.........towards the stream of thoughts

Thursday, January 2, 2014

මගේ හිතත් කියවන්න ( නව වන කොටස)

මහාචාර්ය වරයා දෙස සුපරික්ෂාකාරී බැල්මක් හෙලූ රේඛා සිං ඔහු පැනවූ අසුන මත හිඳ ගත්තාය.

"මහාචාර්ය තුමා  මම කැමතියි සජීවීව ඔබ මගේ හිත කියවා පෙන්වනවානම්"

"සජීවී වැඩසටහනක ඔය වැඩේ කරන එක හරිම අවදානම් මෙනවිය, ඔබේ හිතේ තියෙන මොන මොන දේවල් මගේ කටින් පිටවෙයිද කව්ද දන්නේ?"

"එකට කමක් නැහැ. මම ඒ අවදානමට සූදානම්. අනික මගේ හිතේ ලෝකෙන් වසන් කරන්න දේවල් නැහැ"

"අපි හැමෝටම රහස් තියෙනවා. ලෝකයත් එක්ක බෙදා ගන්න බැරි. මේ වැඩේ කරන්න ගිහින් එහෙම දෙයක් මන් අතින් එලි වුනොත් ඒක සී news හරහා මුළු ලෝකයම දැන ගනියි. එතකොට මගේ හිතටත් හරි නැහැ."

 "මාත් එක්ක අමනාප වෙන්න එපා මහාචාර්ය තුමා මට ඔබ තුමාගේ ඔය වැඩේ ගැන තඹ දොයිතුවක විශ්වාසයක් නැහැ. ඒ නිසා මට මේක සාක්ෂි ඇතුව හරියටම දැන ගන්න ඕනේ! ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා. මට ඕනේ හරියටම ඔබ මගේ හිත කියවනවා දකින්න. ඕන දෙයක් කියන්න, මම ලෑස්තියි"

" මේ තියෙන්නේ මුරන්ඩුකමක්ද, නිර්භීතකමක් ද මෝඩකමක් ද කියල මං දැන් නැහැ. ඔබේ අවසාන තීරණය ඒක නම් අපි මේ වැඩේ කරමු. මට ප්‍රශ්නයක් නැහැ" ඔහු තියුණු බැල්මක් හෙළමින් කීවේය.

"අපි දිවා පුවත් වලට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධ වෙලා හිටියේ. දැන් වෙලාව හරි අපි සජීවීව වැඩසටහන පටන් ගමු ආයෙත්. කැමරා සූදානම් කර ගන්න" රේඛා පැවසුවාය.

"කරුණාකරලා මේ ආසනයේ වාඩි වෙලා මේ ලෝහ හිස්වැසුම පැළඳ ගන්න. ඔබ මගේ හිත කියවීමේ  විස්තරයෙන් සෑහීමකට පත් වුණාම මට අතින් සංඥා කරන්න.එතකොට මම නවත්තන්නම් " මහාචාර්යවරයාගේ උපදෙස් අනුව ඇය අසුන් ගත්තාය.

 ලෝහ හිස් වැස්ම පැළඳ ගන්නවාත් සමගම ඇයට දැනුණේ  වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැගීමකි. එය බිය, චකිතය, කුතුහලය මිශ්‍ර  වූ චෛතසිකයකි.

මහාචාර්යවරයා ලෝහ හිස්වැසුම වයරයකින්  සම්බන්ධ වූ තිරයක් දෙස උනන්දුවෙන් නෙත් යොමාගෙන සිටියේය.

" ඔව් රේඛා සිං මෙනවිය මේ මොහොතේ ඔබ සිතමින් ඉන්න දේවල් මම කියන්නම්, ඔබ දැන් හිතනවා මේ වැඩසටහන හොදින් කර ගත්තොත් සී news නාලිකා ප්‍රධානි තනතුර දක්වා උසස් වෙන්න වුණත් පුළුවන් කියල. ඔබ දැන් තරමක් පුදුමයට පත් වුණා. ඔබට දැන් ගෙදර මතක් වුනා. පන්ජාබ් වල අම්මලා ගෙවන දුක් සහිත ජීවිතේ මතක් වෙනකොට ඔබට හිතෙනවා පවුලේ වැඩිමල් දුවගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරනවා මදිද කියලත්. ඔව් ඔබ හිතනවා තාත්තාගේ රස්සාව නැති නොවුනානම් පවුලට මෙච්චර කරදර විදින්න ඕනේ නැහැ කියල. සොච්චම් පඩියක් හම්බෙන දැනට වැඩ කරන IOC එකෙන් අයින් වෙලා කොහොම හරි ප්‍රතීක් හොඳ රස්සාවක් වෙන තැනකින් හොයා ගත්තොත් තාත්තලාට බරක් නොවී මංගල්ලේ කර ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා. එත් ඒ ගැන ඔහුට කියන්න මොකද්ද වගේ. "

"දෙවියනේ මේ දේවල් සේරම කොහොමද දැන ගත්තේ? ප්‍රතීක් ගැන මම කාටවත්.................! "  විස්මය තව දුරටත් දරා ගත නොහැකිව කෑ ගැසූ රේඛා හුනස්නෙන් නැගී සිටියාය.

"කොහොමද මේක කරන්නේ? කිව්ව දේවල් හරියටම හරි, අනික මන් මේ සමහර දේවල් කාටවත් කියල නැහැ.. මේක නම් හාස්කමක් , ඔබ සෘෂිවරෙයක් ද?"

" රේඛා මෙනවිය, ඔබේ හිතේ තියෙන සේරම දේවල් පෑනක් අරගෙන කොළේක ලිව්වොත් මොකද වෙන්නේ? හිතේ තියෙන දේවල් කඩදාසියක ලියවෙන්නේ කොහොමද?මේ යන්ත්‍රයෙන් කෙරෙන්නේත් අන්න එකමයි. ඔබේ සිතිවිලි තරංග විශ්ලේෂණය කරලා ඒවා අකුරු බවට පත් කරනවා"

" එහෙම විද්‍යාවක් තියෙන්න පුලුවන්ද?  අර දේවල් ඔබ හරියට නොකියන්න මම මේක විශ්වාස කරන්නේ නැහැ"

" මේකේ විද්‍යාත්මක මූලධර්මය මම ලෝකෙත් එක්ක බෙදා ගන්න කැමතියි. මේ සම්බන්ධ ඕනෑම විද්‍යාත්මක වාදයකට වුණත් මම සුදානම්!එත් ඒකට මේ දක්වා අවස්ථාවක් ලැබුණේ නැහැ. ගොඩ දෙනෙක් මේක දැක්කේ විකාරයක් නැත්තම් සුරංගනා කතාවක් වගේ. හරිනම් මේක ගිනස් පොතට යන්න තිබ්බේ මීට ගොඩක් කලින්. මේ වැඩසටහන නැරඹුවායින් පසුව හරි බලධාරීන් මේ නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න උනන්දු වෙයි කියල මන් හිතනවා" ආදිත්‍ය ශර්මා නැහැය පහතට වැටෙමින් තිබූ උපැස් යුවළ නිසි තැන ස්ථානගත කරන අතරතුර කීවේය.

" ඔව් අදට අපට ලැබී තියෙන කාලය අවසන්. අද සත්‍ය ගවේෂී වැඩසටහන ඔබට නවමු අත්දැකීමක් ලබා දුන් බව අප විශ්වාස කරනවා. ඉතින් මේ අප සමග සිටින්නේ සමස්ත ඉන්දියාවම බුහුමන් කළ යුතු අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක්. ඉතින් බොහොම ස්තුති මහාචාර්ය ආදිත්‍ය ශර්මා ඔබගේ වටිනා කාලය කැප කළාට. ඒවගේම ඔබේ මේ විශිෂ්ට නිර්මාණයට නිසි තැන හිමිවී ඔබට තවදුරටත් සමස්ත මානව වර්ගයාගේම සුබ සිද්ධිය වෙනුවෙන් නව සොයාගැනීම් සිදු කිරීමට ශක්තිය දිරිය ලැබේවායි සී news නාලිකාව වෙනුවෙන් මම සුබ පතනවා! මම රේඛා සිං ,හමුවෙමු හෙටත් සුපුරුදු වෙලාවට. සුබ දවසක්!"'

මතු සම්බන්ධයි.....

No comments:

Post a Comment