.........towards the stream of thoughts

Friday, March 21, 2014

රෝබරෝසියා කවි


 

 

තවමත් මමවත් නොදන්නා
ඉරණම්කාර සුපෙම්වත
ඔබ නමින් ලියමි කවියක්
වැටෙන රෝස පැහැ
රෝබෝරෝසියා පෙති මත
ඔබ එන මතු දිනෙක
දෝතින්ම ගෙන පුදන්නට


වෑස්සෙන අහස ගඟ පිනි බිදිති ගෙන

පෑස්සෙන ඇසිල්ලකදී දෙහද කොණ

දෑස් අසල සිහිනය දිග හැරෙන දින

රූස්සම පෙමක් රැක ගමි නුඹ නමින

 

සහසක් මලින් මල පරවී වැටුණාවේ

දහසක් බිගුන් රැව් දී වට රැඟුවාවේ

සුවදක් පවන් රැලි අතරින් හැමුවාවේ

සියයක් අතර වුව ඔබ නෙත ගැටුණාවේ

 

රෝබරෝසියා මල් ගොමු අතරින් වියැකී

නුඹ ගැන සිහින සුසුවඳ රැඳි මල් වැලකී

සුබ ලකුණක් විලස දිසි නිල් දිය විලකී

නුබ ගැබ සඳු පතන මා නම් තරු ලියකී


සිහින සිඹින දෙනයන පියවා ගනිමි
වැටෙන වැටෙන මල් මත ඔබ රුව දකිමි
මලෙක මෙලෙක දත් කවි හද විසිකරමි
විතක රැදුණු මී සේ තනිකම විදිමි



ධරණී©

 

 

 

 

 

Sunday, March 2, 2014

සුපෙම් යාත්‍රා....... නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා( සිව්වන දිගහැරුම )

                         ගත කොතරම් අහස හා ඒ සොඳුරු පරිසරය සමඟ දැහැන් ගත වන්නට පොර බැඳුවත් මහත් අමාරුවෙන් සොයා ගත් පොත හා තුරුළු වන්නට සාවිත්‍රිගේ සිත ඇරයුම් කළේය. අලුත් පොත් වල කඩදාසි අතරින් නැගෙන නැවුම් බවේ සුසුවදට ඇය කවදත් ඇළුම් කළාය..

අලුතින් ගත් පොත් එකිනෙක පිළිවෙළට මේසය මත තබා කහ පාට කවරයක් සහිත පොත ඇය අතට ගත්තාය පොතේ පිටු පෙරලෙනවාට වඩා වේගයෙන් ඇගේ සිත ඒ පොත සමග අතීත සරසවි මතකය පසු පස දිව යන්නට විය..

"සාවිත්‍රිට තමා තාම කවුරුවත් නැත්තේ. ඉක්මනට කෙනෙක් හොයා ගන්නකෝ"

"අපේ අම්මටවත් නැති ඕනෙකමක් නෙ මේ ගොල්ලන්ට තියෙන්නේ මට කෙනෙක් හොයල දෙන්න"

"එහෙම තමයි හොඳ යාළුවො. ඇත්තටම සාවිත්‍රි කැමති කෙනෙක්  නැද්ද ?"

" පිස්සුද අනේ!"

" එහෙනම් ඔයාට හැමදාම පොත් කියව කියව තමයි  ඉන්න වෙන්නේ. පොතක් තමා කසාද බදින්න වෙන්නෙත් "

"එකට කමක් නැහැ!"

" එහෙම නෙවෙයි. අඩුම ගානේ අපිට කියන්නකෝ ඔයා කොයි වගේ කෙනෙක්ටද කැමති කියලා"

" එහෙම විශේෂයක් නැහැ! උගත්, හොඳ හදවතක් තියෙන කෙනෙක් උනා නම් හොඳටෝම ඇති"

" එහෙම වෙන්න බැහැනේ.  හැම ගෑණු ළමයෙක්ම කැමති  රූපයක් හිතේ ඇදිල තියෙනවා. අපි අහන්නේ ඒ ගැන "

"ඕගොල්ලෝ මට හිනා වෙයි!"

"අනේ විකාර නැතුව කියන්න"

" ම්ම්ම් අඩි හයක් විතර උස, කෙට්ටු ක්‍රේල් කොණ්ඩයකුයි ලස්සන රැවුලකුයි තියෙන කෙනෙක්ට. ගොඩක් සුදු නොවුණත් කමක් නැහැ"


" එහෙනම් චේගුවේරා තමා හරියන්නේ ඔයාට"

"එය මැරිලානේ"

"රවින්ද්‍ර රන්දෙණිය හරි යයි. වයස තමා ප්‍රශ්නේ"

මිතුරියන්ගේ සිනා හඬ මුසු බොළඳ කතා බහ දැනුදු ඇසෙන්නාක් මෙන් සාවිත්‍රිගේ සිතෙන් ඉවතට පැන්නේය.

මෙසේ ඇයටත් හොරා දිව ගිය සිත පියවි ලොවට පැමිණියේ ඇඳ මත ඔහේ දමා තිබු ජංගම දුරකතනයේ නාදයටය...


 හලෝ..සාවිත්‍රි..මම රහල්

ඔව් කියන්න සර්.. මොකක්ද වෙන්න ඕනේ මගෙන්...

මට හොඳ ආර්ටිකල් එකක් ඕනේ ඔයාගෙන්...ඒ ගැන කතා කරන්න හෙට උදෙ 9 ට අපේ ඔෆිස් එකට එන්න පුලුවන් ද?

මොනා සම්බන්ධයෙන් ද දන්නේ නැහැ? සාවිත්‍රි ඇසුවේ කුතුහලයකිනි..

නුතන යුගයේ යථාර්ථවාදි කලාකරුවෙක් ගැන!!..එන්නකෝ ජය වේවා!!.. ඔහු දුරකතනය විසන්ධි කළේ සාවිත්‍රිට වැඩි දුර විස්තරයක්වත් හරි හැටි අසා ගන්නට ඉඩ නොතබමිණි.


මතු සම්බන්ධයි

ලියන්නේ ධරණී වීරසේකර සමග ෂෙනාල් රාජකරුණානායක