01
මේ සිද්ධිය මුලින්ම පටන් ගත්තේ සතියකට කලින්. ඊට කලින්
ජීවිතේ හරි ලස්සනට ගලාගෙන ගියා කියන්න බැහැ. ඒත් මේ සිදුවීම එක්ක ජීවිතේ පැහැදිලිම
වෙනසක් වුණ බව නම් මම හොඳාකාරවම දන්නවා.
එදා හොඳින් ඉර පායලා තිබ්බ දවල් වරුවක්. වීදිය දිගේ
ඇවිදගෙන යනකොට මට තේරුණා කවුරු හරි මං දිහා බලාගෙන ඉන්නවා කියලා.
ඒත් මං වගේ
සාමාන්‍ය පවුලක උස හීන්දෑරි කොල්ලෙක් දිහා ඇස්දෙක දල්වගෙන බලාගෙන ඉන්නෙ කවුද? මං
කඩවසම් කියලා හිතාගෙන හිටියට හොරෙන් හැංගිලා බලාගෙන ඉන්න තරම් ලස්සනක් මගේ
තියෙනවද?
මේ හැංගිමුත්තන් සෙල්ලම කරන්නේ
හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්න බැරිද? ඒත් .......
ගැටකපන්නෙකුට
වාසි වෙන්න තරම් මුදලක් මගේ පසුම්බියේ නැහැ. මිනීමරු ස්නයිපර් වෙඩික්කරුවෙකුට වෙඩි
තියලා ලබා ගන්න දෙයකුත් නැහැ. එහෙනම් ඇයි මට එහෙම දැනෙන්නේ. අනික මේ මට හුරු
පුරුදු හිතමිත්‍රයන් ඉන්න නගරෙකුත් නෙවෙයි.
මම එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවේ
කවුද මං දිහා හොරෙන් බලාගෙන ඉන්නේ කියලා අතටම අල්ල ගන්න. ඒත් පාර සම්පූර්ණයෙන්ම
හිස් පදික වේදිකාවෙ හිටිය මහලු දුප්පත් සපතේරුවෙකුයි පොලිස් නිලධාරියෙකුයි විතරයි.
“මනස්ගාත!” මම මටම කියා ගත්තා.
පොඩි කාලේ ඉදලා එක එක දේවල් හිතෙන්
මවා ගන්න එක මගේ පුරුද්දක්. මැදි වයසටත් ළං වෙනකම් ජීවිතයේ ගැහැණු ළමයෙක්ට ඉඩක්
නොතිබුණු මං වගේ පිරිමි ළමයෙකුට මෙහෙම දේවල් හිතෙන එක සාමාන්‍ය දෙයක් වෙන්නැති.
ඒත් මේ හැඟීම
එක දවසක් විතරක් දැනුණනම් මම ඒක මෙච්චර ලොකුවට ගන්නේ නෑ. මේක දෙවෙනි වතාවට
වෙද්දිත් මම හිටියේ මහ දවල් බස් නැවතුම්පෙළේ. ගුවන් හමුදා මූලස්ථාන පාරෙ ඉදන්
මීටර් දෙසීයක් විතර ඉස්සරහින් තමයි බස් නැවතුම්පොළ තිබුණේ.
බසයක් එනතුරු නොයිවසිල්ලෙන් පාර දිහා
බලාගෙන හිටපු මට කවුරු හරි පාරෙන් එහා පැත්තේ ඉදගෙන මගේ ඔත්තු බලනවා කියලා හිතුණා.
නමුත් මගේ යටි හිත කිව්වා “පරිස්සම්
වෙයන් කවුරු හරි උඹ ගැන ඔත්තු බලනවා” කියලා. ඒත්
මගේ උඩු හිත කිව්වේ “උඹට බය වෙන්න කාරණයක් මෙතන නැහැ කියලා.”
බස් එකට නැගලා
වාඩි වුණාට පස්සේ මගේ හිතේ තිබුණ දෙගිඩියාව තරමක් මඟ ඇරිලා ගියා. ඒත් දෙවියනේ ඊළඟ
බස් නැවතුමේදී මට ආයෙමත් අර මූසල හැඟීම දැනෙන්න ගත්තා. ඇත්තෙන්ම මට මොකක් හරි මානසික
ලෙඩක් හැදීගෙන එනවාවත්ද? මං බය වෙන දේ මට නොපෙනෙන්නේ ඇයි කියලා මං ආයේ ආයේ කල්පනා
කරන්න ගත්තා.
මේ කතාව මුල ඉදන් අගට හරි පිළිවෙලකට
කියන්න ඕනෙ. ඒත් මේ සිද්ධි ඇත්තෙන්ම හරි පිළිවෙලකට වුණ ඒවා නෙවෙයි.
ඊලඟ දවස වැහිබර අඳුරු දවසක්. වැහි අඳුරත්
එක්ක වෙලාව හවස හය වුණත් පරිසරයේ තිබුණේ මූසල පාළු ගතියක්. අලුත්ම චිත්‍රපටයක්
බලලා මම සිනමාහලෙන් පාරට ආවේ හිතේ සැහැල්ලුවෙන්. කාලගුණය නරක වුණත් මං හිටියේ
පියවි සිහියෙන්. පියවි සිහිය අවුල් වෙන විදිහේ දේවල් කරන්න මගේ කැමැත්තක් තිබුණේ
නැහැ. ඒ නිසා මම මත් වුණේ සංගීතයෙන්, සාහිත්‍යයෙන්, සිනමාවෙන් විතරයි.
මිනිස්
පුළුටක්වත් නොතිබුණු අඳුරු පාළු වීදිය ඔස්සේ මම මගේ නවාතැන්පොළ දෙසට ඇවිද එමින්
හිටියා. සීතල හුළඟත් එක්ක පහන් කණුවේ කණාමැදිරි එළියෙන් වේගයෙන් එහා මෙහා වුණු
සුදු පාට රූපයක් මගේ දර්ශනපථයට අහුවුණා.
හොල්මන්,
අවතාර ගැන මගේ විශ්වාසයක් තිබුණේ නැති වුණත් පහුගිය දවස් වල දැනුණු අමුතු හැඟීම්
එක්ක මගේ හිත තරමක් චංචල වෙලා තිබුණේ. ඒ නිසා වෙන්නැති මගේ හද ගැස්ම වැඩි වෙන හැටි
මට දැනුණේ.
ඒ එක්කම මම දැක්කේ රූමත් කාන්තා
රූපයක්. ඇයගේ මූණ හොඳටම සුදුමැලි වෙලා. ඇයගේ වරලස උඩට වෙන්න බැඳ තිබුණා. ඒත් ඇයගේ
ඇස් වල තිබුණේ වෙහෙසකර බැල්මක්. කොහේ හරි වැදගත් ගමනකට යන්න සූදානමින් වගේ ඇය සුදු
කුර්තාවකින් සහ දිග කලිසමකින් සැරසිලා හිටියේ. අත් බෑගයකුත් අරගෙන ඇය සෙමින්
සෙමින් වීදියේ අඳුරු කෙළවර ඉදන් මා හිටි තැනට ඇවිදගෙන ආවා.
මගේ උගුර වේළිලා වචන පිටවුණේ නැහැ. මම
එතැනම ගල් වෙලා බලන් හිටියා විතරයි. පපුව ඇතුළේ හදවත ගැහෙන වේගෙ වැඩිවෙලා හදවත
එළියට පනියි කියලා මම හිතුවා. කොහොමත් බියගුළු හදවතක් තියෙන කෙනෙකුට ජීවත් වෙන්න
මේ ලෝකේ හොඳ තැනක් නෙවෙයි කියලා මම අත්දැකීමෙන් ම දන්නවා.
කෙටි ඒත්
වේගවත් පියවර මනිමින් ඇය මා දිහාට ඇවිදගෙන ඇවිත් අයිස් කැටයක් වගේ සීතල අතකින් මාව
අල්ල ගත්තා.
*************