.........towards the stream of thoughts

Friday, December 26, 2014

ප්‍රංශ නාවිකයා

 
 
 
 
 
ප්‍රින්ස් ඔෆ් ෆ්‍රාන්ස් නෞකාව මද ගැස්සුමකින් යුක්තව  වැහි කුණාටුව නොතකමින් ජිබ්‍රෝල්ට්‍රා සමුද්‍ර සන්ධිය හරහා අත්ලාන්තික් සාගරය දෙසට යාත්‍රා කරමින් සිටියාය.   නවක , තරුණ නාවිකයින් දෙදෙනෙක් නැව් තට්ටුවේ කොණක සංවාදයක නියැලී සිටියහ.
 
" මම හරිම ආසයි නැව මෙතැනින් යාත්‍රා කරනවා බලන්න. අමුතුම හැගීමක් ඇති වෙන්නේ "  නැව් තට්ටුව මත සක්මන් කරමින් හුන් තරුණ නාවිකයෙකු වූ ජෝෂ් සයුරු තෙර දෙස නෙත් යොමමින් කීවේය.
 
" ඒ වුණාට හරිම භයානක තැනක්. නැව් කීයක් නම් මෙතැනදී අනතුරට ලක් වෙලා ඇද්ද?" අසුබවාදියෙකු ලෙස නම් දරා සිටි ඔහුගේ හොඳම මිතුරු වොලස් මිමිණීය.
 
" මේකට කඳුළු දොරටුව කියන්නේ නිකං වෙන්න බැහැනේ"
 
" අපේ කපිතාන්ට නම් ඕව කිසිම ගාණක් නැහැ. මම කවදාවත් දැකල නැහැ ඒ වගේ කපිතාන් කෙනෙක්. එයා මේ මුහුදු රස්සාවට ගැලපෙන්නේ නැහැ. වෙන එකක් තියා නිකං ලැබෙන සුරුට්ටුවක්වත් කටේ තියන්නේ නැහැ ඇඟ කිළිපොලන තරම් සීතලක් ආවත්. විස්කි උගුරක් කටේ හලා ගන්නේ නැතුව දෙසැම්බරේ අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කරන කපිතාන් කෙනෙක් වෙන ලෝකෙ කොහෙවත් නැතුව ඇති"
 
" ඒක තමයි මිනිහ ප්‍රංශ වුණාට ඉංග්‍රීසි මිනිහෙක් තරම්වත් විනෝදෙට කැමැත්තක් නැහැනේ " ජෝෂ්  වට පිට බලා සෙමින් තම මිතුරාට පැවසීය.
 
" ඔව් සහතික ඇත්ත! කපිතාන් කෙනෙක් වුණාට සාමාන්‍ය නාවිකයෙක් තරම්වත් නිර්භීත නැති පාටයි. නැවට අනතුරක් උණොත් අපි හැමෝටම දෙය්යන්ගේම පිහිටයි!" වොලස්ගේ බ්‍රිස්ටල් වර්ගයේ සිගරෙට්ටුවෙන්  දුම් ගුලියක් පිට විය.
 
" අර මොකද්ද?" නැව් බඳට අඩි කීපයක් නුදුරින් තද කළු පැහැති ඡායාවක් ඉහළට එසවෙනු දුටු ජෝෂ් සිය මිතුරාගෙන් ඇසීය .
 
" මෝරෙක් වෙන්න ඇති "
 
" නැහැ මම දැක්කේ මිනිහෙක්ගේ ඔලුවක් වගේ. මම බලලා එන්නං"
 
ජෝෂ් අදුරු සයුරු ජල තලය දෙසට නැඹුරු වී සුපරික්ෂාකාරී බැල්මක් හෙළීය.
 
 තරුණ නාවිකයා වැහි කුණාටුව නිසා බිහිසුණු ලෙස පැද්දෙමින් තිබූ නෞකාවෙන් ඉවතට විසි වී සීතල සාගර තලය මත පතිත වූයේ ඇසිපිය හෙළන තරම් වේගයකිනි.
 
" වොලස්! මාව බේර ගනිං.. මාව ගිලෙන්නයි යන්නේ.. වතුර අයිස් වගේ සීතලයි! මට පීනන්න බැරි තරමට අත පය දරදඬු වෙලා!!!" ඔහුගේ විලාපය දෝංකාර දුන්නේය.
 
එහෙත් ඔහුගේ හොඳම මිතුරා වූ වොලස්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. දරුණු ලෙස පැද්දෙමින් තිබූ නෞකාවේ සිට කඹයක් ජෝෂ් වෙත දැමීම පවා තම ජීවිතය අනවශ්‍ය අවදානමක හෙලීමක් ලෙසය වොලස්ට පෙනුණේ! ඔහු එවන් අවදානමකට මුහුණ දීමට සුදානම් නොවීය.
 
වොලස් දියෙහි ගිලෙමින් සිටි මිතුරා අතහැර නැව තුළට යාමට හැරුණා පමණි. සාගර දිය කැළබෙන හඬක් ඇසිණි.
 
                                                             ***********
 
හැට හැවිරිදි කපිතාන් වරයා  හති ලමින් සුදුමැලි වූ තරුණ නාවික ජෝෂ්ව නැවෙහි  ලී පොළව මත දිගා කරවීය. අනතුරුව ඔහු තරුණයාට  කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නේය. ඔහුගේ තෙත ඇදුම් ඉවත් කර අලුත් ඇඳුම් ඇදගන්නා ලෙස නියම කළ කපිතාන්වරයා ඔහුගේ කුටියේ ගිනි උදුන අසලට වෙවුලමින් සිටි තරුණයාගේ පුටුව ලං කළේය.
 
" කපිතාන් මම ඔබට ණයගැතියි...කොහොම ස්තුති කරන්නද මන්ද මාව බේර ගත්තට .මම ඔබ ගැන හිතාගෙන හිටියා වැරදියි"
 
" ඕක ස්තුති කරන්න දෙයක් නෙවෙයි"
 
" කපිතාන් මම ප්‍රශ්නයක් අහන්නද?"
 
" ඔව් අහන්න ළමයා!"
 
" කපිතාන් හරිම නිර්භීතයි .සුරුට්ටුවක්වත් නොබොන කපිතාන්ව තරුණ අපට පෙනුණේ හරිම දියාරු චරිතයක් වගේ. ඇත්තටම කපිතාන් සුරුට්ටුවක්වත් බොන්නේ නැත්තේ ඇයි?"
 
" ඒක දිග කතාවක්" දකුණු කකුලේ දරුණු පිළිස්සුම් කැළලක් සෙමින් සුසුම්ලමින් පිරිමදින අතර ඔහු සිය කතාවට මුල පිරුවේය.
 
 
"1868 අවුරුද්ද කවදාවත් අමතක නොවෙන අවුරුද්දක්. මම එතකොට අවුරුදු තිහක තරුණ කඩවසම් ප්‍රංශ නාවිකයෙක්. මම ආදරය කළේ ලුවී රජ පෙළපතටත් දුරින් නෑකම් කියන ඇන්ජෙලා ට . මගේ කඩවසම් පෙනුම නිසාමයි මට ඒ වගේ ධනවත් තරුණියකට ලං වෙන්න ලැබුණේ. අපේ සම්බන්දෙට ඇන්ජලාගේ පවුලෙන් තිබ්බ දරුණු විරෝධය නිසා පමා වෙන ඒක නුවණට හුරු නැති බව මට තේරුණා.
 
ඇයත් මට පණ වගේ ආදරය කලා. ඇය අකැමැති වුණේ මගේ කෙළවරක් නැති දුම් බීමට විතරයි. මන් කිව්වා ඒක අපේ රස්සාවට ආවේණික පුරුද්දක් බව. ඒ වෙලාවට ඇය නොසතුටෙන් වගේ මන් දිහා බැලුවේ
 " දෙවියන්ගේ නාමෙට ඔය පුරුද්ද ඇත අරින්න පිලිප් , එකෙන් ලොකු විනාසයක් වෙයි" කියන්න වගේ.
 
"1868 දෙසැම්බර් විසි හතර වෙනිදා රෑ ප්‍රංශයේ සාන්ත මයිකල් දෙව් මැදුර ගාවට ඇන්ජලා ආවේ එයාගේ පවුලේ අයත් එක්ක අශ්ව කරත්තෙකින්. දේව මෙහෙය අස්සේ සෙනග අස්සෙන් රිංගල මම ඇයවත් අඩ ගහගෙන වරායට ආව කුලී අශ්ව රථයකින්. ඊට පස්සේ අපි මම රාජකාරී කරපු "ඕෂන්  ක්වීන් " තෙල් ප්‍රවාහන නෞකාවට රිංග ගත්ත. කපිතාන් මගේ සැලසුම කලින් දැන ගෙන හිටියා. ඔහු මගේ ප්‍රේමයට අකුල් හෙළුවේ නැහැ. අපි නැංගුරම් ලන්න නියමිත වෙලා තිබුණේ සවුත්හම්ප්ටන් වරායෙන්"
 
" ඊට පස්සේ?"
 
" ඒක අපූරු වීරචාරිකාවක් වෙන්න තිබ්බා..එත් ඒක එහෙම වුණේ නැහැ... නත්තල් දා රෑ අපි හරියටම යාත්‍රා කරමින් හිටියේ ජිබ්‍රොල්ට්‍රා සමුද්‍ර සන්ධිය හරහා. නත්තල් සීතල අඩු වෙන්න විස්කි බෝතලයක්  එක්ක අට වෙනි සුරුට්ටුවත් බීලා ඉවර උනාට පස්සේ මම ඇන්ජෙලා ට වෙන් කරලා තිබ්බ කාමරේ පැත්තට ඇවිද ගෙන ගියේ බාගෙට පිච්චිලා අවසන් වුනු සුරුට්ටු කොටය අහකට විසි කරමින්...
 
ඒක හරියට හීනයක් වගේ.. තෙල් ගබඩාව පැත්තෙන් ලොකු පිපුරුම් සද්දයක් ඇහුණා... ඒ දිහා බලන කොට  මං දැක්කේ එකම ගිනි ජාලාවක් විතරයි!
 
ගින්න පටන් අරන් තිබුණේ හරියටම මම සුරුට්ටු කොටය විසි කරපු තැනින්!!!!
 
 
ඇන්ජෙලාගේ කාමරේ තිබ්බේ තෙල් ගබඩාව ලගින්මයි. අනික් නාවිකයෝ මුහුදට පනිද්දීත් ගිනි නිවන්න උත්සහ කරද්දීත්  මම ගිනි දළු අතරින් දුව ගෙන ගියා.. ඇන්ජෙලගේ ලකුණක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒ කාමරේ එකම ගිනි ජාලාවක්!
 
මගේ ජිවිතේ ආරක්ෂා වුණේ මොන හාස්කමක් නිසාද මම දන්නේ නැහැ. මට මගේ ජිවිතේ බේරුනත් මගේ පණ වෙලා හිටියා ඇන්ජෙලා නැති වුණා. එකට වග කියන්න ඕනේ මම කියල මන් දන්නවා. ඒ නිසා මන් සදහටම දුම් බීම අත් ඇරියා. දුම් බොන්නේ නැතුව වුණත් හොඳ නාවිකයෙක් වෙන්න පුළුවන් ! හැමදාම ජිබ්‍රෝල්ට්‍රා හරහා යාත්‍රා කරන කොට මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා.. එහෙම වෙන්නේ මටයි ඇන්ජෙලාටයි වුනු දේ තවත් තරුණ නාවිකයෙකුට  වෙනවා වලක්වන්න කියලයි මට හිතෙන්නේ "
 
මහලු කපිතාන්වරයා දිගු සුසුමක් හෙලා කතාව අවසන් කළේය.
 
 
                                                     නිමි