රහල් කවදත් ඔහොමය.. කිසිවක් විස්තරාත්මකව පවසන්නේ නැත..
''නුතන යුගයේ යථාර්ථවාදී කලාකරුවෙක්'' ..කවුද ඒ?
සාවිත්‍රිගෙ සිතට මෙය මහ බරක් වූවත් ඇගේ නොසිඳෙන කුතුහලයට ඇය දළු ලා වැඩෙන්නට ඉඩ දී පසු දිනට සූදානම් වූවාය...
උදෑසන අවදි වී, ලා නිල් කුර්තාවකින් සැහැල්ලු පාවහන් යුවලකින් සැරසුණු ඇයගේ වමතෙහි නූල් වලින් තැනූ අත් පළදනාවක් විය.
සාවිත්‍රි රහල්ගේ කාර්යාලයට ගියේ දෙගිඩියාවකිනි..
කෝ රහල්?..ඇය කාර්යාලයේ වැඩ කරන අයෙක්ගෙන් ඇසුවාය..
''අන්න අද උදයේම හදිසි වැඩක් කියලා ගියා'' ඔයා ආවොත් මෙන්න මේක දෙන්න කිවුවා''..
"අද හවස හතරට ග්‍රීන් පාත් එකේදි විදර්ශන සේනානායකව හම්බවෙන්න. මම වාහනයක් ලෑස්ති කරලා තියෙන්නේ."
සවස හතර වන තුරු සාවිත්‍රි පසුවූයේ ඉමහත් නොයිවසිලිමත් බවකිනි.විදර්ශන චිත්‍ර ශිල්පියෙකු බව හැරුණු කොට ඔහු පිළිබඳව අන් කිසිදු තොරතුරක් සාවිත්‍රි දන්නේ නැත .
පුවත්පත් කාර්යාලයේ ලොකු බිත්ති ඔරලෝසුවේ හතරේ කණිසම නාද වන විට ඇය හුනස්නෙන් නැගී සිටියාය. මෙවැනි කටයුතු සඳහා රහල් එවන සුපුරුදු මෝටර් රථය කාර්යාල රිය අංගනයේ නවතා තිබිණි. සාවිත්‍රි රියට ගොඩ වුයේ හිතවත් රියදුරාට මද සිනහවකින් සංග්‍රහ කරමින්ම ය.
කාර්යාල වෙලාව අවසන් වීමට ලංව තිබූ හෙයින්දෝ කොළඹ නගරය තුළ සාමාන්‍ය කලබලකාරී බව එලෙසින්ම පැවතිණි.
ජනාකීර්ණ වීදි කිහිපයක් පසු කරමින් අතුරු මගකට පිවිස වේගයෙන් ඇදී ගිය රිය අවසානයේ නතර වූයේ තරමක් විශාල ඉඩමක් ඉදිරිපිටය.
"මැඩම් මෙතන තමා තැන. මම මෙතන ඉන්නම්. මැඩම් වැඩේ ඉවර වෙලා එන්න"
ලියකම් වලින් අලංකෘත වූ ගේට්ටුව සෙමින් විවර කළ සාවිත්‍රි සුදු වැලි අතුළ මාවත මැදින් නිවස දෙසට පියමන් කළාය. කොළඹ වැනි ජනාකීර්ණ නගරයක් තුළ අපේක්ෂා කළ නොහැකි අන්දමේ ඉසියුම් නිස්කලංක බවකින් මුළු පරිසරයම වැසී තිබිණි. තුරු වියනකින් මැනවින් සෙවණ වූ කිරිගරුඬ ඇතිරූ පටු මන් පෙතක් ඔස්සේ ඇවිද ගිය ඇය නිවහනේ විවර වූ දොර අසල හිද මඳක් නැවතුණේ නාද කිරීමට සීනුවක් ඇතිදැයි සෝදිසි කරමින්ය.
විසල් සුදු බිත්ති මත නිදහස්ව දෑත් විදහා සිත්තම් කළ අමුතු අන්දමේ සිතුවම් රැසක් විය.
කැන්වසයක කොන් හතරට සීමා වී තිබූ සිතුවම් වලින් ඔබ්බට ගිය යමක් මෙතුවක් දැක නොතිබූ ඇයට එම සිතුවම් ගෙන දුන්නේ ඉමහත් ආනන්දජනක හැඟුමකි.
අවට සිතුවම් වලින් වශීකෘත වූ සාවිත්‍රි ගෙබිමෙහි විශාල පුවරුවක් මත දැහැන් ගත වුනාක් මෙන් සිතුවමක් වර්ණ ගන්වමින් සිටි සිත්තර දුටුවේ මෙවරය.
නළලතට වැටී තුබූ අක්බමරු කෙස් රොදක් නිසා ඔහුගේ මුහුණ හරි හැටි නොපෙනුණත්, ඔහුට හිමිව තිබුණේ තරුණයෙකුට හිමි ශක්තිමත්බවින් නොඅඩු දෑත් ය. ඔහු මුනිවර ආධ්‍යාත්මයක් පෙන්නුම් කරමින් එහිම නිමග්නව සිටියේය.
"කලාව සංසාරය වෙත මිනිස්සුන්ව බැඳ තබන කෙළෙස් බර මායාවක් වෙනකොට කලාකාරයින් මුනිවරයින් වෙන්නේ කොහොමද?" සාවිත්‍රි සිතුවාය.
ඔහු දෙස විමසිල්ලෙන් මුව ඇය ගෙන බලා සිටි සාවිත්‍රිගේ අතින් කාමරයේ යතුරු කැරැල්ල ගිලිහී ගොස් මහා හඩින් පොලොව මත පතිත විය.
ඔහු සිතුවම වෙතටම නැඹුරු වූ දෙනෙත් ඉන් ඉවතට ගෙන ඇය දෙස ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් හෙළුවේය .
මතු සම්බන්ධයි.....
ලියන්නේ ෂෙනාල් රාජකරුණානායක සහ ධරණී උපේකා වීරසේකර.
No comments:
Post a Comment