පලා ගුවන් ගැබ
ගඟනත සරන ලියේ
දුලා නෙත්
සරින් මන කොඳ බැන්ඳ ලියේ
තලා සිනිඳු
සිත් මල බමරින්ඳු ගියේ
සලා කඳුළු
නොතැවෙන් දේවතාවියේ
සරා කඳුළු
ගංගාවෙක දෑල බිඳ
දුරාතීතයක
සැමරුම් අතර හිඳ
දරා සෝ සුසුම්
හදවත වැළපේද
පුරා හඳට අවපස
වැළකිය හැකි ද
කවියෙකු කුමට
කව් රස දනවන්න බැරි
නැවියෙකු කුමට
දියඹක පදවන්න බැරි
කුමරෙකු කුමට
සිහසුන සුරකින්න බැරි
බමරෙකු කුමට
සිත් මල රැක ගන්න බැරි
ගිගුම් දෙන
සොවින් සිත් ඉම තුරන් කර
විකුම් පා
නැගෙන මොහොතක සහසකර
සිතුම්
අමුණමින් තැනු පෙම් මුක්තහර
බැලුම් ගලට
නැඟ පළදනු ඔහුගෙ කර
No comments:
Post a Comment