.........towards the stream of thoughts

Saturday, January 18, 2014

සුපෙම් යාත්‍රා....... නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා................... ( පළමු දිගහැරුම)

                                                                                         ...

අහස ලා දම් පාටින් සැරසිලා..වලාකුළින් බර අහස් කුස හරියට  සිතිවිලි වලින් පිරුණු  හිත් වගේ .
බිනර මහ හීතලත් කැටි කරන හමා ගෙන ආපු හුළග ඇගේ හිරිගඩු පිපෙන තරමටම හීතයි.  ඒත් පොත් වලට තියෙන කෑදරකම නිසා මේ ගමන් නොගිහින් ඉන්න ඇගේ හිත දුන්නේ නැහැ. සීතලත් එක්කම කොළඹ අහසින් හීන් වැහි බිංදු එක දෙක වැටෙන්න පටන් අරන්.

"සාවිත්‍රි අපි යමුකෝ... තවත් හිටියොත් වැස්ස හොඳටම තද කරයි"

 අනුපමාගේ ගොරනාඩුවත් වැඩි වෙද්දී සාවිත්‍රි අකමැත්තෙන් වගේ තිර රෙද්ද තිබ්බ විදිහටම ඇද්දේ සුපුරුදු  විදිහටම  ජනේලයට අගුළ දාලද කියල දෙපාරක් බලලා. වහින හැටි බලන් ඉන්න සාවිත්‍රි ඒ තරමටම ආසයි.


වැස්ස අස්සෙම මීටර් ටැක්සියක් නතර කර ගත්ත දෙමිතුරියෝ ඉක්මනින් එකට නැග ගත්තා.

හීන් පොද වැස්ස නොතකාම මීටර් ටැක්සිය ඉදිරියටම ඇදුනා.

"කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය"  නිල් පාට ධජ හැම එකකම දිග හැරුණු පොතක රූපයත් එක්ක ඒ වචන ටික වැල් අකුරෙන් ලියලා තිබුණා.

පොත් වලට මිනිසුගේ ඇති ආදරේ විමසන්නට  එය කදිම තෝතැන්නක් වුවද දසතින් ගලන ජනී ජනයා හමුවේ එකිනෙක තෙරපි පොත පත තේරීම තරම් අපහසු කමක් තවත් නොමැති තරම්....එහෙත් කලක් තිස්සේ පෙරුම් පුර පුර මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පෙරදිග කලා ශිල්ප අරබයා ලියැවුණු පොත අදවත් කොහෙන් හෝ සොයා ගත යුතු යැයි ඇගේ සිත කීවා...
කුටි කිහිපයකට ගියත් සොයා ගත නොහැකි වුණු පොත තව තවත් සොයා යන්නට සිත එකඟ වූ වත් දෙපා නම් අදිමදි කළා..

''අනේ..දැන්නම් හොඳටෝම මහන්සියි... පොඩ්ඩක් ඉඳගමුකෝ!!..'' අනුපමා කීවේ ඇත්තටම එපා වෙලා...

සාවිත්‍රිට එය නෑසුන බව දැනුණු විට ''ඔන්න මට නම් බැහැ තව දුර යන්න...  දැනටමත් පැය එකහමාරක්!මං මේ ගත්තු පොත් ටිකත් එක්ක පැත්තකට වෙලා ඉඳන් ඉන්නම්..ඔය ගිහින් ඔය කළුනික සොයා ගෙන එන්න'' ..ඒ අනුපමාගේ කේන්තිය සමග සුසුම් ලන කටහඩ...

''හොඳයි..මං තව පොඩ්ඩක් බලලා එන්නම්...''

"ඕනේ එකක්! මම ඔයා එනකම් පොරි ටිකක් කනවා. බඩගිනියිත් වගේ එහාට මෙහාට ඇවිදලා.."

  සාවිත්‍රි නැවතත් පොත සොයා ගියා...

සමහර කුටි වල සෙඟ පිරිලා....සෙනඟ පිරුණු කුටි කිහිපයක් පසු කර ඉදිරියට යද්දි ඇයට එතරම් සෙනඟක් නොසිටි කුටියකට ගොඩ වදින්න සිතුණා.. එහි රාක්ක පීරී තිබුණේ පැරණි පොත පත වලින්..

''මේකේ නම් පොත තියෙන්නම ඕනේ''  ඇගේ සිත පැවසුවේ සතුටින්...

අත පොවන මානයට වඩා ඉහළින් පිහිටි රාක්කයක මෙතෙක් කල් හැමතැනම  ඇය හොයමින් සිටි පොත තිබෙන බව සාවිත්‍රි දුටුවා... අසල කිසිවකුත් නොසිටි හෙයින්  පා ඇගිලි වලින් එසවී ඇය දෙතුන් පාරක් පොත ලබා ගන්න උත්සහ කළත් එය ලබා ගැනීමට හැකිවූයේ නැහැ...

 වෙළඳ සේවකයෙක් එන තුරු  ඇය පහළ රාක්කයේ වෙන හොඳ පොත් තිබේදැයි බැලුවා.සුදු කුර්තාවකින් සැරසුණු තරුණයෙක් ඈ අසලට පැමිණ පොත් තෝරමින් හිටියත් සාවිත්‍රි ඔහු ගැන තැකීමක් කළේ නැහැ. වෙළඳ සේවකයෙක් ළඟට ආවයින් පස්සේ පොත් අර ගන්නයි සාවිත්‍රිට ඕනේ වෙලා තිබුණේ.


නමුත් අඩි හයක් පමණ උස් සිහින් සිරුරකින් යුත් අර තරුණයා ඉතා පහසුවෙන් තම දිගු ඇගිලි වලින් ඉහළම රාක්කයේ තිබූ "පෙරදිග කලා ශිල්ප විමසුම" කියන පොත අතට ගත්තා..සාවිත්‍රිට තේරුණේ ඔහු ඇයට හිමි වෙන්න තිබුණ මහාර්ඝ වස්තුවක් උදුරා ගන්නවා වගේ හැගීමක්.

සාවිත්‍රිගේ අත එම පොත වෙත දිගු වුණේ ඇයටත් නොදැනීමයි...

වික්ෂිප්තයට පත් ඔහු  එය ඇයට අවශ්‍ය දැයිඇසින් විමසුවා... ඔහුගේ දීප්තිමත්, තියුණු දෑස් වලට යටින් තිබුණේ බලාපොරොත්තු සුන් වූ බැල්මක්. සාවිත්‍රි  එය අවැසි බවට සන් කළා.

පොත දෙස බලා සුසුමක් පිට කර ඔහු එම පොත ඇය අතට දී කුටියෙන් පිට වූණේ විදුලි වේගයෙන්...

''මිස්ටර්....මේ පොත...!'' ඇගේ මුවින් පිටවූයේ ඇයත් නොදැනීමයි....



මතු සම්බන්ධයි..

ලියන්නේ ධරණී උපේකා සමඟ ෂෙනාල් නියෝමාල්