.........towards the stream of thoughts

Saturday, February 1, 2014

සුපෙම් යාත්‍රා ..නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා ..( තෙවන දිගහැරුම)

ඔහු කාමරයට පිවිසියේ මදක් කලබලයෙන් මෙනි.  පෙර දා රැයෙහි ඇද අවසන් නොකළ සිතුවම එලෙසින්ම පසෙකට කළ ඔහු  දැහැනකට සම වැදුණු මුනිවරයෙකු මෙන්  විසල් හිස් බිත්තිය දෙස තියුණු බැල්මක් හෙළිය. ඔහුට අවැසි වුයේ කැන්වසයක් මත කුඩා පරිමාණ සිතුවමක් කිරීමට නොව දෝරේ ගලන නවමු හැගුම් කැටි කොට විසල් සිතුවමක් කිරීමටය. එයට හොඳම දිනය අද බව ඔහුගේ යටි සිත මහා හඩින් කිවේය. තමා සතුව ඇති විශාලම චිත්‍ර පුවරුව බිත්තිය සමීපයට ඇද ගත ඔහු සීරුවෙන් කැන්වසය ඒ මත රැදවුයේ මවක තම බිළිදා තොටිල්ලෙහි හොවන්නාක් මෙන් සීරුවෙනි. තම ආම්පන්න දෙස ඔහුගේ සෙනෙහෙබර නෙත් යොමු විය.
                    
           
හිස් කැන්වසය දෙස බැලු ඔහුගේ මුවින් සිවුරුහන් හඩක් නිකුත් විය. ඔහු ඉන් දෑස ඉවතට නොගෙනම සතුටින් දෑත් පිරිමැද්දේය.

ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට විය. මේ වෙලාවේ ඔහුට කතා කරන්නේ කවුරුන්දැයි එහි තිරය දෙස නොබලාම අනුමාන කළ හැකිය.

" ඔව් නිරාශ කියන්න"

"කියන්න තමයි. කවදද අරක ඇදල ඉවර කරන්නේ? තව දවස් කීයද තියෙන්නේ? මට නම් බලන් ඉදලම ඇති වෙලා"


" චිත්‍ර කියන ජාතිය හදිස්සිය තිබ්බටම අදින්න බැහැ.පොඩ්ඩක් ඉවසල ඉන්න"

" එදාට ඕක ඉවර කරගන්න බැරි  උණොත් මට මොකුත්  කියන්න එපා. මම සේරම ගානට සංවිධානය කරලා තියෙන්නේ!"

"හරි හරි. අද මම වැඩේට බහිනවා"

"දැනටත් කල් ගත්තා වැඩියි"

" නෑ අද තමයි හොඳම දවස"

" හ්ම්ම් මම මතක් කරන්න කතා කරේ. එහෙනම් මම තියන්නම්"

" හරි."

දුරකතනය විසන්ධි කළ ඔහු එය ඇඳ මතට විසි කළේය....


චිත්‍රයේ අගක් කොණක් නිසියාකාරව නොදත් හෙයින් ඔහු දෑස් පියාගෙන නැවුම් හුස්ම ගනිමින් පිටකරමින් හිත තුළ ඇති නිර්මාණය බිහිකිරීමට සූදානම් වුවේය...

 මඳ වේලාවකට පසු දෙනෙත් හැර ඔහු වර්ණ සහිත බහාලනය ගෙන අසිහියෙන් මෙන් වර්ණ කිහිපයක් එකිනෙකට බලන්නට විය..
                                                                 

පියන් විවර කරන ලද තීන්ත වලින් හමා ආ නැවුම් සුගන්ධයෙන් මත්ව ඔහු සිය පින්සල පැත්තකට කොට සියා අත එම බඳුන් වලට බහාලීය...උකු තින්ත ද්‍රාවණයන්ගෙන් අත පෙඟි යද්දි ඔහු සිය සුරත නැවත එළියට ගත්තේය... උකු තීන්ත ඔහුගේ අතැඟිලි හරහා ගලා යන විට ඔහුට දැනුනේ ඉමහත් ප්‍රීතියකි.. තද රතු පැහැයට හුරු ඔහුගේ කුර්තාවට වැටුණු කහ තීන්ත ගැන ඔහු කිසිදු තැකීමක් නොකළේය. අවුල් වූ හිසකේ රොදක් ඔහුගේ පුළුල් නළලත දා බිදු සමග ඇලී තිබුණි.සුදු කැන්වසය මත සිය සුරතින් ඔහු චිත්‍රයට හුස්ම පෙවීය..

හෝරා කිහිපයක් ගත වන්නට ඇත...නිහඬ කරන ලද දුරකථනයට කොතෙකුත් ඇමතුම් ලැබෙන්නට ඇත... එහෙත් ඒ කිසිවකට ඔහුගේ අවධානය බිඳ හෙළන්නට නොහැකි විය... ඔහු සිටියේ චිත්‍රයේ භාවයෙන් ආවේශයට පත්වය..

ම්හ්!!..යැයි සුස්මක් පිට කරමින් ඔහු තම නිර්මාණය දෙස බැලීය..

කහ රතු සුදු වර්ණ සමඟ අනෙකුත් පරිබාහිර වර්ණද සංයෝජනය වී ඇඳි තිබුණේ ඔහුවත් අපේක්ෂා නොකළ සිත්තමකි....එය ඔහුගේ මවිතයට හේතු විය....


මතු සම්බන්ධයි...
 

ලියන්නේ ධරණී වීරසේකර සමග ෂෙනාල් රාජකරුණානායක