.........towards the stream of thoughts

Sunday, December 29, 2013

මගේ හිතත් කියවන්න ( සයවන කොටස)

" මහාචාර්යතුමා!!!!"

කොරිඩෝවේ පිටුපසින් ඇසුණ තරුණ කාන්තා කටහඬ නිසා ආදිත්‍ය ශර්මා ගමන් වේගය මදක් බාල කර ආපසු හැරුණේය.

"මහාචාර්යතුමා මට සමා වෙන්න ..ඇත්තෙන්ම මම දැනගෙන හිටියේ නැහැ ඒ ඔබ කියල.. ඔබේ පෙනුමේ තිබ්බ ලාබාල ගතිය නිසයි මට ඒ වැරදීම උනේ. අද කාලේ මහාචාර්යවරු ගොඩ දෙනෙක් අවුරුදු හැට පැනපු අය. ආදිත්‍ය ශර්මා කියනකොට මගේ හිතේ ඇදිල තිබ්බේ වයසක කෙනෙක්"

" ඕක අමතක කරලා දාන්න අංජලී . මට තාම විසි අටයි. ඔබ එහෙම හිතපු එකේ වරදක් නැහැ" ඔහු ප්‍රසන්න සිනහවකින් සංග්‍රහ කරමින් තෙපලුවේය.

තමාට වඩා සිව් වසරක් වැඩිමහලු වූ මෙවන් තරුණයෙකු මහාචාර්යවරයෙකු බව දැනගත් මොහොතේ සිට අංජලී තුළ ඔහු කෙරේ ඇති වුයේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟුමකි. ඇය සමාව අයදින සුළු බැල්මක් ඔහු වෙත හෙළුවාය.

"කැලිෆොර්නියානු සරසවියේදී මට හමු වෙන මගේ අත් උදව්කාරිය ඉන්දියානු කෙල්ලෙක් වෙයි කියල කව්ද හිතුවේ? මම බයේ හිටියේ මට සුදු ජාතිකයෙක් ලැබෙයි කියලා. කලින් වතාවේ මගේ සහයට හිටියේ අයිරිෂ් ජාතික කොල්ලෙක්. මං මිනිහගේ මස් කෑම හින්ද හරිම අමාරුවක වැටුණා. පර්යේෂණ අතරේ මන් බොන කිරි ජාති කන එළවලු ඒ ළමයට අප්පිරියයි, උදේට මම දෙවියන්ට කපුරු , පහන් පත්තු කරනකොට එයාට කිවිසුම් යනවා. හරිම අමාරුවෙන් තමයි එයත් එක්ක වැඩ කරේ"

" මට නම් ඔය සේරම හොඳට පුරුදුයි. කොච්චර විද්‍යාව ඉගෙන ගත්තත් , ඇමරිකාවේ හිටියත් සර් තාමත් හොඳ හින්දු ආගමිකයෙක් වගෙයි"

"එහෙමමමත් නැහැ. එත් ඉතින් ඒ දේවල් වලින් මට සතුටක් ලැබෙනවා. පොඩි කාලේ ඉදන් පුරුදු වුන දේවල්නේ.යමකින් අපට සතුටක් සැනසීමක් ලැබෙනාවානම් ඒවා කරාට වරදක් නැහැ නෙ. සර් නොකිය ආදිත්‍ය කියල මට කතා කරන්න. අංජලීගේ ගම කොහෙද?"

" මම දිල්ලි මයි සර්"

" ආයෙත් සර්"

" සමාවෙන්න ආදිත්‍ය, මට එහෙම කතා කරනකොට නිකන් හරි නැහැ වගේ."

" ගෞරවය තියෙන්න ඕනේ හිතේ මිසක් ආමන්ත්‍රණයේ නෙවෙයි නේද?"

" ඔව් එකත් ඇත්ත, එත් මට එහෙම පුරුදු නැහැ"

"එහෙනම් දැන් පුරුදු වෙන්න" ඔහු උපහාසාත්මක හඩින් කීවේය.

"අංජලී මොනවද මිනිස් හිත ගැන හිතන්නේ?" ඔහු මද වෙලාවකට පසුව ඇසුවේය.

"ඒක හරිම සංකීර්ණයි සර්,... ආදිත්‍ය!  නියුරෝන විද්‍යාවෙන් සමහර දේවල් විග්‍රහ කරන්න අමාරුයි"

" අංජලී හිතනවද මිනිස් හිත කියවන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයක් ඇති කියල?"

'ඔව් ස් ... ආදිත්‍ය එහෙම ක්‍රමයක් ඇති. එත් තාම ඒ තරමටම විද්‍යාව දියුණු නැහැ, අපේ දැනුම දියුණු නැහැ".

"ඇත්තෙන්ම ඔයා එහෙම හිතන එක ගැන මට සතුටුයි. එහෙනම් හෙට දේශන ඉවර වෙලා පර්යේෂණාගාරයට එන්න. අපට අලුත් project එකකට වැඩ කරන්න තියෙනවා"

"හොඳයි සර්.. සමාවෙන්න හොඳයි ආදිත්‍ය"

" හෙට එනකොට මගේ නම කියන්න ඔයිට වඩා හොඳට පුරුදු වෙලා තියෙයි කියලා මං විශ්වාස කරනවා"

කිසිවක් නොකියූ අංජලී සිනා සලමින් ඔහු සරසවි කොරිඩෝවෙන් නොපෙනී යන තුරු බලා සිටියාය.


මතු සම්බන්ධයි....