.........towards the stream of thoughts

Thursday, December 5, 2019

හිම මත මතක 02




සුදු හැඳගත් කාන්තා රූපය කෙමෙන් කෙමෙන් සමීප වන විට මොකක්දෝ හුරු පුරුදු ගතියක් මට දැනෙන්න පටන් ගත්තා. ඒත් මගේ හිතේ තිබුණු කැළඹිල්ල සහ චකිතය එයින් අඩු වුණේ නැහැ. සුදු ජාතිකයෙකුගේ හමට වඩා අඳුරු පැහැයක් ගත්ත ඇගේ මුහුණේ තිබුණේ ආසියාතික පෙනුමක් බව මම නිරීක්ෂණය කළා.

මාර්ක් කොලින්වුඩ්! ඇය කටහඬ අවදි කළා

මහ රෑ පාළු පාරකදී මුණ ගැහෙන සුදු ඇඳගත් ගැහැනියක් තමන්ගේ නම කියලා කතා කරනකොට මොන වීරයා වුණත් තිගැස්සෙනවා. ඒ තිගැස්ම මගේ ඇස්වලින් පෙනෙන්න ඇති.
.
දෙවියනේ! මොකද මේ බය වෙලා?

මනුෂ්‍ය වේශයෙන් ආව අවතාරයක් මාව මුළා කරලා මේ පාළු පාරේ මාව මරලා දාන්න හදනවාවත් ද?

 නැහැ! මගේ යටිහිත කෑගහලා විරෝධය පළ කළා.

මාර්ක් මොළේ කල්පනා කරලා වැඩ කරපන්! දැන් මතක් කරපන්. උඹ කවදහරි මේ කෙල්ලව කලින් දැකලා තියෙනවද මගේ යටිහිත ඒකාධිපති විදිහට මට අණ කළා.

කාලයේ වැලි තලාවෙන් ජීවිතේ ගොඩක් දේවල් වහලා හංගලා දාන්න පුළුවන් වුණත් එක හදිසි සැඩ හුළඟකට පුළුවන් වැල්ලට යට වෙලා තිබුණු සිප්පි කටුවක් ආයෙත් උඩට මතු කරලා ගන්න. මේ හමුවීමත් ඒ වගේ තමයි.

දෙවියනේ සාධනා! මට කවදාවත් අමතක නොවෙන ඒ මුහුණ මට අමතක වුණේ කොහොමද?
                                         
                                                      *****************

දයාබර පාඨකයිනි, මම ලේඛකයෙකු හෝ සාහිත්‍යකරුවෙකු නොවෙමි. සාමාන්‍ය මිනිසෙකු සිය ජීවිත කාලය තුළ මුහුණ දෙන අත්දැකීම්වලට හාත්පසින්ම වෙනස් අත්දැකීම් සමුදායකට කෙටි කලක් තුළ මුහුණ දීමට මා හට සිදු විය. ඒ කතාන්තරය ඔබ වෙත කිව යුතුමය.

මිනිසා යනු පරිණාමයේ අග්‍රගණ්‍ය ඵලයකි. හෝමෝ සේපියන් මානවයා තෙක් විකසනය වී ඇති මනුෂ්‍යයාගේ අතීත ගමන් මඟ සැබවින්ම විස්මය එළවන සුලුය. තමාට මුහුණ පෑමට සිදු වන අනේක විධ බාධක සිය බුද්ධිය මෙහෙයවා ජය ගැනීමට හැකි වීම මනුෂ්‍යයා සතු ප්‍රබලතම හැකියාව බව මම අදහමි. එහෙත් විද්‍යාවට හා තාක්ෂණයට හසු නොවු යම් අපැහැදිලි සිදුවීම් ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ සිදු විය හැකිය. එවන් අවස්ථා වලදී අප හට කළ හැකි වන්නේ ඉරණමට ඉඩදී බලා සිටීම පමණි.

මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ඇති මා එම රහස් සමඟ කාලයාගේ ඇවෑමෙන් මෙලොව හැර යා යුතු නොවේ. ප්‍රබන්ධයක ස්වරූපයෙන් හෝ මා විඳ ඇති ඒ අත්දැකීම් ලෝකය හමුවට ගෙන ඒමට මම පන්හිඳ අතට ගනිමි.

2009.12.27
සමර්සෙට්

ශීත සෘතුවේ සෞම්‍ය සිසිලස මුළු එන්ගලන්තය පුරාම පැතිර ගොස් තිබුණේ නත්තල් සමයේ ප්‍රීතිය හා මුහු වෙමිනි. නත්තල් දිනය පවුලේ සාමාජිකයින් සමඟ ගත කළ යුතුය යන සම්ප්‍රදාය ගරු කළ මම ඉන් අනතුරුව මගේ පාසල් මිතුරෙකු වු පේලේඩ් ටෘමන් හමු වී නිවාඩුවක් ගත කිරීම සඳහා සමර්සෙට් වෙත යමින් සිටියෙමි.පසුගිය දින කිහිපය තුළ පැවති අධික හිමපතනය මේ වන විට තරමක් අඩු වී තිබුණ ද මාර්ග තවමත් හිමෙන් වැසී පැවතිණි.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ඉහළ නිලධාරියෙකු වු මගේ පියාගේ අකල් වියෝවෙන් පසුව මාත් මගේ මවත් ලන්ඩනයේ තනිවිය. මව ඇගේ ඥාති සහෝදරියගේ නිවසට ඇරලවු මම සන්ධ්‍යා යාමයේදී ලන්ඩනයෙන් පිටත් වුණෙමි. පේලේඩ් ටෘමන් මගේ දිගු කාලීන පාසල් මිත්‍රයෙකු වීමට හේතු වුයේ අපගේ සිතුම් පැතුම් වල පැවති සාම්‍යත්වයයි. ප්‍රභූ පෙළපතකින් පැවතී එන්නෙකු වුවද ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙකු විය. ලන්ඩනයේ සිට සමර්සෙට් දක්වා දුරක් පැමිණීමට මා පෙළඹවුයේ ද පේලේඩ්ගේ මෙම යහපත් චරිත ස්වභාවයයි.

කාලගුණ තත්ත්වය එතරම් යහපත් තත්ත්වයක නොපැවතීම නිසා මඳ වේගයෙන් රිය ධාවනය කිරීමට පරිස්සම් වුණේමි. මව මේ ගමන සඳහා කැමැත්ත පළ කළේ ද වේගයෙන් රිය පැදවීමෙන් වළකින බවට මගෙන් පොරොන්දුවක් ලබා ගැනීමෙන් අනතුරුවය.
සමර්සෙට් වෙත සමීප වෙමින් සිටිය දී මාර්ගයේ වම් පසට වන්නට ආරක්ෂිත වැට ආසන්නයේ යමක් හදිසියේ මා නෙත ගැටිණි. එය මාර්ගය මත මුනින් අතට වැටී ඇති කාන්තා සිරුරක් බව හඳුනා ගැනීමට ගතවුයේ නිමේෂයකි.
            රථය ආරක්ෂාකාරීව මාර්ගයේ කෙළවරක නැවතූ මා ඒ දෙසට වේගයෙන් දිව ගියේ මගේ යටි සිත යම් අනතුරක සේයාවක් සම්බන්ධයෙන් ඉඟි කළ හෙයිනි.

            ඇතැම් සුළු සිද්ධියකින් පවා ඉමහත් කම්පාවකට ලක් වන සංවේදී හදවතක් ඇති පුද්ගලයෙකු වු මා හට මා යන මඟ මෙසේ යමෙකු කරදරයට පත්ව ඇති විට එය නොතකා සිටිය නොහැකිය.
            සිහින් සිරුරකින් හෙබි තැනැත්තියක් වු ඇයගේ සිරුර ස්පර්ශ කළ වහාම දැඩි සීතලක් මා හට දැනිණි. ඇගේ මුහුණ හරවා බැලු විට මට දිස් වුයේ නළලෙහි ගැඹුරු තුවාලයකි.
මා ඇයට වහාම උපකාර කළ යුතුය. දැඩි ශීතල හා අධික රුධිර වහනය මධ්‍යයේ ඇය ජීවතුන් අතර සිටී ද යන්න පිළිබඳව ද මට හරිහැටි අදහසක් නොවීය. නමුත් ඇයව හැර දමා යාම මනුෂ්‍යත්වයට කරන නිගාවකි.

            මෆ්ලරයෙන් ඇගේ රුධිරය වහනය වන තුවාලය ආවරණය කළ මම ඇයව පසුපස අසුනේ හාන්සි කරවා රිය පණ ගැන්වුයෙමි. නාඳුනන අනතුරට පත් කාන්තාවක් මේ අයුරින් රෝහලට ගෙන යාමට සිත තුළ යම් චකිතයක් පැවතිය ද මගේ පරාර්ථකාමීත්වය එය අභිබවා ගියේ මගේ වාසනාවකට ද අවාසනාවකටදැයි මම ඒ වන විට නොදත්තෙමි  .


                          

Sunday, September 29, 2019

හිම මත මතක

01 


මේ සිද්ධිය මුලින්ම පටන් ගත්තේ සතියකට කලින්. ඊට කලින් ජීවිතේ හරි ලස්සනට ගලාගෙන ගියා කියන්න බැහැ. ඒත් මේ සිදුවීම එක්ක ජීවිතේ පැහැදිලිම වෙනසක් වුණ බව නම් මම හොඳාකාරවම දන්නවා.
එදා හොඳින් ඉර පායලා තිබ්බ දවල් වරුවක්. වීදිය දිගේ ඇවිදගෙන යනකොට මට තේරුණා කවුරු හරි මං දිහා බලාගෙන ඉන්නවා කියලා.
ඒත් මං වගේ සාමාන්‍ය පවුලක උස හීන්දෑරි කොල්ලෙක් දිහා ඇස්දෙක දල්වගෙන බලාගෙන ඉන්නෙ කවුද? මං කඩවසම් කියලා හිතාගෙන හිටියට හොරෙන් හැංගිලා බලාගෙන ඉන්න තරම් ලස්සනක් මගේ තියෙනවද?
            මේ හැංගිමුත්තන් සෙල්ලම කරන්නේ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්න බැරිද? ඒත් .......
ගැටකපන්නෙකුට වාසි වෙන්න තරම් මුදලක් මගේ පසුම්බියේ නැහැ. මිනීමරු ස්නයිපර් වෙඩික්කරුවෙකුට වෙඩි තියලා ලබා ගන්න දෙයකුත් නැහැ. එහෙනම් ඇයි මට එහෙම දැනෙන්නේ. අනික මේ මට හුරු පුරුදු හිතමිත්‍රයන් ඉන්න නගරෙකුත් නෙවෙයි.
            මම එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවේ කවුද මං දිහා හොරෙන් බලාගෙන ඉන්නේ කියලා අතටම අල්ල ගන්න. ඒත් පාර සම්පූර්ණයෙන්ම හිස් පදික වේදිකාවෙ හිටිය මහලු දුප්පත් සපතේරුවෙකුයි පොලිස් නිලධාරියෙකුයි විතරයි. මනස්ගාත! මම මටම කියා ගත්තා.
            පොඩි කාලේ ඉදලා එක එක දේවල් හිතෙන් මවා ගන්න එක මගේ පුරුද්දක්. මැදි වයසටත් ළං වෙනකම් ජීවිතයේ ගැහැණු ළමයෙක්ට ඉඩක් නොතිබුණු මං වගේ පිරිමි ළමයෙකුට මෙහෙම දේවල් හිතෙන එක සාමාන්‍ය දෙයක් වෙන්නැති.
ඒත් මේ හැඟීම එක දවසක් විතරක් දැනුණනම් මම ඒක මෙච්චර ලොකුවට ගන්නේ නෑ. මේක දෙවෙනි වතාවට වෙද්දිත් මම හිටියේ මහ දවල් බස් නැවතුම්පෙළේ. ගුවන් හමුදා මූලස්ථාන පාරෙ ඉදන් මීටර් දෙසීයක් විතර ඉස්සරහින් තමයි බස් නැවතුම්පොළ තිබුණේ.
            බසයක් එනතුරු නොයිවසිල්ලෙන් පාර දිහා බලාගෙන හිටපු මට කවුරු හරි පාරෙන් එහා පැත්තේ ඉදගෙන මගේ ඔත්තු බලනවා කියලා හිතුණා. නමුත් මගේ යටි හිත කිව්වා පරිස්සම් වෙයන් කවුරු හරි උඹ ගැන ඔත්තු බලනවා කියලා. ඒත් මගේ උඩු හිත කිව්වේ උඹට බය වෙන්න කාරණයක් මෙතන නැහැ කියලා.
බස් එකට නැගලා වාඩි වුණාට පස්සේ මගේ හිතේ තිබුණ දෙගිඩියාව තරමක් මඟ ඇරිලා ගියා. ඒත් දෙවියනේ ඊළඟ බස් නැවතුමේදී මට ආයෙමත් අර මූසල හැඟීම දැනෙන්න ගත්තා. ඇත්තෙන්ම මට මොකක් හරි මානසික ලෙඩක් හැදීගෙන එනවාවත්ද? මං බය වෙන දේ මට නොපෙනෙන්නේ ඇයි කියලා මං ආයේ ආයේ කල්පනා කරන්න ගත්තා.
            මේ කතාව මුල ඉදන් අගට හරි පිළිවෙලකට කියන්න ඕනෙ. ඒත් මේ සිද්ධි ඇත්තෙන්ම හරි පිළිවෙලකට වුණ ඒවා නෙවෙයි.
            ඊලඟ දවස වැහිබර අඳුරු දවසක්. වැහි අඳුරත් එක්ක වෙලාව හවස හය වුණත් පරිසරයේ තිබුණේ මූසල පාළු ගතියක්. අලුත්ම චිත්‍රපටයක් බලලා මම සිනමාහලෙන් පාරට ආවේ හිතේ සැහැල්ලුවෙන්. කාලගුණය නරක වුණත් මං හිටියේ පියවි සිහියෙන්. පියවි සිහිය අවුල් වෙන විදිහේ දේවල් කරන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා මම මත් වුණේ සංගීතයෙන්, සාහිත්‍යයෙන්, සිනමාවෙන් විතරයි.
මිනිස් පුළුටක්වත් නොතිබුණු අඳුරු පාළු වීදිය ඔස්සේ මම මගේ නවාතැන්පොළ දෙසට ඇවිද එමින් හිටියා. සීතල හුළඟත් එක්ක පහන් කණුවේ කණාමැදිරි එළියෙන් වේගයෙන් එහා මෙහා වුණු සුදු පාට රූපයක් මගේ දර්ශනපථයට අහුවුණා.

හොල්මන්, අවතාර ගැන මගේ විශ්වාසයක් තිබුණේ නැති වුණත් පහුගිය දවස් වල දැනුණු අමුතු හැඟීම් එක්ක මගේ හිත තරමක් චංචල වෙලා තිබුණේ. ඒ නිසා වෙන්නැති මගේ හද ගැස්ම වැඩි වෙන හැටි මට දැනුණේ.
            ඒ එක්කම මම දැක්කේ රූමත් කාන්තා රූපයක්. ඇයගේ මූණ හොඳටම සුදුමැලි වෙලා. ඇයගේ වරලස උඩට වෙන්න බැඳ තිබුණා. ඒත් ඇයගේ ඇස් වල තිබුණේ වෙහෙසකර බැල්මක්. කොහේ හරි වැදගත් ගමනකට යන්න සූදානමින් වගේ ඇය සුදු කුර්තාවකින් සහ දිග කලිසමකින් සැරසිලා හිටියේ. අත් බෑගයකුත් අරගෙන ඇය සෙමින් සෙමින් වීදියේ අඳුරු කෙළවර ඉදන් මා හිටි තැනට ඇවිදගෙන ආවා.
            මගේ උගුර වේළිලා වචන පිටවුණේ නැහැ. මම එතැනම ගල් වෙලා බලන් හිටියා විතරයි. පපුව ඇතුළේ හදවත ගැහෙන වේගෙ වැඩිවෙලා හදවත එළියට පනියි කියලා මම හිතුවා. කොහොමත් බියගුළු හදවතක් තියෙන කෙනෙකුට ජීවත් වෙන්න මේ ලෝකේ හොඳ තැනක් නෙවෙයි කියලා මම අත්දැකීමෙන් ම දන්නවා.
කෙටි ඒත් වේගවත් පියවර මනිමින් ඇය මා දිහාට ඇවිදගෙන ඇවිත් අයිස් කැටයක් වගේ සීතල අතකින් මාව අල්ල ගත්තා.


                                                          *************


Thursday, July 25, 2019

එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් ඛේදවාචකය


බේකර් වීදියේ මගේ හිතමිත්ර හෝම්ස්ගේ නිවසට යාමට මා අදහස් කළේ ඔහු සමඟ උණු කෝපි කෝප්ප කිහිපයක් සමඟ ඉස්තරම් ඉතාලි පීසා රසවිඳින යටි අරමුණෙනි. මේරි එස් පී ඕ රාජකාරි සඳහා අනියුක්ත කර තිබීම නිසා මට උදෑසන ආහාරය ද අහිමි විය.
උදෑසන ම ඡන්ද පොළට ගොස් හරි පක්ෂය ඉදිරියේ කතිරය ලකුණු කළ හෙයින් අපර භාගයේ හෝම්ස් සමඟ මැතිවරණ ප්රතිඵල නැරඹීම මගේ සැලසුම විය. මා ඔහුගේ කාමරයට පිවිසෙන විට හෝම්ස්ගේ බිලී නමැති සේවක ළමයා මා වෙනුවෙන් දොර විවර කළේය.

සුබ සන්ධ්යාවක් මගේ මිත්රයා. අද හදිස්සි ලෙඩෙක් ආවොත් අර්නස්ට්රූදර්ට බලන්න කියල නේද ඔබ ඔය ආවේ?
හෝම්ස් මා දුටු විගස දඟකාර සිනාවක් පාමින් කීවේය. මගේ මුහුණේ වූ විමතිට පත් ලකුණු ඔහුගේ සිනාවට හේතු වූ බව මම දනිමි.
"ඔය තරම් පුදුමයෙන් මා දිහා බලන්න එපා වොට්සන්. එදා ලංකාව මැච් එක දිනුව නිසා හාට් ඇටෑක් ලෙඩ්ඩු කී දෙනෙක්ට ප්රතිකාර කරන්න සිද්ධ වුණා ද? එදා ඉදන් ඔබ ගොඩක් පරිස්සම් කියල මං දන්නව."
මම හිස සලා සුපුරුදු අසුනට බර වුණෙමි. ඒ සමඟ ම කිසිවෙකු වේගයෙන් තරප්පු පෙළ නැඟ එන හඬ ඇසිණි.
"ලෙස්ට්රේඩ් මොකක් හරි ලොකු කලබලේකින්" හෝම්ස් එසේ කියනවාත් සමඟ ම ලෙස්ට්රේඩ් අපගේ විසිත්ත කාමරයට කඩා වැදුණේය.
" වොට්සන් මහත්මයා ! මේරි මෝස්ටන් මහත්මියට හොඳට ම අසනීපයි. අපි මේ දැන් ඇයව එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් රෝහලට ඇතුළත් කළා."
" දෙයියෝ සාක්කි හෝම්ස් දැන් අපි මොකද කරන්නෙ?"
මම භීතියෙන් මගේ මිත්රයා දෙස බැලුවෙමි.
ඇඟිලි තුඩු එකිනෙක ළං කරගෙන් මිලි තප්පරයක් පමණ කල්පනාවේ ගැලී හුන් හෝම්ස් අනතුරුව කටහඬ අවදි කළේය.
" මේරි මහත්මිය වෙනුවට එතන එස් පී ඕ රාජකාරි වලට කාව ද දැම්මේ?"
" කවුරුත් මේ හදිස්සියෙ හොයාගන්න විදිහක් නෑ. ජේ. පී ඕත් අමු ස්ටෝන් ඊල් කෙනෙක්" ලෙස්ට්රේඩ් කම්පාවෙන් පිළිතුරු දුන්නේය.
"එහෙමනම් මම යන්නද ඒ ඡන්ද පොළට?" මම ඇසුවෙමි.
" අහක යන කලු මාම්බල කබාය අස්සට දා ගන්නෙ නැතුව ඉන්න වොට්සන්. ඕව දණිස්සෙන් පහළට නෙවෙයි ඔලුවටම වෙඩි කන්න වෙන වැඩ. ඔයා රජයේ නිලධාරියෙක් නෙවෙයිනෙ. පෞද්ගලික චිකිත්සාගාරයක් පවත්වාගෙන යන වෛද්යවරයෙක්"
" මම යනව ලෙස්ට්රේඩ් එක්ක ඡන්ද පොළට. මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැහැ. මගේ බිරිඳ වෙනුවෙන් මම ඒක කළ යුතුයි" මම බෙරිහන් දුන්නෙමි.
" එහෙනම් මේරි ඉන්න රෝහලට යන්න. ඡන්ද පොළට යන්නෙ මොකටද"?
"මේක තීරණාත්මක ඡන්දයක්. ඒක අවුල් වෙන්න දෙන්න බෑ"
" ඕනෙ එකක් කරගනින්" හෝම්ස් අසුනෙන් නැගිට කාමරයට ගොස් වයලීනය වාදනය කිරීමට පටන් ගත්තේය.
සුදු අශ්වයෙකු සහිත පොලිස් කරත්තයක නැඟුණු මම ලෙස්ට්රේඩ් සමඟ අධිවේගී මාර්ගය හරහා නෝෆොක් පළාතේ පිහිටි එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් ඡන්ද පොළට ළඟා වන විට මධ්යහ්නය එළඹී තිබිණි.
හෝම්ස්ගේ අවවාදය නොපිළිගැනීමෙන් මා කළේ අනුවණකමක් බව වැටහීමට වැඩි වෙලා ගත නොවීය. එස් පී ඕ මේසය අසළ වූ ආකෘති පත්ර නෙත ගැටෙනවාත් සමඟ මගේ දෙනෙත් අඳුරු විය.ඉන්පසු සිදු වූ කිසිවක් මට හරි හැටි මතක නැත.
සිහිය එන විට හෝම්ස් මා ළඟ වැට් 69 බෝතලයක් අතැතිව දණ ගසා ගෙන සිටියේය.
"හෝම්ස් අර ජර්නල් .. පී වී. ...පී එස්..ඩබ්ලිව්.."
" බය වෙන්න එපා මගේ ආදරණීය වොට්සන් ඒ සේරම මම පිරෙව්වා. හැබැයි ෆෝම් ටික පුරවන්නම පැය හතරක් ගියා. ජේ පී ඕ මහත්තයව යැව්වා බඩු රිටන් කරන්න.ඒ ආර් ඕ මහත්තය මේ දැන් ගියෙ. දැන් ක්රීම් ක්රැකර් එක්ක හැපී කව් චීස් කෑල්ලක් කාල පොඩ්ඩක් නිදා ගන්න."
සමාප්තයි!
©ධරණී උපේකා වීරසේකර


ඉහත කිසිවෙකුත් නොවේ


කාර්යාලයේ උස් වීදුරු කවුළුවෙන් පහත බැලු ඇයට ගේට්ටුව ඉදිරිපිට උද්ඝෝෂණයෙහි නිරත වන ජනකාය පැහැදිලිව නෙත ගැටිණි. චණ්ඩ අයුරින් හැසිරුණු උද්ඝෝෂකයන් පාලනය කර ගැනීමට පොලිස් නිලධාරීන්ට ද මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ඉන්දීය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීනියක වු අර්චනා කපුර්ගේ සවනත  වැකුණේ මේ මහා ඝෝෂාවයි.

ප්‍රතාප් ! මොකද්ද මේ කලබලේ හතිදමමින් තරප්පු පෙළ  නැග ආ මහලු ලිපිකරුවා දුටු අර්චනා ඇසුවා ය.

මිනිස්සු ඡන්ද ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා  එයාලගේ නියෝජිතයෙකුට මැඩම්ව මුණ ගැහෙන්න ඕනැලු.
පළපුරුදු සිවිල් නිලධාරිනියක වූ අර්චනාට මෙවැනි විරෝධතා සහ උද්ඝෝෂණ ඉතා හුරුපුරුදුය. වෙනසක් වෙනුවෙන් අරගල කරන්නන් වෙත කුඩා කල පටන්ම ඇය ආකර්ෂණය වී සිටියාය.

හරි ඉතින් ඉන්න, මම යන්නම් අපි එතැනට ගිහින් කතා කරමු

 එපා එපා මැඩම් ඔය මිනිස්සු කවුද කියලා අපි දන්නේ නෑනේ මැඩම්ට අනතුරක් කරන්නත් පුළුවන් ලිපිකරුවාගේ මුහුණින් දිස් වුයේ භීතියට පත් ලකුණු ය. එහෙත් අර්චනා කපුර්ගේ මුහුණෙන් බියක සේයාවකුදු පළ නොවීය.

ඇය සාරි පොට උරහිසට දමාගෙන අසුනින් නැගිට්ටා පමණි. මහලු ලිපිකරුවා ඇයගේ මඟ අවුරා සිට ගත්තේ ය.
 “මැඩම් යන්න එපා මම එයාලගේ නායකයාව මෙතනට අඬ ගහගෙන එන්නම්

ඔහුගේ කාරුණිකභාවයට විරුද්ධ විය නොහැකි තැන ඇය සුපුරුදු අසුනෙහි හිඳ ගත්තාය. ඇයගේ දෙනෙත් නතර වුයේ පොත් රාක්කය මත තිබු රාධා - ක්‍රිෂ්ණා අනුරුව මතය. දෙනෙත් අඩවන් ක්‍රිෂ්ණාගේ දිගු අතැඟිලි වස්දඬුව මතම රැඳී තිබු අතර රාධා මහත් ස්නේහයෙන් තම පෙම්වතාගේ උර මත හිස තබා ගෙන සිටියාය. නමුත් තනිකඩව මැදි වියද පසු කරමින් සිටි අර්චනාගේ ජිවිතය තුළ  ක්‍රිෂ්ණා කෙනෙකුට ඉඩක් නොවීය.
උද්ඝෝෂණ කණ්ඩායමේ නායකයා අර්චනාගේ කාමරයේ දොර විවර කර ගෙන ඇතුල් වුයේ ඇයගේ සිතිවිලි ධාරාව බිඳ දමමින්ය.

මම ශංකර් මේ උද්ඝෝෂණය මෙහෙයවන්නේ අපේ පුරවැසි සංවිධානයෙන්

ඝනකම් රැවුලකින් වැසී තිබුණු ඔහුගේ මුහුණෙන් දිස්  වුයේ අපිළිවෙල පෙනුමකි. දහඩියෙන් මුළුමනින්ම තෙත්ව තිබු කමිසයෙහි බොත්තම් දෙකක් විවරව පැවතිණි. හරිහැටි නොපීරූ ඔහුගේ හිසකෙස් තැනින් තැන රිදී පැහැයට හැරී තිබුණි. නමුත් ඔහුගේ සෘජු නාසයෙන් තියුනු දෙනෙත් වලත් වුයේ කොහේ හෝ දැක හුරු පුරුදු බැල්මකි.

වාඩිවෙන්න මහත්මයා, මොනවාද සංවිධානෙ ඉල්ලීම්

අපි ඉල්ලන්නේ ඡන්ද අපේක්ෂකයින් කිසිම කෙනෙකුට කැමති නැතිනම් ඒක ලකුණු කරන්න ජන්ද පත්‍රිකාවේ ඉඩක් ලබා දෙන්න කියලා

අහා! ශංකර් මහත්මයා ඔයා මේ ඉල්ලන්නේ NOTA නැත්නම් None of the above පහසුකම නේද?
අන්න හරි! එතකොට අපට පුළුවන් අපි ඡන්ද අපේක්ෂකයන්ට කොච්චර අකැමතියි ද කියලා පැහැදිලිව අඟවන්න

ඒත් ඒකෙන් පලක් තියෙනවද? අර්චනා පෙරළා ප්‍රශ්න කළාය.

ඇයි නැත්තේ ! ඒකෙන් හැමෝටම වෙන්නේ යහපතක්

මොකක්ද ඒකෙන් පුරවැසියෙකුට තියෙන ප්‍රයෝජනේ

ඒක ඔබතුමියට මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපේ විශ්වවිද්‍යාලයේ අපි එක්ක ඉගෙන ගත්තා ලස්සන ගැහැණු ළමයෙක්. විශ්වවිද්‍යාලයේ තරුණ ශිෂ්‍යයින් කිහිප දෙනෙක්ම මේ කාලයේදී එයාට ආදරය ප්‍රකාශ කළා. ඒත් අර ගැහැණු ලමයාගේ පිළිතුරවුණේ ඉහත කිසිවෙකුත් නොවේ කියන එක. ඒ නිසා එම තරුණයින් තේරුම් ගත්තා ඔවුන් කාගෙවත් ගතිගුණ හා ස්වභාවයට ඒ ගැහැණු ළමයා කැමති නැහැ කියලා,  ජිවිතයේ කිසිදු බරපතලකමක් වටහ නොගෙන ජීවත් වුණු ඒ තරුණයින් දැන් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන සාර්ථක වෙලා තියෙනවා

දෙයියෝ සාක්කි? ශංකර් උමාකාන්ත්! මේ ඔයාම ද? අර්චනා සිං ගොළුව හිඳ අවසන විස්මයෙන් කටහඬ  අවදි කළාය.

ඔව්, මම දැන් මහාචාර්ය ශංකර් උමාකාන්ත්, මේ සේරම NOTA  නිසා තමයි. ඒ නිසා මේ වතාවෙවත් මගේ යෝජනාව ගැන සළකා  බලන්න. රස්සාවෙදිත් පරස්තාවෙදිත් පසු තැවෙන්න වෙන තීරණ ගන්න එපා

                                                                    -    නිමි. -

                                                                       ධරණි උපේකා වීරසේකර
                                                

Wednesday, January 23, 2019

සේනා දළඹුවාගේ පලහිලව්ව- රහසිගත ලිපිගොනු අංක 20

දිගින් දිගටම බැරෑරුම් පරීක්ෂණ රැසක නිරත වීම සෞඛ්යයට අහිතකර බව මා කොතෙකුත් කියා ඇති නමුත් මගේ හිතමිත්ර ෂර්ලොක් හෝම්ස් ඒ කිසිවක් සැලකිල්ලට නොගනී. මෙය තවත් ඉවසා ගත නොහැකි තැන මම නිවාඩුවක් සඳාහා හෝම්ස් සමඟ විදේශ ගත වීමට තීරණය කළෙමි.
එක්දහස් අටසිය ගණන්වල බ්රිතාන්ය අධිරාජ්ය යටතේ පැවති ශ්රී ලංකාව අපගේ ගමනාන්තය විය.
ශ්රී ලංකන් ගුවන් සේවයේදී පිරිනැමූ කජු අනුභව කිරීම නිසා උදරබාදයකින් පෙළුණු මගේ මිත්රයාගේ මුහුණින් දිස් වූයේ පෙරටත් වඩා ගිලන් ස්වභාවයකි.
" ගුවන්තොටුපළේ ඉදල හෝටලයට යන්න කුලී රථයකට කතා කරන්නම්" මගී පර්යන්තයේදී මම හෝම්ස්ට පැවසුවෙමි.
"මගේ හිතමිත්ර වොට්සන් ඒ ගැන කරදර වෙන්න එපා. අර පාර අයිනේ නවත්වා තිබෙන රතු, කොළ, නිල් වර්ණවල ත්රීරෝද රථ ඔබට පෙනෙනවාද?"
"ඔව් මිත්රයා. නමුත් ඒවා සුවපහසු නැහැ"
"නමුත් මගේ ආදරණීය වොට්සන් ඒවා සුපර් සොනික් යානා තරම් වේගයෙන් ගමන් කරනවා. මේ මොහොතේ වැදගත් වෙන්නේ උදරබාධය තවත් දරුණු වීමට කලින් හෝටලය වෙත යාමයි"
වෙනත් විකල්පයක් නොවූයෙන් මම ඔහුගේ කීමට අවනත වුණෙමි.
හෝටලයට ගොස් ස්නානය කර හොඳින් පිරිසිදු වී උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසු හෝම්ස්ගේ ගිලන් ස්වභාවය මදක් සමනය විය.
මා හෝම්ස් සමඟ පහත මාලයට ගොස් ඉන්දියන් සාගරයේ සුන්දරත්වය නැරඹීමට සැරසුණා පමණි ,කිසිවෙක් මහ හඬින් දොරට තඩිබාන්නට පටන් ගත්තේය. බේකර් වීදියේ සුපුරුදු නිවහනේ බිලී නමැති සේවක ළමයා නැති අඩුව මට තදින්ම දැනුණි.
දොරඟුල විවර කළ සැණින් සැට විය ද ඉක්මවූ කෙසඟ සිරුරැති තැනැත්තෙක් කාමරයට කඩා වැදුණේය.
" ඔබතුමා නේද ෂර්ලොක් හෝම්ස් ?" අමුත්තා හෝම්ස් දෙස බලමින් විම්සීය.
"ඔව්"
"අනේ සමාවෙන්න මෙහෙම හදිසියේ ආවට. මම ලොකු ප්රශ්නයකට හිර වෙලා. සේනා දළඹුවා නිසා රටේ වගාවන් සේරම විනාසයි. ඒ නිසා මට කිසිම සැනසිල්ලක් නෑ. ගොවීන් මට ඉන්න දෙන්නෙ නෑ. මේකට මොකක් හරි විසඳුමක් දෙන්න. මම ඉල්ලන ගාණක් ණය වෙලා හරි ගෙවන්නම්"
විවේකය ගත කිරීමට මා සිදු කළ සියලු සැලසුම් මොහොතකින් සුනු විසුණු වී ගියේය.
"මහත්මයා කලබල වෙන්න එපා. මම විසඳුමක් දෙන්නම්. ඔබේ ආගන්තුක පත්රය මට දීලා යන්න. හෙට හවස් වෙද්දි විසඳුමක් දෙන්නම්"
හෝම්ස් එසේ පවසන විට ඔහුගේ දෙනෙත් ප්රීතියෙන් බැබළිණි.
"සමාවෙන්න මහත්මයා මම ආගන්තුක පත්ර පාවිච්චි කරන්නෙ නැහැ" යැයි කියූ ඔහු හෝම්ස්ගේ කණට කර කිසිවක් මුමුණා නික්ම ගියේය.
හෝම්ස් දළඹුවාගේ ස්වරූපය හා චර්යාව නිරීක්ෂණය කරනු පිණිස වගාබිම් වලට යනු ඇතැයි මා අපේක්ෂා කළ ද ඒ සඳහා පසු දා පහන් වුවත් ඔහු කිසි උනන්දුවක් නොදැක්වීය. හෝම්ස් දවස පුරා ගීත සිවුරුහන් කරමින් සැහැල්ලුවෙන් සිටීම මගේ නොමඳ ප්රීතියට හේතු විය.
ශ්රී ලංකාවේ සොඳුරු නිවාඩුවක් ගත කිරීමට ඉඩ ලබා දීම පිළිබඳව මම දෙවියන් වහන්සේට ස්තුති කළෙමි. දින ගෙවී ගොස් අප නැවත ලන්ඩනය බලා යන දිනය ද උදාවිය.
පුරුද්දට මෙන් සිලෝන් ක්රොනිකල් පුවත්පත අතට ගත් මට එහි සිරස්තලය දැක කෑ ගැසිණි
"ෂර්ලොක් හෝම්ස් සේනා දළඹු වසංගතය මෙරටින් තුරන් කරයි"
"දෙයියෝ සාක්කි හෝම්ස් ඔබ මේ හෝටල් කාමරයට වෙලා මේ ප්රශ්නේ මෙච්චර ඉක්මනින් විසඳුවෙ කොහොමද ?"
"ඒක හරිම සරලයි මිත්රයා. මම කළේ අපිට ලංකාවේ බස් රථ සහ ත්රී රෝද රථ වල වාදනය වෙන ගීත වගාබිම් වල අධික ශබ්දයෙන් වාදනය කරන්න කිව්ව එක විතරයි. දළඹුවො සේරම සිහිසුන් , අප්රාණික තත්ත්වයට පත් වුණා. වසංගතය ඉවරයි" හෝම්ස් දඟකාර සිනාවක් පාමින් කීවේය.
දෑස් බොඳවී යද්දී ඔහු මා වත්තම් කර ගත්තා විය යුතුය.

නිමි.
©ධරණී උපේකා වීරසේකර