.........towards the stream of thoughts

Monday, September 22, 2014

සුපෙම් යාත්‍රා ( සත්වැනි දිගහැරුම)


විදුලි පංකාවේ ඉසියුම් ශබ්දය පමණක් ඇසෙන විට රහල් ගේ මුවින් වදනක් හෝ පිටවේ යැයි අපේක්ෂාවෙන් සාවිත්‍රි බලා හුන්නාය. අද  පත්තරය දෙස නෙත් හෙලූ ඔහු  අවසානයේ  කටහඬ අවදි කළේය.

" ඒ කියන්නේ එයා ආර්ටිකල් එකක් ලියනවට කැමතිම නැහැ?"

" නැහැ සර්!"

" ඒ මොනවා වුණත් කොහොම හරි මට විදර්ශන සේනානායක ගැන ලිපියක් ඕනෙමයි"

" එයා හරි අමුතු කෙනෙක් සර්. ප්‍රසිද්ධියට කොහොමටවත් කැමති නැහැ. එයාගේ ප්‍රදර්ශනේට කලින් ආර්ටිකල් එකක් ලියාගන්න බැරි වෙයි"

" කල් ගියත් කමක් නැහැ. කොහොමහරි මේ කලාකරයව අපි අපේ රටේ මිනිස්සුන්ට අදුන්නලා දෙන්න ඕනේ. නැත්තම් ඒක මහා අපරාදයක්"

" ඉතින් දැන් මම මොකද කරන්නේ?"

" කෝකටත් ඔයා ආයේ ගිහින් එයාව හම්බ වෙන්න"

සාවිත්‍රිගේ දෙනෙත් විස්මයෙන් මහත් විය.

" ආයෙමත්?"

" ඔව් සාමාන්‍ය යාලුවෙක් මුණ ගැහෙනවා වගේ හම්බවෙලා ආර්ටිකල් එකට තොරතුරු එකතු කර ගන්න. ඔය වගේ මිනිස්සු ගොඩක් වටිනවා. මගේ යටිහිත කියනවා මිනිහා ළඟදීම සම්මානයක් දෙකක් දිනා ගනී කියල. එහෙම වුණොත් අනික් පත්තර වලට කලින් එයාව අපි අදුන්නලා දීල තිබුණොත් ඒක පත්තරේ නමටත් හොඳයි"

" එයා චිත්‍ර අදින්නේ සම්මාන බලාගෙන නෙවෙයි සර්"

" හැමෝම ඔය කතාව කියනවා තමන්ට සම්මාන හම්බෙන්න කලින්. ඒවා හම්බෙනවට අකැමැති කෙනෙක් නැහැනේ."


සාවිත්‍රි යාන්ත්‍රිකව හිස සැලුවාය.


                                                     ****************

වායු සමීකරණය කරන ලද අවන්හලේ සුවදායි වායුගෝලයට උණුසුම් කොපි සුවඳද මුහු වී තිබිණි.සාවිත්‍රිගේ සිත දෙගිඩියාවෙන් බර වී තිබිණි. කෙළවරම මේසයේ  කල්පනාවක නිමග්නව හුන් විදර්ශන සේනානායක නෙත ගැටීමට ඇයට ගත වූයේ නිමේෂයකි.

"සොරි විදර්ශන , ට්‍රැෆික් හින්ද පොඩ්ඩක් පරක්කු වුණා."

" අය්යෝ ඒකට කමක් නැහැ. මාත් ගෙදරට වෙලා කම්මැලි කමේ හිටියේ"

කෝපි කෝප්පය ඇය දෙසට සෙමින් තල්ලු කළ ඔහු විමසුම්සහගත බැල්මක් සාවිත්‍රි දෙස හෙළුවාය.

" දැන් මට මොකද එන්න කිව්වේ?"

" විශේෂයක් නැහැ විදර්ශන"

" ඒකනම් එච්චර පිළිගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි" ඔහු සරදම් සහිත සිනහවක් කැටිවූ මුවින් ඈ දෙස බැලුවේය.

" ඇයි ඒ"

" මට පේන්නේ ආර්ටිකල් ඒක ලියා ගන්න බැරි වුනු නිසා ඔයා මිස්ටර් රහල් ගෙන් හොඳටම  බැනුම් අහල"

" නැහැ . සර් මට බැන්නේ නැහැ.. ඒත්..."

" ඒත් කොහොම හරි ආර්ටිකල් එක ඕනේ කිව්වා නේද?"

" ඔයා කොහොමද දන්නේ?"

" කලාකාරයින්ට සමහර දේවල් ඉවෙන් වගේ තේරෙනවා . එකයි ඒගොල්ලෝ අනික් අයගෙන් වෙනස්"

කිසිවක් නොදෙඩු සාවිත්‍රි ලේන්සු කෙළවරකින් දාඩිය පිස දැමුවාය.

විදර්ශනගේ දෙනෙත් නතරව තිබුණේ ඇයගේ සිහින් දිගු ඇඟිලි අසලය. කිසිවක් ආලේප කර නොතිබූ ලා රෝස පැහැ සුමට නියෙන් යුත් ඒ දෑත්වලින් කියා පෑවේ කලාව දෝතින් දරා ගෙන උපන්නියකගේ ලකුණුය. එහෙත් ඒ කලාකාරිය ඇය තුළ කොහේ හෝ සැඟවී සිටිනවා විය යුතුය. ඒ ඔහු මේ දකින පුවත්පත් කලාවේදිනිය නොවේ.
 
"ඇත්ත, මට ඔබ ගැන ආර්ටිකල් එකක් ලියන්න බාර දී තිබෙනවා තමයි..නමුත් ඒ ආර්ටිකල් එක ලියන්න සීමාවක් මායිමක් සොයා ගත නොහැකිවයි මා ඉන්නේ..'' සාවිත්‍රී පැවසුවේ විදර්ශනගේ නෙත දෙස එක එල්ලේ බලමිනි...

කෝපි කොප්පය මඳින් මඳ තොලඟ ගාවමින් කෝපි රසය විඳිමින් සිටි විදර්ශනගේ මුවෙහි පළ වූයේ සිනහවකි.. ඒ කියන්නේ ඔබට මා ගැන කියවීමක් අවශ්‍යයි...

''ඔව් සැබවින්ම''...සාවිත්‍රී පැවසුවේ අභිලැස පිරි නෙතකිනි.

මතු සම්බන්ධයි ...

ලියන්නේ ධරණී වීරසේකර සමඟ ෂෙනාල් රාජකරුණානායක


 

No comments:

Post a Comment