.........towards the stream of thoughts

Tuesday, May 10, 2016

උගත් මිත්‍රයාට





රීඩ් මාවත පුරා තුරු වියන් සෙවණ යට
රීඩිමේ මේසයක "නාඩගම" ළඟ තැනක
කළු කබායක් අප දෙදෙන ලා ගත් දිනෙක
කරන්නට හිතා මැවු සිහින විය පරතෙරක

පෙර දිනෙක සරසවියෙ එකාවන් වී එකට
සටන් වැකි කියන්නට නුඹ ද විය මහ හඬට
සිව් වසක් ඇවෑමෙන් යළිදු මුහුණට මුහුණ
මුණ ගැසිනි ඔබේ රුව වෙනදාට වැඩි රුවට

චේට මල් පැලැන්දූ හුරුපුරුදු  ඇඟිලි අග
සිනාසෙයි මිලෙන් වැඩි අයි සික්ස් ජංගම
දුගියෙකු දුකක් දැක තෙත රැඳුණ නුවන් යු
අද අලුත් ක්ලයන්ට්ස්ලා සොය සොයා විමසා 

ඉඩම් හබ වලට පැටලී ගැටෙන ජන ගඟක
පෙමින් හුන් හිමිව සැක බිරිඳකගෙ නෙත් කොනක
ගලා යන කඳුලකට ලොකුම ලංසුව තියන
කොහෙද නුඹ එදා මට කියූ මිනිසත් ගුණය

වන්නියේ කැලෑ හොරු තවත් ඇත අල්ලන්න
අනාථව මගේ අය සිටී මග බලාගෙන
මිතුර ඔය කැපචිනෝ මට එපා ඔබ බොන්න
තේ කහට බී ගමට යන්න අවසර දෙන්න


ධරණී උපේකා වීරසේකර ©