.........towards the stream of thoughts

Tuesday, June 9, 2020

හැරී පෝටර් සහ නිරෝධායන දවස් පස්වන කොටස


වෝල්ඩර්මෝට්ගෙන් කවර හෝ මොහොතක ප්රහාරයක් එල්ල විය හැකි බැවින් ඊට සිසුන් සූදානම් කිරීම ඩම්බල්ඩෝර්ගේ අරමුණ විය. මෙවර වෝල්ඩර්මෝට් ග්රිෆින්ඩොර් නිවාසයේ සිසුන් භීතියට පත් වන ආකාරයේ යමක් සිදු කර හැරී පෝටර් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබිණි.

රැස්වීම අවසානයේ ග්රිෆින්ඩොර් සිසුන් ආපසු තම නිවාස කාමරය වෙත යාමට සූදානම් වන විට සෙසු නිවාස වල සිසුන්ද ප්රධාන ශාලාව වෙත පැමිණියහ.

" සෙවරස් මොකද මේ හැමෝම කැඳෙව්වෙ?"

සිසුන් පිටුපසින් සිටි මහාචාර්ය ස්නේප් දෙස බැලූ ඩම්බල්ඩෝර් විමසීය.

"අත්යවශ්ය නිවේදන ටිකක් තියෙනවා දෙන්න. මෙතනම ඒ ටික නිවේදනය කළොත් හොඳයි නේද මහාචාර්යතුමා?"

" හොඳයි සෙවරස්" වතුර වීදුරුව පසෙකින් තැබූ මහාචාර්ය ඩම්බල්ඩෝර් පැවසීය.

" අද දින සිට යළි දින නියමයක් කරන තුරු කිසිදු නිවාසයක කිසිදු ශිෂ්යයෙක් හොග්වර්ට්ස් ගොඩනැගිලි වලින් ඉවතට ගමන් නොකළ යුතුය. සුපුරුදු පරිදි ක්විඩිච් පුහුණු වීම් වල නිරත වන්නන් සඳහා මෙය අදාළ නොවේ. නමුත් ඔවුන්ට තහනම් වනාන්තරය , හොග්ස්මීඩ් වැනි අත්යවශ්ය නොවන ස්ථාන වලට යාමට මෙම වරප්රසාදය අයුතු ලෙස භාවිත කිරීමෙන් වැළකිය යුතුය. මෙම පාසල් වාරය සඳහා හොග්වර්ට්ස් වෙත පැමිණීමට 9 3/4 දුම්රිය ස්ථානයෙන් ඔබ ලබා ගත් ටිකට් පතේ අවසන් අංකය අනුව ඔබට ඉදිරියේදී හොග්වර්ට්ස් වලින් පිටතට යාමට අවසර ලැබෙනු ඇත.
*ටිකට් අංකය ඉරට්ටේ වන ස්ලිදරින් හා ග්රිෆින්ඩොර් සිසුන් -සඳුදා
*ටිකට් අංකය ඔත්තේ වන ග්රිෆින්ඩොර් හා සිලිදරින් සිසුන්- අඟහරුවාදා
*ටිකට් අංකය ඉරට්ටේ වන හෆ්ල්පෆ් හා රෙවෙන්ක්ලෝ සිසුන් - බ්රහස්පතින්දා
*ටිකට් අංකය ඔත්තේ වන හෆල්පෆ් හා රෙවෙන්ක්ලෝ සිසුන් - සිකුරාදා
සති අන්තයේ පිටතට යාම සඳහා කිසිදු සිසුවෙකුට අවසර නැත."

නිවේදනය අවසානයේ සිසුන් අතර හට ගත්තේ අමුතු කසුකුසුවකි.

" එදා ටිකට් නැති වෙයි කියලා බයට තාත්තා මට ටිකට් එකක් අරගෙන. ඒක දන්නෙ නැතුව මාත් ට්රේන් ටික්ට් එකක් ගත්තා. දැන් මම පාවිච්චි කරන්න ඕනෙ කෝකද?" සෙඩ්රික් ඩිගෝරි කැළඹීමට පත්ව කෙඳිරුවේය.

නමුත් තම දුම්රිය ප්රවේශ පත්රය කොතැනකට හෝ වීසි කළ බවට මතකයක් තිබූ නෙවිල් අන් හැමටම වඩා අතිශයින්ම බියට පත්ව සිටියේය.

මතු සම්බන්ධයි
© ධරණී උපේකා වීරසේකර

No comments:

Post a Comment