.........towards the stream of thoughts

Saturday, January 25, 2014

සුපෙම් යාත්‍රා - නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා- (දෙවන දිගහැරුම)

සාවිත්‍රිගේ අතෙහි කවරයක දැමූ පොතක් තිබෙනු දුර තියාම  දුටු අනුපමාට අස්වැසිල්ලක් දැනුණි.

"ඇති යන්තම් පොත හම්බවෙලා වගේ"  

"පොත නම් හම්බුණා...එත්.."

"එත් කිව්වේ?"

"පොත ලැබුණට  වෙන මොකක්දෝ නැති වුණා වගේ දැනෙනවා.."

" අනේ අනේ .. ආයෙත් අර සුපුරුදු දාර්ශනික සාහිත්‍ය කෑළි කියවන්නේ නැතුව කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියන්නකෝ?"

"අනේ මන්ද.. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි."

" හරි එහෙනම් ඕනේ නැහැ.. ඕක අමතක කරලා දාමු. දැන් යමු. හොඳටම හවස් වුණා"

ආපසු නවාතැන්පොළට පැමිණෙන තුරු සාවිත්‍රිගේ මුවෙන්  වදනකුදු නොගිලහිණි. ඇයගේ සමීප මිතුරියක වන අනුපමාට සාවිත්‍රිගේ නිහඩ ව්‍රතය අරුමයක් නොවේ. ඇය සාමාන්‍යයෙන් මෙවන් නිහඬ පිළිවෙතකට සම වදින්නේ  සිතට තදින් කා වැදෙන යමක් සිදුවූ  විට බව අනුපමා දන්නීය. ඒ නිසා ඇය ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න කරන්නට නොගියාය.


සවස් කාලය පුරාම පොත සොය සොයා මහන්සි වූවද සාවිත්‍රිගේ සිත තවමත් නොසන්සුන්ය...සැබවින්ම එය නොසන්සුන් කමකටත් වඩා වදන් වලට ගැළපිය නොහැකි හැඟිම් සමුදායක් බව ඇගේ සිතට දැනුණි.. සීතල ජලයෙන් නෑම, මේ සියල්ල හමාර කරන්නට හොඳම විසඳුම යැයි ඇගේ සිත කීය..

බිඳෙන් බිඳ සීතල ජල බිඳු ඇගේ හිස ගත  හා වත මතට පතිත වන විට දැනුණේ අහසේ පාවෙන තරම් සැහැල්ලුවකි. ජලය සියලු වේදනාවන්  හා සරතැස නිවා ලන්නට දෙවියන් මැවූ ඔසුවක් වැනිය


නා අවසන්ව ලිහිල් ඇඳුමකින් සැරසි ඈ සිය දිගු වරලස පිහිදමන්නට  වූවාය.

 බිත්තියේ එල්ලා තිබු  තෙවසරකට පෙර රෝමයෙන් මිලදී ගත්  දෑත් අල්ලාගෙන සැදෑ සක්මනක  යෙදෙන තරුණ යුවළකගේ සිතුවම අසල ඇසිල්ලකට සාවිත්‍රිගේ දෙනෙත් නැවතුණි.

 ඇය  තවමත් තෙත් වරලස උනා සඳලුතලය ගියේ ඒ නිහඬ පාරිසරික සුමිහිරියාවත් සමඟ එකාත්මික වන්නටය... සිහිල් වාරැල්ලක් පැමිණ ඈ පිළිගත්තේ ඇගේ වත මතට වැටුණු එක් කෙහෙරොදක් සමඟ සෙල්ලම් කරන්නට මෙනි...

 ඇගේ නෙත් අහස දෙසට නෙත යොමු වූයේ නිතැතිනි... අහස පුරා, සඳ පායා ඇත.. මේ මෝරන සඳෙහි කැළුමින් අවට වලා රොදවල් ද විචිත්‍ර වී ඇත.. සිහින් වා රැලි සමඟ දඟ කරන කෙහෙ රැළිත් සමඟ සඳ දෙස බලා සිටීමෙන් ඇගේ සිත නිවුණි..

එකෙණෙහිම පහල මාලයේ ක්‍රියාත්මකව තිබු රේඩියෝවේ අස පුරුදු පැරණි හින්දි ගීයක් වාදනය විය...

''අජීබ දාසතා හේ යේ...
කහා ෂුරු කහා කතම්...
යේ මන්සිලෙ හේ කෝන සි..
නවෝ සමජ් සකේ නා හම්..''

ඇගේ මුවඟට සිනහවක් පැමිණියේ නිතැතිනි... ඇත්ත තමයි...මේ ජීවිතයත් හරියට නොදන්නා කතාවක් වගේ .තමා...කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවර කරන්නද කියා නොදන්න...මේ තේරුම් ගත නොහැකි ජීවිතය, කෙසේ  වේ දැයි මා කොහොම වටහා ගන්නද?.....ඇගේ සිත ඇයටම සිනා සීය..


මතු සම්බන්ධයි....

ලියන්නේ ධරණී වීරසේකර  සමග ෂෙනාල් රාජකරුණානායක