.........towards the stream of thoughts

Saturday, December 28, 2013

මගේ හිතත් කියවන්න (පස්වන කොටස)

" කථිකාචාර්ය තුමිය ඇතුළට එන්න"

සාම්ප්‍රදායික ඇමතුම අනුව අංජලී රැස්වීම් කාමරයේ දොර සෙමින් විවර කර ගෙන ඊට ඇතුළු වුවාය.

"වාඩි වෙන්න" වයස්ගත මහාචාර්ය වරියක වූ  ඩයනා ඉන්ගල්ස්වර්ත්  ඇයට පැවසුවාය.


හිස නවා ස්තුතිය පල කළ  අංජලීගේ සිත මදක් නොයිවසිලිමත් විය.

" මට ගොඩක් සතුටුයි අංජලී මෙනවිය, ඔබේ නිබන්ධනය ප්‍රශස්ත මට්ටමක තිබුණා. අවුරුදු ගාණකින් මේ තරම් හොඳ එකක් මට කියවන්න ලැබිලා නැහැ. මට ගොඩාක් ආඩම්බරයි තරුණ පරම්පරාව ගැන. මන් හිතන්නේ අපේ මහාචාර්යතුමා එක්ක වැඩ කරන්න සුදුසුම කෙනා තමා ඔබ"

අංජලීගේ  මුහුණ සිනහවකින් එළිය විය.

" මහාචාර්ය ආදිත්‍ය ශර්මා ගැන අහල තියෙනවද?"

"ඔව්, මන් එතුමාගේ පොත් ගොඩක් කියවලා තියෙනවා. නමුත් දැකලා නම් නැහැ"

"මට දැන් විශ්‍රාම ගන්න කාලේ හරි. මගේ අනුප්‍රාප්තිකයා තමයි මහාචාර්ය ශර්මා. දැනට මේ ක්ෂේත්‍රය  සම්බන්ධයෙන් ලෝකෙ ඉන්න අංක එකේ බුද්ධිමතෙක්! තව ටිකකින් ඔහු  මෙතනට එයි."

" මහාචාර්යවරිය එසේ කියනවාත් සමගම කිසිවෙකු දොරට තට්ටු කළේය.

" ඇතුළට එන්න" ඇය උස් හඩින් කීවාය.

  කාමරයට ඇතුළු  වූයේ අංජලීට පුස්තකාලයේදී හමුවූ තරුණයාය.

"අංජලී, මේ තමයි මහාචාර්ය ආදිත්‍ය ශර්මා!"

ඇය අසුනෙන් ඉහළට එසවුණේ යාන්ත්‍රිකව මෙනි. ඇයට තම නෙත් අදහා ගත නොහැකිවිය. පුස්තකාලයේදී කිසිදු ගරු සරුවකින් තොරව ඔහුට කතා කිරීම ගැන සිහියට එත්ම  ඇයට  මහත් අපහසුතාවයක් දැනුණි.

" මහාචාර්යතුමා මම...... ඇත්තටම මම......"

" ඔබව හදුනා ගැනීමට ලැබීම සතුටක්" ඔහු සිනාමුසු මුහුණින් ඇයට අතට අත දුන්නේය.

"එදා මම ......."

ඔහු ඩයනා ඉන්ගල්ස්වර්ත්ට නොපෙනෙන සේ ඇයට කිසිවක් නොපවසන ලෙස සන් කළේය.

" මේ තමයි කථිකාචාර්ය  අංජලී. අර නිබන්ධනය ලියලා තියෙන්නේ ඇය. ඔන්න එහෙනම් මම ආදිත්‍යට හොඳම ගෝලයෙක් හොයල දුන්නා"  ඩයනා පැවසුවාය.

'"බොහොම ස්තුතියි මහචාර්යතුමියනි " ඔහු නිහතමානී ස්වරයකින් කීවේය.

"පුස්තකාලේදී අර සිද්ධිය උනේ නැහැ වගේ ඔහු හැසිරෙන අපූරුව. මොනවා උනත් හිත හොඳ මහත්මයෙක්. මං ඔහුගෙන් සමාව ගන්න ඕනේ පස්සේ" අංජලී සිතුවාය.


මතු සම්බන්ධයි........

No comments:

Post a Comment