.........towards the stream of thoughts

Saturday, June 12, 2021

තරුණ ආදිපාදතුමාගේ කතාන්දරය - ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු අංක 18

 එය වසන්ත ඍතුවේ පැහැබර සන්ධ්‍යාවක් විය. කොරෝනා වසංගතය නිසා චිකිත්සාගාරයේ කටයුතු මඳක් අඩු වූයෙන් මම බේකර් වීදියේ අපේ හුරු පුරුදු නවාතැනට පැමිණියෙමි. දෑත් සෝදා ගෙන මා දොර විවර කරගෙන  අනාරාධිතවම විසිත්ත කාමරයට පිවිසුණේ ලන්ඩනයේ අංක එකේ අපරාධ පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් පා ගැටෙන හඬින් ම මා පැමිණෙන බව දන්නා බැවිනි.

"ආයුබෝවන් මගේ හිත මිත්‍ර වොට්සන් .ඔබේ සුපුරුදු අසුනේ ම වාඩි වෙන්න මිත්‍රයා " හාන්සි පුටුවේ වාඩි වී  ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගත් කුරුඳු සුරුට්ටුවක් දෙතොලේ රුවා ගෙන හුන් හෝම්ස් මදෙස බලමින් පැවසීය.

" මට පෙනෙන්නෙ දැන් ටිකකට කලින් අනුග්‍රාහකයෙක් ඔබ හමුවෙන්න ඇවිත් ගිහින් වගේ" මම සිනාමුසු මුහුණින් පැවසුවෙමි.

" ඔබ කොහොමද ඒ බව නිගමනය කළේ?"                  

" ඒක බොහොම සරලයි. මමත් ඔබේ නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹීමේ ක්‍රමවේදය අනුගමනය කළා. බලන්න ඔබේ නිවසේ පියගැටපෙළට පිවිසෙන තැන තිබෙන වතුර කරාමය අවට හොඳටම තෙත් වෙලා.  ඒකෙන් පැහැදිලි වෙන්නෙ මීට ටිකකට කලින් අනුග්‍රාහකයෙක් ඔබ හමු වෙන්න ආ බවත් ඔහු දෑත් සෝදාගෙන නිවසට ඇතුළු වුණු බවත්"

" බොහොම කනගාටුයි මිත්‍රයා. මෙවරත් ඔබේ නිගමනය වැරදියි. ඔය වතුර කරාමයේ ජල නළ පද්ධතියේ කාන්දුවක් නිසා තමයි එතැන වතුර රැඳිලා තියෙන්නෙ. මම අද උදේම හඩ්සන් මහත්මියට කිව්වා ජල නළ කාර්මිකයෙක්ට පණිවිඩයක් යවන්න කියලා"

" ආහ් ඒකත් එහෙමද?"

"මගේ නිරීක්ෂණ නිවැරදි නම් ඔන්න දැන් එනවා අපේ අනුග්‍රාහකයා" හෝම්ස් සතුටින් දෑත් පිරිමැද්දේය.

බේකර් වීදියේ නිවාස වල අංක පරීක්ෂා කරමින් හිස එළියට දමාගෙන  පැමිණි  අමුත්තා පුභූවරුන් පරිහරණය කරන අශ්වයින් දෙදෙනෙකුගෙන් යුත් සුවපහසු කරත්තයකින් ඉවතට පැමිණියේය. රථය ඈතින් නවතා ගන්නා ලෙස සන් කළ ඔහු වේගයෙන් තරප්පු පෙළ නැග විසිත්ත කාමරයට පිවිසියේ මලල ක්‍රීඩකයෙකුගේ ස්වරූපය පෙන්නුම් කරමිනි.

අපගේ තරුණ ආගන්තුකයා අඩි හයක් පමණ උස හැඩි දැඩි සිරුරකින් හෙබි කඩවසම් තැනැත්තකු විය.

" ෂර්ලොක් හෝම්ස් මහත්මයා..." ඔහු මාරුවෙන් මාරුවට හෝම්ස්ගෙත් මගෙත් මුහුණු දෙස බලමින් කීවේය.

" මම හෝම්ස්.. මේ මගේ සගයා සහ සහයකයා දොස්තර වොට්සන්"

" හෝම්ස් මහත්මයා මම ඔබව හමු වෙන්න ආවෙ මගේ ජීවිතය සම්බන්ධයෙන්  ඉතාම වැදගත් කාරණවකට.  මේකට කිසිම අපරාධයක් ගෑවිලා නැහැ. මට ඕනෙ ඔබතුමාගෙන් ප්‍රායෝගික විසඳුමක්"

" ඔතනින් වාඩිවෙන්න ආදිපාදතුමා , අපට මුල ඉදන් පිළිවෙලට ඔබේ ගැටලුව කියන්න"

"  මම ඩෙවන්ෂයර් ආදිපාදවරයා. මගේ පියාට අවුරුදු හැත්තෑව සම්පූර්ණ වීමත් සමඟ පාරම්පරික වතු පිටි දේපළ සියල්ල පරිපාලනය කිරීම මට පැවරුවා. මගේ නැගණිය විවාහයෙන් පසු ප්‍රංශයට සංක්‍රමණය වීමත් මව මිය යාමත් නිසා දැනට අපේ පවුලෙන්  එංගලන්තයේ ඉතිරිව සිටින්නෙ අවිවාහක මා සහ  මගේ පියා  පමණයි"

" ඔබගේ දේපළ පරිපාලනය කිරීම සුළු පටු කටයුත්තක් නොවන බව පැහැදිලියි"

"ඒක හරි හෝම්ස් මහත්මයා. නමුත් ගැටලුව හාත්පසින්ම වෙනස් දෙයක්. මා ලබන සතියේ  කැතී මෙනවිය සමඟ විවාහ ගිවිස ගැනීමට නියමිත වෙලා තිබ්බෙ. මුලු දකුණු ලන්ඩනයේ ම ඉඩම් අයිති ඇයගේ පියාට කිව්වොත් ඒකෙ ඒ හැටි වරදක් නෑ. "

" දැන් මොකක්ද ඔබේ විවාහ ගිවිස ගැනීමට  මතු වෙලා තියෙන බාධාව"

" ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව නිම කළේ  ඇයගේ අවශ්‍යතාව  අනුව දියමන්ති ඔබ්බවලා.  මට ඔය ආභරණ ගැන වැඩි දැනුමක්  නැති නිසා  මම කිව්වා ඇය කැමති විදිහට එය සකස් කරගන්න කියලා. දෙයියෝ සාක්කි හෝම්ස් මහත්මයා  ගෝල්ඩන් බිල්ඩින් ස්වර්ණාභරණ සමාගමෙන්  ලදුපත ලැබුණාමයි දෙලොව රත් වුණේ"

" ඒ කියන්නෙ ඒ තරමටම මුදුව මිලෙන් වැඩියි?"

" ඔව් හෝම්ස් මහත්මයා දැනට බටහිර ලන්ඩනයේ අපේ මන්දිරයේ වටිනාකමත් ඊට අඩුයි. මම ආදිපාද කෙනෙක් වුණත් මගේ පියා සූදුවට ඇබ්බැහි වෙලා විශාල මුදලක් නාස්ති කර ගත්තා. ඒ නිසා එපමණ වියදමක් දරන්න මට  හැකියාවක් නැහැ. එවැනි  වියදම්කාරී කෙනෙක් මට ගැලපෙන්නෙ නැති බව මට තේරෙනවා. නමුත් මට ඕනෙ මේක අවමානයක් නොවෙන විදිහට බේරුම් කරගන්න. මට මුල් වෙලා මේ විවාහය නවත්වන්න බැහැ හෝම්ස් මහත්මයා. "

" හොඳයි මම ඔබේ ගැටලුව විසඳීමට බාර ගන්නවා. මට තොරතුරු ටිකක් ඔබෙන් දැන ගන්න තියෙනවා" සටහන් පොත දිග හැර ගත් හෝම්ස් තරුණ ආදිපාදතුමාට පැවසීය.

ඉන්පසු හෝම්ස් ඔහුගෙන් විමසූයේ කැතී මෙනවියගේ රුචි අරුචිකම් පිළිබඳව ප්‍රශ්න ගණනාවකි.  ඩේලි ගැසට් පුවත්පතේ පළවූ පොල් තෙල් යෙදූ කෑම වල අහිතකර ප්‍රතිඵල ගැන ලියවුණු ලිපියක් කෙරෙහි මගේ අවධානය යොමු කළ හෙයින් මට ඔවුන්ගේ සංවාදය පැහැදිලිව නොඇසිණි. 

පසුදින උදෑසනම සන්ධි ප්‍රදාහයෙන් පෙළෙන රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා මම අපේ නවාතැනින් පිටතට පැමිණියෙමි. කොහෙන්දෝ පැමිණි ජේත්තුකාර තරුණයෙක් මගේ ඇඟේ හැපුණේය. ආචාරශීලීව සමාව ඉල්ලූ ඒ කඩවසම් තරුණයා කරත්තයක නැඟී හාර්ලි වීදිය දෙසට නොපෙනී ගියේය.   

පසුගිය සතිය පුරා චිකිත්සාගාරයේ වැඩ වල සිරවී සිටි මා ලද සුළු විවේකයකදී බේකර් වීදිය වෙත ගියෙමි. 

මා බේකර් වීදියේ උඩු මහලට පැමිණෙන විට හෝම්ස් හාන්සි පුටුවට වී සිවුරුහන් කරමින් සිටියේය.

" හෝම්ස් මගේ මිත්‍රයා.. කොහොමද අර එදා ගෙනාව ආදිපාදතුමාගෙ ප්‍රශ්නෙ ?"

" අපොයි  ඒ වැඩේ හරි"

" මෙච්චර ඉක්මනින්?"

"ඒක බොහොම සරලයි මිත්‍රයා . අපේ අනුග්‍රාහකයාට හානියක් නොවන පරිදි විවාහය නොකෙරෙන තැනට වැඩ සිද්ධ වුණා"

" හෝම්ස් ඔබ කොහොමද එහෙම කළේ?"

" කැතී මෙනවියට පහුවදා උදේම අහන්න ලැබුණාලු සූවස් ඇළේ නෞකාවක් හිර වෙලා නිසා ඇයගේ දියමන්ති මුදුව දකුණු අප්‍රිකාවේ සිට එංගලන්තයට ළඟා වීමට තව මාසයක් කල් ගත වෙන බව. ඒ නිසා කෝපයට පත් ඇය වහාම විවාහ ගිවිස ගැනීම අවලංගු කරලා"

" මේ වගේ දෙයක් නිසා ඇයි ඇය විවාහය අවලංගු කළේ. "

"  ගෝල්ඩන් බිල්ඩින් ස්වර්ණාභරණ  සමාගමේ අලෙවි කළමණාකරු ජෙරී ටේලර් සතියක වෙලේ ඉදන් ඇයගේ හිත හොරාගත් නිසා වෙන්නත් පුළුවන්"

" ජෙරී ටේලර් ?" මම අදහා ගත නොහැකිව හෝම්ස්ගේ මුහුණ දෙස බැලුවෙමි.

" එදා  බේකර් වීදියෙන් එළියට බහිද්දි ඔබේ ඇඟේ හැපුණු ජෙරී ටේලර් නොහොත් ෂර්ලොක් හෝම්ස්"

" දෙයියෝ සාක්කි හෝම්ස් ඔබ ඒ ගෑනු ළමයව රවටපු එක නම් වැරදියි"

"අපේ අහිංසක තරුණ අනුග්‍රාහකයා වෙනුවෙන් මම ඒ පාපය බාර ගන්නවා" හෝම්ස් මගේ පිටට තට්ටු කරමින් කීවේය.

©ධරණී උපේකා වීරසේකර 

නිමි

3 comments: