමෙන් හිටියා. කැම්පස් එකේදී ගණන් හදන ගමන් චිත්‍ර ඇන්දා. උපාධිය ඉවර වුණාට පස්සේ මන් ආසාවෙන් හිටියා දේ පූර්ණ කාලින කරන්න පටන් ගත්තා."

"නමුත් ඔබගේ චිත්‍ර වල තියෙන්නේ වසර දහයක් පහළොවක් තිස්සේ මේ කලාව ප්‍රගුණ කළ කෙනෙක්ගේ පරිණතබව."

"පරිණතබව ඇති වෙන්නේ වයස එක්ක නම් මේ ලෝකෙ ඉන්න වයස්ගතම කෙනා තමයි පරිණත බැවින් වැඩිම වෙන්න ඕනේ.ඒත් එහෙම නැහැ. ඒක ඇති වෙන්නේ අත්දැකීම් එක්ක "

" හාහා කතා කරලනම් මට දිනන්න බැරි වෙයි වගේ" යි සිතු සාවිත්‍රි සෙමින් හිස වනා එය අනුමත කළාය.

මතු සම්බන්ධයි

ලියන්නේ ධරණී වීරසේකර සහ ෂෙනාල් රාජකරුණානායක




 

No comments:

Post a Comment