.........towards the stream of thoughts

Tuesday, August 5, 2014

ඡායා

2010/08/06
මාතලේ

තිසල්ගේ සිතෙහි වූයේ පෙර කිසිදිනක නොදැනුණු අමුතුම සතුටකි. සත්විසි වසක් ගෙවූ කටුක තනිකඩ දිවිය නිමා කරමින් සැබවින්ම යහපත් ගුණදහම් වලින් හෙබි රූමත් තරුණියක වන තිලක්ෂි හා අතිනත ගන්නා දිනය  තෙක් ඔහු  සිටියේ නොඉවසිල්ලෙන් ය. මුල් ඇඳුම නිසා ඔහුට වෙනදාටත් වඩා කඩවසම් පෙනුමක් ලැබී තිබුණි.

"අයියේ ස්ටුඩියෝ එකෙන් කෝල් එකක් දුන්නා කට්ටිය මනමාලිගේ ගෙදරට ගියා කියල"

"අහා හරි!"  ඔහුගේ මුහුණ සතුට උතුරා යන කැඩපතක් බඳු විය.

" ඔන්න ෆොටෝ වල මොකක් හරි අවුලක් උණොත් මල්ලි තම වග කියන්න ඕනේ. මන් ඔය ස්ටුඩියෝ ඒක දන්නෙත් නැහැ. ඔයාමනෙ සේරම ලෑස්ති කරේ" තිසල් යහළු මනමාලයා ලෙස සැරසී හුන්  තම බාල සොහොයුරා දෙස බලමින් තරමක් තද ස්වරයෙන් කීය.

"ඕකනේ අය්යට මාව විශ්වාස නැහැ නෙ. "ස්ටුඩියෝ වාසු" එකේ කැමරාමන් නම් එච්චර වයස කෙනෙක්  නෙවෙයි. ගොඩක් තරුණ කෙනෙක් . එත් එයාගේ ෆොටෝ වල පුදුම කලාත්මක ගතියක් තියෙනවා. මමත් එයාව අදුන ගත්තේ අපේ කැම්පස් එකේ කලා උළෙලේදී. නුවර පෙරහැරේ එය අරන් තියෙන ෆොටෝ දැකලා තියෙනවනම් අය්ය ඔහොම කියන්නේ නැහැ.ඇල්බම් දෙක අතට ලැබුණාම අය්යට තේරෙයි."

තිසල් කිසිවක් නොකියා සිනාසුණේය.

"මිනිහ කිව්වේ පළවෙනි ෆොටෝ කීපය අතරේ මනමාලිට තැල්ල තියෙන එක නැත්තම් වැඩක් නැහැ කියලයි."

"ඔව් මල්ලි ඒක මටත් පස්සෙයි කල්පනා උනේ"

"ඔව්වා ඔහොම තමා ..බැන්දයින් පස්සේ අපිවත් අමතක  වෙයි"

"අනේ යනවා යන්න!"

                                              ***************

2010/08/06
මහනුවර

                  තිලක්ෂි තමා ඉදිරියේ වූ විසල් කණ්නාඩි මේසයේ කැඩපතින් තම රුව දෙස බලා සිටියාය. නිවසින් ගෙන ආ යෝජනාවකට ඇය කැමැත්ත පළ කළේ තව දුරටත් ඇය අවිවාහකව සිටීම දෙමාපියන්ට බරක් වන නිසා මිස විවාහ වීමට ඇති කැමැත්තක් නිසා නොවේ. තිසල් යහපත් තරුණයෙකු බව ඇය අසා තිබුනද ඔහු කෙරෙහි ඇය තුළ ප්‍රේමයක් පහළ වී නොතිබිණි. නමුත් ඇය ඔහුට සුහදශීලිව සැලකුවාය.

නමුත් තිලක්ෂිගේ මව හැසිරුණේ උතුරා යන තරම් ප්‍රීතිය මුසු ආඩම්බරයකිනි. ඇය තම දියණිය සමග සේයා රූ වලට පෙනී සිටියේ ද ඒවත් උදාරම් හැඟුමකිනි.

නෙත් කැමරා කාචය දෙස යොමු වී තිබුණ ද ඇගේ සිත බොහෝ දුර ඈත මතකයන්හි පැටලී ගව් ගණන් ගොස් තිබිණි.

"හරි , දැනට එච්චරයි. ඉතුරු ටික මනමාලයා ආවහම " කැමරාකරුගේ කටහඩත් සමග ඇය යළි පියවි ලොවට පැමිණියාය.

"දුවේ මම එහෙනම් කුස්සිය පැත්තට ගිහින් පොඩ්ඩක් බලලා එන්නම්. තව වෙලා තියෙනවනේ"

තිලක්ෂි හිස වනා වාඩි වී හුන් ටීපොවෙන් නැගිට්ටා ය.

ඡායාරූප ශිල්පියා  පසෙක තබා තිබූ Canon 1Dx වර්ගයේ කැමරාව වෙත තිලක්ෂිගේ නෙත් යොමු විය. එම පැරණි උපකරණය තුලින් ඇයට කුමක් හෝ හුරුපුරුදු බවක් දැනුණි

"පොඩ්ඩක් ඉක්මන් කරන්නකෝ"  තිලක්ෂි තම සේවකයන්ට අණ කරමින් සිටි ඡායාරූප ශිල්පියා පැහැදිලිව දුටුවේ මෙවර ය.

ඔහුගේ දෙනෙත්ද ඉබේම ඇය වෙත යොමු වී තිබිණි.

"දෙවියනේ! වාසුල!!!!!!!"

                                            **************

2010/08/06
මහනුවර පොලිස් ස්ථානය

"වාසුල ඉන්දීවර, හ්ම්ම් වාඩි වෙනවා"

"මගුල් දවසේ මනාලියක් තමාට හිමි නැති වාහනයකින් පැහැරගෙන යාම මේ රටේ පවතින නීතිය යටතේ වරදක් බව තමුන් දන්නේ නැද්ද?"

"මම එයාව පැහැරගෙන ගියේ නැහැ ඉන්ස්පෙක්ටර් . එයා කැමැත්තෙන්මයි මාත් එක්ක ආවේ"

"මොකක්?"

"ඒක දිග කතාවක්"

"කියනවා බලන්න පුළුවන් තරම් කෙටි කරලා ඔය දිග කතාව"

                                                        *****************

2000/03/21
කොළඹ සරසවිය

"තිලා, මේ බලන්නකෝ, අපේ පිළිගැනීමේ උළෙල ගැන පත්තරෙත් දාල. ඔයාගේ ලොකු ෆොටෝ එකකුත් තියෙනවා batch queen කියල"

"අනේ ඇත්තමයි. ලස්සනට වැටිලා. කව්ද ෆොටෝ ඒක අරන් තියෙන්නේ ? මංවත් දන්නේ නැහැ නෙ."

"ඔය යටින් තියෙන්නේ වාසුල ඉන්දීවර කියල"

"ඒ කව්ද"

" සීනියර් අය්ය කෙනෙක්"

"ඔයා අදුනනවද සුලා?"

"ඔව් අපේ ගෙවල් පැත්තේ"

"අනේ. කොහොමහරි එයාට කියල මට මේ ෆොටෝ ඒක ඉල්ලලා දෙන්නකෝ"

"හරි හරි මම ඔයාට එයාව අදුන්නලා දෙන්නම්කො. එයා මේ දවස්වල ගැහැණු ළමයෙක් හොයා හොයා තමයි ඉන්නේ"

"ඔන්න ඉතින් විකාර කියවනව!"
                                            
                                                    ***********

2007/07/09
මහජන පුස්තකාලය


"ඔයාට ඔය ගමන නොගිහින්ම බැරිද වාසු "

"ඔය දන්නවනේ මම ෆොටෝ ග්‍රැපි වලට කොච්චර ආසද කියල. යුද්දේ දවස් වල ගන්න ෆොටෝ ගොඩක් වටිනවා. මේකෙන් මට පත්තරෙත් හොඳ තැනක් ලැබෙයි"

"එත් ඔය මරණය ඉස්සරහට යනවා වගේ වැඩක්"

"මම වෙඩි තියන්න යන්නේ නැහැ නෙ. අවදානමක් නැහැ කියල තහවුරු උනාම ෆොටෝ ගන්න ඒක විතරයි කරන්නේ. අනික දවස් පහයි නෙ "

"මන් නම් කැමතිම නැහැ යනවට"

"මන් පරිස්සම් වෙලා එන්නම්"

"මොනවා හරි උණොත්?"

"මොනවා වෙන්නද. දවස් පහකින් මන් ආපහු ඇවිත් මෙතනදීම ඔයාව හම්බ වෙනවා, මන් පොරොන්දු වෙනවා"

                                   ************

"එදා ගියා ගියාමයි මට හරිම බයානක අත්දැකීම් ගොඩකට මූණ දෙන්න සිද්ද වුණා ඉන්ස්පෙක්ටර් මහත්තයා . මාව උන් අල්ලගෙන හිර කරලා තිබ්බ. සොල්දාදුවෙක් නොවුන නිසා මාව මරන්න උන්ට උවමනාවක් තිබ්බේ නැහැ. උන්ට ඕනේ උනේ මන් ලවා සටන් වදින හැටි ෆොටෝ ගන්නයි වීඩියෝ කරන්නයි. ඒක පාරක් ඒවා කරන්න ගිහින් මට වෙඩිත් වැදුනා කකුලට. ඔන්න ඔහොම සැහෙන දුෂ්කර කාලයක් ගෙවුනේ.තිලක්ෂිට කිසිම පණිවිඩයක් යවන්න විදිහක් තිබුනෙත් නැහැ."

පොලිස් නිලධාරියගේ මුවින් දිගු සුසුමක් පිට විය.


"මේ සේරම කලබල ඉවර වෙලා මන් ආපහු එනකොට ගොඩක් කල් ගත වෙලා. තිලක්ෂිගේ ෆෝන් ඒක වැඩ කරේ නැහැ. ඒගොල්ලෝ කැම්පස් එන දවස් වල නැවතිලා හිටියේ නුගේගොඩ ගෙදරක. බැරිම තැන මන් එතනට ගිහින් බැලුවා. ඒ ගෙදර හිටියා අය ගේ විකුණලා යන්න ගියා කියලය් ආරංචි වුණේ. ගිය තැනක් කවුරුත් දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මන් දැන ගත්තා මගේ ෆොටෝ ග්‍රැපි පිස්සුව නිසා අවසානේ මට පණ වගේ හිටියා තිලක්ෂිත් නැති වුනු වග.
     මට කොළඹ ජීවිතෙත් තිතට වුණා. මන් නුවර ඇවිත් පොඩියට ස්ටුඩියෝ එකක් පටන් ගත්තා මේ සේරම අමතක කරන්න හිතා ගෙන. පෙරහැරේ ෆොටෝ නිසා මට මෙහෙ හොඳ නමක් හැදුනා. වෙඩින් එකට ඇවිත් එයාව දකින තුරු මන් දනන් හිටියේ නැහැ මේ කිසිම දෙයක්"

වාසුල පොලිස් පරීක්ෂකවරයාගේ දෙනෙත් දෙස ඒක එල්ලේ බැලුවේය.

"අවංකව කියන්න ඉන්ස්පෙක්ටෙර් , අවුරුදු ගානකට පස්සේ, හදිස්සියේ අවුරුදු දහයක් තිස්සේ තමන් ආදරය කරපු පෙම්වතිය දෑස් ඉදිරියේ ඉන්නකොට, තව පොඩ්ඩක් පමා උණොත් සදාකාලිකවම ඇය ඔබට අහිමි වෙන බව දන්නකොට ඔබ කරන්නෙත් මන් කළ දේමයි නේද?"

වචනයකුදු නොදෙඩු පොලිස් නිලධාරියා තරුණයා දෙස බලා සෙමින් හිස සැලුවේය.

                                                            **නිමි**









 

No comments:

Post a Comment