.........towards the stream of thoughts

Sunday, August 31, 2014

මන්දාරම් අඳුර මැදින්


"දැන් උඹ මොනවද කරන්න හිතා ගෙන ඉන්නේ. ඉස්කෝලේ ලොකු මහත්තයා නම් කිව්වේ උඹව ටවුමේ ලොකු ඉස්කෝලෙට යවන්න කියලා."  අඳුරු කුටියට වැටෙන සිහින් එළිය දෙස බලා ගෙන තාත්තා අසයි.
 
"එච්චර සල්ලියක් නැහැනේ තාත්තේ . අනික නංගි ගැන බලන්නත් එපැයි. මම ගමේ ඉස්කෝලෙටම යන්නම්. හොඳ පන්තියකට දෙකකට ගියොත් මට විභාගේ පාස් වෙන්න පුළුවන් වෙයි"
 
"උඹේ කැමැත්තක් . අපිට ඕව ගැන තේරුමක් නැහැ නෙවෙ"
 
" කොල්ලට දොස්තර මහත්තැන් කෙනෙක් වෙන්න ඕනමයි කියන්නේ. ඕක ගොඩක් අමරුයිලු. කලා කොලා නම් එච්චර නැහෙන්නේ නැතුවම විස්ස විද්‍යාලේ යන්න තිබ්බ" අම්මා කියයි.
 
" කොලුවගෙ ආසාව තියෙන දේ එපැයි කොරන්න දෙන්න" තාත්තා කියයි.
 
"මිනිහෙක්ගේ හද ගැස්ම අදුනගන්න පුළුවන් ක්‍රම දෙකයි මේ ලෝකෙ තියෙන්නේ. එකක් කලාකාරයෙක් වෙන එක අනික දොස්තර කෙනෙක් වෙන එක . කලාකාරයෙක් වෙලා අම්මලාව බලාගන්න මට බැහැ. ගොඩක් කලාකාරයෝ මිනිය තියන්නවත් තැනක් නැතුවයි මැරෙන්නේ. අම්මල ඔය දුක් වින්ද ඇති. මට ඕනේ අම්මලාව මේ නරකාදියෙන් බේර ගන්න. එකට ටිකක් මහන්සි වෙන්න වුණාට කමක් නැහැ. දුක් විදලා ලැබෙන දේයි ගොඩක් වටින්නේ."


බස් රථයේ කවුළුවෙන් හීතලම හුළඟක් හමා එන්නේ මගේ හිසකෙස් තවත් අවුල් කරමිනි. වේගයෙන් ගමන් වංගු අතරින් ගමන් ගන්න බසයේ කෙළවරක වාඩි වී හුන් මට මීට සය වසරකට පෙර  අම්මා සහ තාත්තා පැවසු ඒ වදන් සිහියට නැගේ. මගේ දෙනෙත් තෙත්ව ඇති බව දැනෙන විට  මං කඳුළු සෙමින් පිසදා ගනිමි. මම ඇදුම් බෑගය තවත් තදින් තුරුළු කර ගනිමි. මගේ පළමු පත්වීම මන්දාරම් නුවර ග්‍රාමීය රෝහලටය. අසුනේ ඒ මේ අතට බර වන විට  ඇදුම් බෑගයේ ඇති වෙද නළාවේ ආදරණීය ස්පර්ශය මට දැනේ.

අලුත් පත්වීම ලැබ ඒ නාදුනන පෙදෙසට ගිය පසු මගේ ළයාදර සේවකයා වූයේ අප්පුය. ඔහු මුඛරි කම සහජයෙන් මෙන් උරුම කර ගත්තෙකි.

" මේ පැත්ත හරිම හාස්කම් තියෙන පැත්තක් සර් .අපේ රාවණා රජ්ජුරුවෝ සීතා දේවිව හිර කරලා තිබ්බේ මේ පළාතේ කියලයි ගම්මු කියන්නේ.  ඒ ගොල්ලෝ රාවණා රජ්ජුරුවන්ව දෙවියෙක් වගේ අදහනවා "

" වෙන කෙනෙක්ගේ බිරිඳක් පැහැරගෙන ඇවිත් හිර කරලා තියාගෙන ආදරේ ලැබෙයි කියල බලන් හිටියා මිනිහෙක් මට පේන්නේ මෝඩයෙක් හැටියට මිසක් දෙවියෙක් හැටියට නෙවෙයි අප්පු"

"අම්මෝ සර් ඔය කතා කියන්න එපා. රාවණා රජ්ජුරුවන්ගේ අඩවිය මේක"

මම ඔහුගේ අනුවණකම ගැන සිතමින් තනිව සිනාසෙමි.

                                                   *************


                                   අලුත් තැනට පැමිණ දින තුනක් ගත විය.එදින තරමක් මීදුම පැවතියද උදෑසනින්ම ඇවිදින්නට යාමට මට සිත් විය. කුඩා කල පටන් සීත කාලගුණය මට හොදින් ඔරොත්තු දෙයි. අප්පු සැකසූ කිරි කෝපි කෝප්පය උගුරට දෙකට පානය කළ මම මීදුම අතරින් කඳුකර මායිම ඔස්සේ පිය මැන්නෙමි.

තවම හිරු නැගී නොමැති මුත්, පෙරදිග අහසේ වුයේ චමත්කාරජනක ප්‍රභාශ්වර මන්දාලෝකයකි. හෙල්මළු කුඹුරු වලට එපිටින් මීදුම අතරින් රන් කෙඳි සේ අරුණාලෝකය පතිත වෙයි. මීදුම මැදින් කිසිවක් පැහැදිලිව නොපෙනුණනද මට අඩි කීපයක් ඉදිරියෙන් ගමන් ගන්න කාන්තාවකගේ රුවක් මගේ නෙත ගැටිණි.

විගසින් කඳුකර මාර්ගයේ  එක කෙළවරක  සිට වේගයෙන්  පැමිණි ලොරි රථයක් මහා හඩින් තිරිංග තද කරන හඬ මට ඇසිණි.ඉන් පසු එය මා සිටි ස්ථානයද පසු කර වේගයෙන් ධාවනය විය.

කුමක් හෝ හේතුවක් නිසා අනතුරක සේයාවක් මට ඉව වැටිණි.  ඉන්  මොහොතකටවත් නොනැවතුණු මම ශබ්දය පැමිණි දිසාවට , මීදුම කපා ගෙන වේගයෙන් දිව ගියෙමි.

මාර්ගය කෙළවර වූ තැන බිස්ස මත තරුණියක් වැටි සිටියාය.  අනතුරින් අයගේ නළලේ වම පස දරුණු ලෙස තුවාල වී තිබිණි .වෙද නලාව සාක්කුවේ තිබීම ගැන ස්තුතිවන්ත වූ මට ඇය තවමත් ජීවතුන් අතර බව පසක් විය. ඇය තවත් පියවර කිහිපයක් පසුපසට විසිවී ගියා නම් ප්‍රපාතයෙන් වැටී මිය යන්නට ඉඩ තිබිණි.

                                                ****************


මගේ ප්‍රතිකාරයෙන්  ඇය යම් ගුණයක් ලැබුවාය. මෙවැනි දුෂ්කර පළාතක දුක් විදින තරුණියකගෙන් අපේක්ෂා කළ නොහැකි අන්දමේ රූමත් සහ බුද්ධිමත් පෙනුමක් ඈ කෙරෙන් දිස් විය. මින් පෙර සරසවියේ සය වසර තුළදී පවා නොහැගුණ හැඟුමකින් මගේ සිත පිරී ගොස්ය. ඇයගේ තත්වය නරක අතට හරි අයව නගරයේ රෝහලට මාරු කර යැවීමට සිදු වේ යැයි මා තුල බියක් විය. ඒ බියෙහි මුල ඇත්තේ ප්‍රේමයක් බව තේරුම් ගැනීමට මට අපහසු නොවීය.
 
මා දකින විට වේදනාවෙන්  තැවුණු අයගේ දෙනෙත් වල කාන්තියක් පෙනේ.
 
I swear by Apollo, the healer, Asclepius, Hygieia, and Panacea and I take to witness all the gods, all the goddesses, to keep according to my ability and my judgment, the following Oath and agreement....
 

අවුරුදු සිය ගණනක් පැරණි හිපොක්‍රටික් දිවුරුම මගේ මනස තුළ දෝංකාර දෙයි. ඇය මගේ රෝගියාය. නමුදු කිසිවක් නොදැන ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති වීම නිසාදෝ මට මා ගැනම බියක් දැනුණි.

 " සර්ට ඕක තම මම කියන්නේ උදේ පාන්දර ඇවිදින්න යන්න එපා කියල" මේ සිදුවීම දැනගත් වහාම අප්පු කිවේය. ඔහුගේ මුහුණෙන් පල වුඋයේ භීතියට පත් ලකුණුය.

 " ලෙඩාගේ කාට හරි මේ ගැන දන්වන්න වෙයි"

 " වැඩක් නැහැ සර්. පියුමි ඉස්කෝලේ නෝනට කවුරුවත් නැහැ. එයා අර ළමා නිවාසේ තමයි පොඩි කාලේ ඉදන් හැදිලා තියෙන්නේ "  ඔහු නිල්වන් කඳු යාය පාමුල ඇති ගොඩනැගිල්ලකට ඇත දිගු කරයි.

 "හරිම හොඳ ඉස්කෝලේ නෝනා කෙනෙක් . ගමේ ඉස්කෝලේ හරියට වැඩ කරන කෙනෙක්ට ඉන්නේ එච්චරයි. මේ දවස් වල ළමා නිවාසේ ලලිතා නෝනා ඉස්කෝලේ නෝනට මනමාලයෙක් හොයනවා. ඉස්කෝලේ නෝනාගේ ඕවට කිසි උනන්දුවක් නැහැ". 

 " හැබෑට?" මගේ යටි සිත සතුටින් පිනුම් ගසයි.

 "තාම විසි තුනයිනේ මාමේ  කියල කියනවා මන් ඔය ගැන කියද්දී. මොනවා වුණත්  හොඳ ගුණ යහපත් මහත්තයෙක් හම්බ වෙන්න ඕනේ "

                                                  ************
කාලය වේගයෙන් ගෙවී ගොස්ය. නංගිගේ මංගල්ලයෙන් පසුව යුතුකම් ඉෂ්ට කළ වැඩිමහල් සොහොයුරෙකු ලෙස  මට වෙනදාටත් වඩා සැහැල්ලුවක් දැනේ . බරපතල රෝගීන් කිසිවෙකු නොසිටීම නිසා  ඒ කටයුතු කර ගැනීම මට පහසුවක් විය.

" දැන් පුතත් පිළිවෙලක් වුනොත් නරකද?" අම්මාගේ හැම ලියුමකම එම වාක්‍යය නොවැරදීම තිබේ.

              මා නංගිගේ මගුල සදහා මන්දාරම් නුවරින් පිට වූ දින පියුමි සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබිණි. එක දිගට නිවාඩු ගැනීමට මට සිදු වුණේ අන් විකල්පයක් නොවූ හෙයිනි.මේ බව මට දැනගන්නට ලැබුණේ මසකට පසු ආපසු රෝහලට පැමිණෙන අතරමගදී අයව හමු වූ  විටය. 
         මට ඒ ගැන කිසිත් නොකියා මගේ රෝගියා ගැන එවන් තීරණයක් ගැනීම නිසා මම රෝහලේ ජේෂ්ඨ වෛද්‍යවරයා සමග අමනාපයෙන් පසු වුණෙමි.  නමුත් ඇය කීවේ ඇය වෙනදාටත් වඩා සුවෙන් පසුවන හෙයින් ඔහුගේ තීරණයේ වරදක් නැති බවය.
ඔහු විශ්‍රාම ගැනීමට දින කිහිපයක් පමණක් පවතී හෙයින් නිකරුනේ මේ ගැන වාද කර සිත් රිදවා ගැනීමට මම කැමති නොවීමි. රෝහලේ අනික් කිසිවෙකුත් අප්පුවත් ඉන් පසුව පියුමි ගැන වචනයක්වත් කතා නොකළහ.

පියුමි සහ මා අතර ඇති සම්බන්ධය ගැන කිසිවක් කිසිවෙකුටත් නොපැවසීමට මම වග බලා ගතිමි. කිසිවක් නොකීවද අප්පු හැසිරෙන්නේ තතු සියල්ල දන්නා කෙනෙකු පරිද්දෙනි.
     මට හැම දිනකම ඇයව මුණ ගැසෙන්නේ  ඇය මුලින්ම දුටු කඳුකර මාවතේ ඒ  වෙලාවටමය.  අප එතන සිට තණකොළ පලස මත වාඩි වී අල්ලප සල්ලාපයේ යෙදෙමින් හිරු නැගෙනයුර බලා සිටිමු. නිකරුනේ ගම්මුන්ගෙන් කතා අසා ගැනීමට අප දෙදෙනාටම අවශ්‍ය නොවීය. පෝය දින වල මට ඇයව මුණ නොගැසෙන්නේ ඇය උදෙන්ම සිල් ගැනීමට යන නිසාය.

 "එදා ඔයා නොහිටින්න මම මැරිලා ගොඩක් කල්" අයගේ කටහඬ සිහින්ය. හිත නිවනසුළුය.

 " ඔයා මැරෙන්න බයද?" මම අසමි.

 " අපි ආදරය කරන  දේවල් මැරුණට  පස්සේ හරි ලැබෙනවානම් මම මැරෙන්න බය නැහැ." ඇය සිනා සෙමින් කියන්නීය. සාහිත්‍ය පොත් මත ජීවත් වන ඇයගේ සමහර පිළිතුරු මට නොවැටහේ.

 

                                 ***********

 මගේ සිත පුරා පිරී පවතින්නේ ඉමහත් සතුටකි. තවත් මෙය ඔහුගෙන් වසන් කර තැබීමට මගේ සිත නොදෙයි.

 " අප්පු මට දෙයක් කියන්න තියෙනවා "

 ඔහු නෑබිළිය පසෙක ලා මා දෙස විස්මය මුසු බැල්මක් හෙළීය.

 " මං පියුමි මිස්ව බදින්නයි යන්නේ"

 අප්පුගේ නළලෙහි හා කම්මුලෙහි මස් පිඩු අවතාරයක් දුටුවාක් මෙන් වේගයෙන් සැලෙන්න විය.

 " මො...  ක... ක්...?"

 "මං පියුමි මිස්ව බදින්නයි යන්නේ"

 " ඇයි සර්.....මීට මාස තුනකට කලින් සර් නංගිගේ මංගල්ලෙට ගමේ ගිය දවසේ....... පියුමි මිස් නැති උනානේ..."

 
" සමහර දේවල් මැරුණට  පස්සේ හරි ලැබෙනවානම් මම මැරෙන්න බය නැහැ."

 ඇයගේ කටහඬ හීනෙන් මෙන් ඇසෙද්දී මම ක්ලාන්ත වුණෙමි.

 

                                                   සමාප්තයි.!

 

 

 

 

  

 
 
 
 
 
 
 
 

Monday, August 25, 2014

නුඹ සයුර සේ මැයි...


කාලෙකට පස්සෙ ඇබ්බැහි වෙලා වගේ අහන්න පෙළඹුණු ගීයක් ගැන පොඩි විවරණයක් කරන්න හිතුණා. මේ තියෙන්නෙ ඒ ගීතය.


නුඹ සයුර සේ මැයි
බිඳී විසිරෙයි සිතුම් පෙණ පිඬු සිත් ඉවුරු බැම්මේ    

දුක කඳුළ ඈතයි
හද විලේ පෙම් කුමුදු පීදෙන හඬ ඇසෙයි රහසේ

සිත හරිම සීතයි
සඳ මඬල යට උණුහුමට පිපි තරු මලක් වාගෙයි

සඳ තවම තරුණයි
සඳ දිලී තරු නිවී ගිය දා දුක් කඳුළු බෝමැයි

නුඹ මගෙ ම ගාණයි
සසර ගණනක පැතූ ලෙස අප හමුවුණා වාගෙයි

වැට කඩුලු බෝමැයි
සතුට දුකඳුරු එකට විඳගමු අපි අපෙම වේ මැයි

 

නුඹ සයුර සේ මැයි කියන එකෙන් මට හැඟෙන්නේ පෙම්වතා තුළ තියෙන ආදරයේ විශාලත්වය. අනන්ත වු සාගරය තරම් ආදරය ගැඹුරු බව. හෑම සිතුමක ම මුල ඇය සිටින බව හරියට සාගරයෙන් තොරව පෙණ පිඬු උපදින්නෙ නැහැ වගේ. සිත තුළට ඔහු පිළිබඳ පෙම් හැඟුම් එන විට දැනෙන ආනන්දය නිරූපණය කරන සියුම් සංකේතයක් වගේ පෙණ පිඩු කියන යෙදුම.

ඝට්ටනයකින් තොරව රිදුමකින් තොරව පෙමක් පවතින්නෙ නැහැ.හරියට රළ ගැටෙන කොට පෙණ පිපෙනවා.මේ පෙම තුළත් හැංගුණ ඉසියුම් වේදනාවක් තියෙන බවට තරුණියට කරන ඉඟියක් දෝ කියල හිතෙනවා.

 එත් තරුණිය කියන්නේ දුක කඳුල ඈතයි කියල. ප්‍රේමය නිසා ඇයගේ හදවත විකසිත වෙලා අවසන්.ඔහු වෙනුවෙන් අයගේ සිත තුල ජනිත වූ පෙම ඇයට දැනෙනවා. ප්‍රේමය නම් කුමුදු මල් පෙති විහිදන සියුම් සිහින් හඬ ඇසෙන තරමටම ඇය අගේ හදවතත් එක්ක සමීප වෙලා,ඒකාත්මික වෙලා.

සිත හරිම සීතයි කියන එකෙන් මට හිතෙන්නේ කියවෙන්නේ තවම ඔවුන්ගේ ප්‍රේමය හරියටම ප්‍රකාශවෙලා නැහැ නැත්තම් එකට මකක් හරි ලොකු බාධාවක් තියෙනවා වගේ අදහසක්. ඒත් ඇයගේ ප්‍රේමය නිසා ඔහුට කටුක ජීවිතය තුල යම්තාක් හෝ උනුහුමක් දැනෙනවා. ඇය සඳක් නම් ඔහු හරියට අයගේ උණුහුම් රැස් කිරණ යට ඇයගෙන් ආලෝකවත් වුනු කුඩා තරුවක් වගේ.

ඇය හමුවේ ඔහු කොතරම් ක්ෂුද්‍රදකියල මීන් කියන්න හදනවා වෙන්න පුළුවන්. ඇයගේ එළියෙන් තොරව ඔහුට ජීවිතයක් නොමැති බව එයින් සංකේතවත් කරනවා.

සඳ තවම තරුණයි කියන්නේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය තවම අලුත් නෑබුල් කියන අරුත කියලයි මට හිතෙන්නේ. කවද හරි තරුණයාගේ ප්‍රේමය අහිමි වුව හොත් ඇයට කඳුළු සලමින් තැවෙන්න වේ යැයි ඇය බියෙන් සිටින්නේ. සඳ දිලි තරු නිවී ගිය දා දුක් කඳුළු බෝමයි කියන එකෙන් අදහස් වෙන්නේ ඒක වෙන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රේමය කවද හෝ කඳුලින් නිම වේ යන අනියත බව අයගේ සිත තුල හොල්මන් කරනවා.

 සංසාරික බැඳීමක් ලෙස ඇයව හමුවුනා යැයි තරුණයාට හිතෙනවා. ඒ සසර පුරුද්ද මත ඔවුන්ගේ ප්‍රේමය ආරක්ෂා වේ යැයි ඔහු තුල පවතින්නේ සුබවාදී පැතුමක්. අවසානයේ තරුණිය කියන්නේ කොයි තරම් බාධක කම් කටොලු ආවත් සතුට මෙන්ම දුක ජීවිතයට දැනුනත් දෙදෙනාම එකාවන්ව මේ ජීවිත ගමන යමු කියල. ඒ අන්තිම පේළිය ගොඩක් දැනුණා.

Sunday, August 24, 2014

සුපෙම් යාත්‍රා .............. නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා ...(පස්වන දිගහැරුම)



රහල් කවදත් ඔහොමය.. කිසිවක් විස්තරාත්මකව පවසන්නේ නැත..
 ''නුතන යුගයේ යථාර්ථවාදී කලාකරුවෙක්'' ..කවුද ඒ?

සාවිත්‍රිගෙ සිතට මෙය මහ බරක් වූවත් ඇගේ නොසිඳෙන කුතුහලයට ඇය දළු ලා වැඩෙන්නට ඉඩ දී පසු දිනට සූදානම් වූවාය...

උදෑසන අවදි වී, ලා නිල් කුර්තාවකින්  සැහැල්ලු  පාවහන් යුවලකින් සැරසුණු ඇයගේ වමතෙහි නූල් වලින් තැනූ අත් පළදනාවක් විය. 

සාවිත්‍රි රහල්ගේ කාර්යාලයට ගියේ දෙගිඩියාවකිනි..

කෝ රහල්?..ඇය කාර්යාලයේ වැඩ කරන අයෙක්ගෙන් ඇසුවාය..

 ''අන්න අද උදයේම හදිසි වැඩක් කියලා ගියා'' ඔයා ආවොත් මෙන්න මේක දෙන්න කිවුවා''..

"අද හවස හතරට ග්‍රීන් පාත් එකේදි විදර්ශන සේනානායකව හම්බවෙන්න. මම වාහනයක් ලෑස්ති කරලා තියෙන්නේ."

සවස හතර වන තුරු සාවිත්‍රි පසුවූයේ ඉමහත් නොයිවසිලිමත් බවකිනි.විදර්ශන චිත්‍ර ශිල්පියෙකු බව හැරුණු කොට ඔහු පිළිබඳව අන් කිසිදු තොරතුරක් සාවිත්‍රි දන්නේ නැත .

පුවත්පත් කාර්යාලයේ ලොකු බිත්ති ඔරලෝසුවේ හතරේ කණිසම නාද වන විට ඇය හුනස්නෙන් නැගී සිටියාය. මෙවැනි කටයුතු සඳහා  රහල් එවන සුපුරුදු මෝටර් රථය කාර්යාල රිය අංගනයේ නවතා තිබිණි. සාවිත්‍රි රියට ගොඩ වුයේ  හිතවත් රියදුරාට මද සිනහවකින් සංග්‍රහ කරමින්ම ය.

කාර්යාල වෙලාව අවසන් වීමට ලංව තිබූ හෙයින්දෝ කොළඹ නගරය තුළ සාමාන්‍ය කලබලකාරී බව එලෙසින්ම පැවතිණි.

ජනාකීර්ණ වීදි කිහිපයක් පසු කරමින් අතුරු මගකට පිවිස වේගයෙන් ඇදී ගිය රිය අවසානයේ නතර වූයේ තරමක් විශාල ඉඩමක් ඉදිරිපිටය.

"මැඩම් මෙතන තමා තැන. මම මෙතන ඉන්නම්. මැඩම් වැඩේ ඉවර වෙලා එන්න"

ලියකම් වලින් අලංකෘත වූ ගේට්ටුව සෙමින් විවර කළ සාවිත්‍රි  සුදු වැලි අතුළ මාවත මැදින් නිවස දෙසට පියමන් කළාය. කොළඹ වැනි ජනාකීර්ණ නගරයක් තුළ අපේක්ෂා කළ නොහැකි අන්දමේ ඉසියුම් නිස්කලංක බවකින් මුළු පරිසරයම වැසී තිබිණි. තුරු වියනකින් මැනවින් සෙවණ වූ කිරිගරුඬ ඇතිරූ පටු මන් පෙතක් ඔස්සේ ඇවිද ගිය ඇය නිවහනේ විවර වූ දොර අසල හිද මඳක් නැවතුණේ නාද කිරීමට සීනුවක් ඇතිදැයි සෝදිසි කරමින්ය.

විසල් සුදු බිත්ති මත නිදහස්ව දෑත් විදහා සිත්තම් කළ අමුතු අන්දමේ සිතුවම් රැසක් විය.

 කැන්වසයක කොන් හතරට සීමා වී තිබූ සිතුවම් වලින් ඔබ්බට ගිය යමක් මෙතුවක් දැක නොතිබූ ඇයට එම සිතුවම් ගෙන දුන්නේ ඉමහත් ආනන්දජනක හැඟුමකි.

අවට සිතුවම් වලින් වශීකෘත වූ සාවිත්‍රි ගෙබිමෙහි විශාල පුවරුවක් මත දැහැන් ගත වුනාක් මෙන් සිතුවමක් වර්ණ ගන්වමින් සිටි සිත්තර දුටුවේ මෙවරය.

නළලතට වැටී තුබූ අක්බමරු කෙස් රොදක් නිසා ඔහුගේ මුහුණ හරි හැටි නොපෙනුණත්, ඔහුට හිමිව තිබුණේ තරුණයෙකුට හිමි ශක්තිමත්බවින් නොඅඩු දෑත් ය. ඔහු මුනිවර ආධ්‍යාත්මයක් පෙන්නුම් කරමින් එහිම නිමග්නව සිටියේය.

"කලාව සංසාරය වෙත මිනිස්සුන්ව බැඳ තබන කෙළෙස් බර මායාවක් වෙනකොට කලාකාරයින් මුනිවරයින් වෙන්නේ කොහොමද?" සාවිත්‍රි සිතුවාය.

ඔහු දෙස විමසිල්ලෙන් මුව ඇය ගෙන බලා සිටි සාවිත්‍රිගේ අතින් කාමරයේ යතුරු කැරැල්ල ගිලිහී ගොස් මහා හඩින් පොලොව මත පතිත විය.

ඔහු සිතුවම වෙතටම නැඹුරු වූ දෙනෙත් ඉන් ඉවතට ගෙන ඇය දෙස ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් හෙළුවේය .


මතු සම්බන්ධයි.....

ලියන්නේ ෂෙනාල් රාජකරුණානායක සහ ධරණී උපේකා වීරසේකර. 



 

Saturday, August 23, 2014

තෙතබරිත කවි







කිරිකෝඩු සිනහවක් මට හෙළන
මුවේ ඇත මුදු පෙමක අඩුවැඩිය
වැහි කෝඩ අතර වුව හිනැහෙන්න
හිතේ ඇති පෙම් කැකුළ හැඩිදැඩි ය

අකල් නියඟයක් මැද දුක් විඳින
ඉපල් වුණු හදවතකි ඉකි බිදින
ළපල්ලක් සේ සෙනෙහෙ දළු ලන්න
ඇසිල්ලක් නෙත් කැළුම් මට දෙන්න

නොතිර වූ සසර වෙත බැඳ තබන
සුසර සත්සරකි ලොව පෙම නමින
විසිරි හිරිපොද අහුර නුඹ සොඳුර
කතර මඟ අතරමඟ ගිම් නිවන

@ධරණී..
 

Friday, August 22, 2014

තෙවසරක් ඇහින්ද සරසවි මතක

           සරසවියේ තුන් වෙනි වසරත් නිමා වුණේ නොදැනීම වගේ. විභාගේ තියෙන දවස්, assignment දවස් හරි හෙමින් ඉබි ගමනින්  ගෙවුණත් අනික් හැම දවසක්ම ගෙවෙන්නේ හිතා ගන්නත් බැරි තරම් විදුලි වේගයකින්.


"අය්යෝ මේ කරුමේ ඉක්මනින් ඉවර වෙනවා නම් හොඳයි " කියල තරහ ගිය වෙලාවල් වලට එපා වෙලා කිව්වට එකෙන් අදහස් කරන්නේ මේ පීඩාකාරී අධ්‍යාපනයට තියෙන අකමැත්ත මිසක් සරසවි ජීවිතේට තියෙන අකමැත්ත නෙවෙයි.

 අවුරුදු තුන අවසානෙදි ආපහු හැරිලා බලද්දී ගොඩක් දේවල් හිතෙනවා. ලකුණු, විභාග සහ අවුරුදු හතර අවසානේ අතට ලැබෙන ගනකම වැඩි රෝල් කරපු කඩදාසියට වඩා ඒ කාලේ ඇතුළත අපි හම්බ කර ගත්තු යාලුවෝ ගොඩක් වටිනවා. ඒ මානව සම්බන්ධතා මුදලින් මනින්න බැහැ.

අන්තිමට මතකයේ හොදින්ම කා වැදිලා තියෙන්නේ  බංකුවක් යට ඉදන් යාලුවෝ එක්ක කරපු සංවාද; දේශපාලනේ, සාහිත්‍ය, චිත්‍රපටි වගේ දේවල් ගැන වරු ගණන් වෙච්ච වාද විවාද, කැන්ටිමේ වරුවක් විතර පෝලිමේ ඉදල ඉදල කෑම කාපු හැටි, ජිම් එකේ badminton ගැහුව හැටි වගේ දේවල් තමයි.

කොහේදී හරි කියෙව්වා " ඔබ කොපමණ උත්සහ කරත් ජීවිතයේ කුමක් හෝ යමක් ඔබට හැමවිටම මග හැරෙනු ඇත කියල".

            කැම්පස්  ජීවිතේටත් ඒක අදාලයි. විශේෂයෙන්ම ගෙවල් වලින් ඈත් වෙලා බෝඩිමක හරි හොස්ටල් එකක හරි ජීවත් වෙනවා කියන්නනේ ගෙදර තියෙන ඒ සෙනෙහස, ලෙන්ගතුකම සහ උණුහුම , අම්මගේ පුරුදු රහ කෑම මේ හැම එකක්ම අවාසනාවන්ත විදිහට මග ඇරෙනවා කියන එකයි.ඒ අතින් ගෙවල් වල ඉදන් කැම්පස් එන ළමයි ගොඩක් වාසනාවන්තයි. කොළඹ එන්න කලින් හිටන් උන්නු දේවල් ගොඩක් මේ අවුරුදු තුන ඇතුලේ සංස්කරණය කරන්න වුණා. සමහර කොළඹ අය ගාව ගමේ මිනිස්සු ළඟ නැති හොඳ ගුණ ධර්ම තියෙන බව තේරුණා. පොඩි කාලේ අහල තිබ්බේ සහ වැඩිහිටියන් අපේ ඔලු වලට දාල තිබ්බේ " අහවල් පළාතේ මිනිස්සු හොඳ නැහැ" වගේ සාම්ප්‍රදායික  කිසිම පදනමක් නැති හණමිටි කතා. ඒත් දැන් තේරෙනවා කෙනෙක්ගේ යහපත්කමට ඔහු ගේ ගම් පළාත බලපාන්නේ නැහැ කියල.

බෝඩින් ජීවිතේදී අපිත් එක්ක කාමරේ බෙදා ගන්න කෙනා නැත්තම් roommate හරිම වැදගත්. වර්ග අඩි කීපයක් ඇතුලේ තියෙන ඔක්සිජන් වල  ඉදන් ගොඩක් දේවල් බෙදා හදා ගන්න වෙන්නේ ඒ කෙනා එක්ක.  අපි ඉගෙන ගන්න විෂය ධාරාවට වැඩ වෙනස් විෂය ධාරාවක් ඉගෙන ගන්න කෙනෙක් roommate වුණහම තියෙන විනෝදෙ ගොඩක් වැඩියි. අපි පාඩම් කරන ජාති ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ ,ඒ ගොල්ලන්ට උගන්නන ජාති අපට දිරවන්නේ නැහැ. මේ දැන් මේක ලියද්දිත් cal, variable වගේ අමුතු වචන ඔලුව ඇතුළේ හොල්මන් කරනවා.

සමහරු ජනෙල් අරිනවට කැමතියි, සමහරු fan දානවට කැමති නැහැ. සමහරුන්ට ලයිට් දාල තියෙද්දී නින්ද යන්නේ නැහැ. ඔන්න ඔය වගේ නොගැලපීම් සහ ගැටුම් දහසකුත් එකක් තියෙනවා.

 නමුත් බෝඩින් ජිවිතේ සුන්දරත්වය තමයි ඒ නොගැලපීම් වලට අනුවර්තනය වීම. අනිකාගේ සතුට වගේම, කෙලින් නොකිව්වා හිතේ අමාරුවක් තියෙනවනම් ඒක ඉවෙන් වගේ තේරුම් ගැනීම, දොර ලොක් කරගෙන ආසම සින්දු එකට කීම සහ නැටීම, නියපොතු හපාගෙන ක්‍රිකට්‌ මැච් බැලීම, පැරදුණාම බැන බැන නිදා ගැනීම.:p .. මේ හැම එකක්ම අමරණීය මතකයක්.

සමහර දේවල්වල නියම වටිනාකම තේරෙන්නේ ඒවා අහිමි වුණාට පස්සේ. සරසවි ජීවිතත් එහෙමයි. එ හින්ද ඉතුරු වෙලා තියෙන්නේ ටික කාලයක් උනත්  අධ්‍යාපනයට අමතරව ලස්සනම මතක අහුරක් අර ගෙන සරසවියට සමු දෙන්න පුළුවන් නම් එකයි සැබෑ සතුට සහ සාර්ථකත්වය.


  

ගලා යන සීත වැහි බිංදුවට සමු දුන්
වලා පෙළ මමයි දුර අහස් තල මත හුන්
හරිත වන රේඛාව ළදළු පත් මත ඉහුණු
කඳුළු වැහි බිඳ ඇයයි දුක මතින් කැටි ගැහුණු


ඔය මතක හීත තවමත් හිතේ මං ගාව
ඔය රැලි නැගුවදෙන්, හිනැහියන් ගංගාව
හීන සාගරයක් හොයා ගෙන දුර ඇදෙන
වැහි බිඳක අගය හඳුනයි ද  සැඩ සාගරය

 වළා අත් පහුර තුළ නුඹ හොවා ගෙන සුරැකි
සීතලත් උණුහුමක් වුනු අතීතයක් ඇති

සොඳුරු සඳ කැන් අතර ගෙතුණු තරු ලියකම්
මැකුණු දා තනිකමට ළඟ කවිකම්


@ධරණී
 

Tuesday, August 5, 2014

ඡායා

2010/08/06
මාතලේ

තිසල්ගේ සිතෙහි වූයේ පෙර කිසිදිනක නොදැනුණු අමුතුම සතුටකි. සත්විසි වසක් ගෙවූ කටුක තනිකඩ දිවිය නිමා කරමින් සැබවින්ම යහපත් ගුණදහම් වලින් හෙබි රූමත් තරුණියක වන තිලක්ෂි හා අතිනත ගන්නා දිනය  තෙක් ඔහු  සිටියේ නොඉවසිල්ලෙන් ය. මුල් ඇඳුම නිසා ඔහුට වෙනදාටත් වඩා කඩවසම් පෙනුමක් ලැබී තිබුණි.

"අයියේ ස්ටුඩියෝ එකෙන් කෝල් එකක් දුන්නා කට්ටිය මනමාලිගේ ගෙදරට ගියා කියල"

"අහා හරි!"  ඔහුගේ මුහුණ සතුට උතුරා යන කැඩපතක් බඳු විය.

" ඔන්න ෆොටෝ වල මොකක් හරි අවුලක් උණොත් මල්ලි තම වග කියන්න ඕනේ. මන් ඔය ස්ටුඩියෝ ඒක දන්නෙත් නැහැ. ඔයාමනෙ සේරම ලෑස්ති කරේ" තිසල් යහළු මනමාලයා ලෙස සැරසී හුන්  තම බාල සොහොයුරා දෙස බලමින් තරමක් තද ස්වරයෙන් කීය.

"ඕකනේ අය්යට මාව විශ්වාස නැහැ නෙ. "ස්ටුඩියෝ වාසු" එකේ කැමරාමන් නම් එච්චර වයස කෙනෙක්  නෙවෙයි. ගොඩක් තරුණ කෙනෙක් . එත් එයාගේ ෆොටෝ වල පුදුම කලාත්මක ගතියක් තියෙනවා. මමත් එයාව අදුන ගත්තේ අපේ කැම්පස් එකේ කලා උළෙලේදී. නුවර පෙරහැරේ එය අරන් තියෙන ෆොටෝ දැකලා තියෙනවනම් අය්ය ඔහොම කියන්නේ නැහැ.ඇල්බම් දෙක අතට ලැබුණාම අය්යට තේරෙයි."

තිසල් කිසිවක් නොකියා සිනාසුණේය.

"මිනිහ කිව්වේ පළවෙනි ෆොටෝ කීපය අතරේ මනමාලිට තැල්ල තියෙන එක නැත්තම් වැඩක් නැහැ කියලයි."

"ඔව් මල්ලි ඒක මටත් පස්සෙයි කල්පනා උනේ"

"ඔව්වා ඔහොම තමා ..බැන්දයින් පස්සේ අපිවත් අමතක  වෙයි"

"අනේ යනවා යන්න!"

                                              ***************

2010/08/06
මහනුවර

                  තිලක්ෂි තමා ඉදිරියේ වූ විසල් කණ්නාඩි මේසයේ කැඩපතින් තම රුව දෙස බලා සිටියාය. නිවසින් ගෙන ආ යෝජනාවකට ඇය කැමැත්ත පළ කළේ තව දුරටත් ඇය අවිවාහකව සිටීම දෙමාපියන්ට බරක් වන නිසා මිස විවාහ වීමට ඇති කැමැත්තක් නිසා නොවේ. තිසල් යහපත් තරුණයෙකු බව ඇය අසා තිබුනද ඔහු කෙරෙහි ඇය තුළ ප්‍රේමයක් පහළ වී නොතිබිණි. නමුත් ඇය ඔහුට සුහදශීලිව සැලකුවාය.

නමුත් තිලක්ෂිගේ මව හැසිරුණේ උතුරා යන තරම් ප්‍රීතිය මුසු ආඩම්බරයකිනි. ඇය තම දියණිය සමග සේයා රූ වලට පෙනී සිටියේ ද ඒවත් උදාරම් හැඟුමකිනි.

නෙත් කැමරා කාචය දෙස යොමු වී තිබුණ ද ඇගේ සිත බොහෝ දුර ඈත මතකයන්හි පැටලී ගව් ගණන් ගොස් තිබිණි.

"හරි , දැනට එච්චරයි. ඉතුරු ටික මනමාලයා ආවහම " කැමරාකරුගේ කටහඩත් සමග ඇය යළි පියවි ලොවට පැමිණියාය.

"දුවේ මම එහෙනම් කුස්සිය පැත්තට ගිහින් පොඩ්ඩක් බලලා එන්නම්. තව වෙලා තියෙනවනේ"

තිලක්ෂි හිස වනා වාඩි වී හුන් ටීපොවෙන් නැගිට්ටා ය.

ඡායාරූප ශිල්පියා  පසෙක තබා තිබූ Canon 1Dx වර්ගයේ කැමරාව වෙත තිලක්ෂිගේ නෙත් යොමු විය. එම පැරණි උපකරණය තුලින් ඇයට කුමක් හෝ හුරුපුරුදු බවක් දැනුණි

"පොඩ්ඩක් ඉක්මන් කරන්නකෝ"  තිලක්ෂි තම සේවකයන්ට අණ කරමින් සිටි ඡායාරූප ශිල්පියා පැහැදිලිව දුටුවේ මෙවර ය.

ඔහුගේ දෙනෙත්ද ඉබේම ඇය වෙත යොමු වී තිබිණි.

"දෙවියනේ! වාසුල!!!!!!!"

                                            **************

2010/08/06
මහනුවර පොලිස් ස්ථානය

"වාසුල ඉන්දීවර, හ්ම්ම් වාඩි වෙනවා"

"මගුල් දවසේ මනාලියක් තමාට හිමි නැති වාහනයකින් පැහැරගෙන යාම මේ රටේ පවතින නීතිය යටතේ වරදක් බව තමුන් දන්නේ නැද්ද?"

"මම එයාව පැහැරගෙන ගියේ නැහැ ඉන්ස්පෙක්ටර් . එයා කැමැත්තෙන්මයි මාත් එක්ක ආවේ"

"මොකක්?"

"ඒක දිග කතාවක්"

"කියනවා බලන්න පුළුවන් තරම් කෙටි කරලා ඔය දිග කතාව"

                                                        *****************

2000/03/21
කොළඹ සරසවිය

"තිලා, මේ බලන්නකෝ, අපේ පිළිගැනීමේ උළෙල ගැන පත්තරෙත් දාල. ඔයාගේ ලොකු ෆොටෝ එකකුත් තියෙනවා batch queen කියල"

"අනේ ඇත්තමයි. ලස්සනට වැටිලා. කව්ද ෆොටෝ ඒක අරන් තියෙන්නේ ? මංවත් දන්නේ නැහැ නෙ."

"ඔය යටින් තියෙන්නේ වාසුල ඉන්දීවර කියල"

"ඒ කව්ද"

" සීනියර් අය්ය කෙනෙක්"

"ඔයා අදුනනවද සුලා?"

"ඔව් අපේ ගෙවල් පැත්තේ"

"අනේ. කොහොමහරි එයාට කියල මට මේ ෆොටෝ ඒක ඉල්ලලා දෙන්නකෝ"

"හරි හරි මම ඔයාට එයාව අදුන්නලා දෙන්නම්කො. එයා මේ දවස්වල ගැහැණු ළමයෙක් හොයා හොයා තමයි ඉන්නේ"

"ඔන්න ඉතින් විකාර කියවනව!"
                                            
                                                    ***********

2007/07/09
මහජන පුස්තකාලය


"ඔයාට ඔය ගමන නොගිහින්ම බැරිද වාසු "

"ඔය දන්නවනේ මම ෆොටෝ ග්‍රැපි වලට කොච්චර ආසද කියල. යුද්දේ දවස් වල ගන්න ෆොටෝ ගොඩක් වටිනවා. මේකෙන් මට පත්තරෙත් හොඳ තැනක් ලැබෙයි"

"එත් ඔය මරණය ඉස්සරහට යනවා වගේ වැඩක්"

"මම වෙඩි තියන්න යන්නේ නැහැ නෙ. අවදානමක් නැහැ කියල තහවුරු උනාම ෆොටෝ ගන්න ඒක විතරයි කරන්නේ. අනික දවස් පහයි නෙ "

"මන් නම් කැමතිම නැහැ යනවට"

"මන් පරිස්සම් වෙලා එන්නම්"

"මොනවා හරි උණොත්?"

"මොනවා වෙන්නද. දවස් පහකින් මන් ආපහු ඇවිත් මෙතනදීම ඔයාව හම්බ වෙනවා, මන් පොරොන්දු වෙනවා"

                                   ************

"එදා ගියා ගියාමයි මට හරිම බයානක අත්දැකීම් ගොඩකට මූණ දෙන්න සිද්ද වුණා ඉන්ස්පෙක්ටර් මහත්තයා . මාව උන් අල්ලගෙන හිර කරලා තිබ්බ. සොල්දාදුවෙක් නොවුන නිසා මාව මරන්න උන්ට උවමනාවක් තිබ්බේ නැහැ. උන්ට ඕනේ උනේ මන් ලවා සටන් වදින හැටි ෆොටෝ ගන්නයි වීඩියෝ කරන්නයි. ඒක පාරක් ඒවා කරන්න ගිහින් මට වෙඩිත් වැදුනා කකුලට. ඔන්න ඔහොම සැහෙන දුෂ්කර කාලයක් ගෙවුනේ.තිලක්ෂිට කිසිම පණිවිඩයක් යවන්න විදිහක් තිබුනෙත් නැහැ."

පොලිස් නිලධාරියගේ මුවින් දිගු සුසුමක් පිට විය.


"මේ සේරම කලබල ඉවර වෙලා මන් ආපහු එනකොට ගොඩක් කල් ගත වෙලා. තිලක්ෂිගේ ෆෝන් ඒක වැඩ කරේ නැහැ. ඒගොල්ලෝ කැම්පස් එන දවස් වල නැවතිලා හිටියේ නුගේගොඩ ගෙදරක. බැරිම තැන මන් එතනට ගිහින් බැලුවා. ඒ ගෙදර හිටියා අය ගේ විකුණලා යන්න ගියා කියලය් ආරංචි වුණේ. ගිය තැනක් කවුරුත් දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මන් දැන ගත්තා මගේ ෆොටෝ ග්‍රැපි පිස්සුව නිසා අවසානේ මට පණ වගේ හිටියා තිලක්ෂිත් නැති වුනු වග.
     මට කොළඹ ජීවිතෙත් තිතට වුණා. මන් නුවර ඇවිත් පොඩියට ස්ටුඩියෝ එකක් පටන් ගත්තා මේ සේරම අමතක කරන්න හිතා ගෙන. පෙරහැරේ ෆොටෝ නිසා මට මෙහෙ හොඳ නමක් හැදුනා. වෙඩින් එකට ඇවිත් එයාව දකින තුරු මන් දනන් හිටියේ නැහැ මේ කිසිම දෙයක්"

වාසුල පොලිස් පරීක්ෂකවරයාගේ දෙනෙත් දෙස ඒක එල්ලේ බැලුවේය.

"අවංකව කියන්න ඉන්ස්පෙක්ටෙර් , අවුරුදු ගානකට පස්සේ, හදිස්සියේ අවුරුදු දහයක් තිස්සේ තමන් ආදරය කරපු පෙම්වතිය දෑස් ඉදිරියේ ඉන්නකොට, තව පොඩ්ඩක් පමා උණොත් සදාකාලිකවම ඇය ඔබට අහිමි වෙන බව දන්නකොට ඔබ කරන්නෙත් මන් කළ දේමයි නේද?"

වචනයකුදු නොදෙඩු පොලිස් නිලධාරියා තරුණයා දෙස බලා සෙමින් හිස සැලුවේය.

                                                            **නිමි**