.........towards the stream of thoughts
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Tuesday, May 10, 2016

උගත් මිත්‍රයාට





රීඩ් මාවත පුරා තුරු වියන් සෙවණ යට
රීඩිමේ මේසයක "නාඩගම" ළඟ තැනක
කළු කබායක් අප දෙදෙන ලා ගත් දිනෙක
කරන්නට හිතා මැවු සිහින විය පරතෙරක

පෙර දිනෙක සරසවියෙ එකාවන් වී එකට
සටන් වැකි කියන්නට නුඹ ද විය මහ හඬට
සිව් වසක් ඇවෑමෙන් යළිදු මුහුණට මුහුණ
මුණ ගැසිනි ඔබේ රුව වෙනදාට වැඩි රුවට

චේට මල් පැලැන්දූ හුරුපුරුදු  ඇඟිලි අග
සිනාසෙයි මිලෙන් වැඩි අයි සික්ස් ජංගමය
දුගියෙකු දුකක් දැක තෙත රැඳුණ නුවන් යුග
අද අලුත් ක්ලයන්ට්ස්ලා සොය සොයා විමසා ය

ඉඩම් හබ වලට පැටලී ගැටෙන ජන ගඟක
පෙමින් හුන් හිමිව සැක බිරිඳකගෙ නෙත් කොනක
ගලා යන කඳුලකට ලොකුම ලංසුව තියන
කොහෙද නුඹ එදා මට කියූ මිනිසත් ගුණය

වන්නියේ කැලෑ හොරු තවත් ඇත අල්ලන්න
අනාථව මගේ අය සිටී මග බලාගෙන
මිතුර ඔය කැපචිනෝ මට එපා ඔබ බොන්න
තේ කහට බී ගමට යන්න අවසර දෙන්න


ධරණී උපේකා වීරසේකර ©


Thursday, January 29, 2015

ලසන්ත නුඹ තවමත් පපුතුර අතර



 
 
සෙලවුණි සුරත අග පන්හිඳ වෙඩි අස්සෙන්

ඉහිරුණි ලේ සලකුණ පත් ඉරු මැද්දෙන්

විසිරුණි කඳුළු බිඳු දාහක්  නෙතු  මත්තෙන්

වැලපුණි ලක් දද  සිහ රද මහ සද්දෙන්

 

වෙඩි උණ්ඩයට මතකයෙ පණ මියැදෙයි ද

රැඩිකල් සිහින අඳුරේ වියැකී යයි ද

හැඩි දැඩි හිත් තිබෙන පරපුර සැඟවෙයි ද

එඩි නැති දැයක නිදහස් හිරු පායයි ද

 

ගලක් හෙළා සමුදුර බොර කරනු බැරි

උලක් යවා අහසක් හිල් කරනු බැරි

මලක් තලා සුසුවඳ සඟවන්න බැරි

වළක් කපා හිමිකම් වළලන්න බැරි

 

වසන්තයක් පතමින් මව්බිම පතර

වසන් නොකර හදවත කරමින විවර

දසන්තයක තතු පන්හිඳ විය නිතර

ලසන්ත නුඹ තවමත් පපුතුර අතර


 

 

 

 

Saturday, August 23, 2014

තෙතබරිත කවි







කිරිකෝඩු සිනහවක් මට හෙළන
මුවේ ඇත මුදු පෙමක අඩුවැඩිය
වැහි කෝඩ අතර වුව හිනැහෙන්න
හිතේ ඇති පෙම් කැකුළ හැඩිදැඩි ය

අකල් නියඟයක් මැද දුක් විඳින
ඉපල් වුණු හදවතකි ඉකි බිදින
ළපල්ලක් සේ සෙනෙහෙ දළු ලන්න
ඇසිල්ලක් නෙත් කැළුම් මට දෙන්න

නොතිර වූ සසර වෙත බැඳ තබන
සුසර සත්සරකි ලොව පෙම නමින
විසිරි හිරිපොද අහුර නුඹ සොඳුර
කතර මඟ අතරමඟ ගිම් නිවන

@ධරණී..
 

Friday, August 22, 2014


ගලා යන සීත වැහි බිංදුවට සමු දුන්
වලා පෙළ මමයි දුර අහස් තල මත හුන්
හරිත වන රේඛාව ළදළු පත් මත ඉහුණු
කඳුළු වැහි බිඳ ඇයයි දුක මතින් කැටි ගැහුණු


ඔය මතක හීත තවමත් හිතේ මං ගාව
ඔය රැලි නැගුවදෙන්, හිනැහියන් ගංගාව
හීන සාගරයක් හොයා ගෙන දුර ඇදෙන
වැහි බිඳක අගය හඳුනයි ද  සැඩ සාගරය

 වළා අත් පහුර තුළ නුඹ හොවා ගෙන සුරැකි
සීතලත් උණුහුමක් වුනු අතීතයක් ඇති

සොඳුරු සඳ කැන් අතර ගෙතුණු තරු ලියකම්
මැකුණු දා තනිකමට ළඟ කවිකම්


@ධරණී
 

Friday, May 9, 2014

වැහි කවි



 හඬන අහසෙහි රිදෙන පාරවන සිත් රිදුම
වැටෙන වැහි දියත්තක මුහු කර එවන්නෙද
වසා ගෙන සිනිදු සුදු මිහිදුමක් සේ සුමට
ඇදෙන්නේ අහස් කත හෙළන සුසුමන් නොවෙද

බිම බලා ගෙන සඳටත් හොරෙන් ඉකිබිදින
වලාකුළු දනී නුබ ගැබෙහි පෙම් පුරාණය...
දෑත් විදහාලන්න නොහැකිමුත් බෝ උසට
පොලව හැමදාමත් ආදරෙයි අහසට


අතට අහු වෙන මතක හැම එකම වීසි කර
කොහේ හෝ කොදෙව්වක දුර ඈත දනව්වක
නෙතු පියා ගෙන තදින් මා එක්ක මා නැතිව
ඉහෙන මේ වැස්සට නුඹ තෙමෙන්නෙ ද පියඹ

 

Friday, March 21, 2014

රෝබරෝසියා කවි


 

 

තවමත් මමවත් නොදන්නා
ඉරණම්කාර සුපෙම්වත
ඔබ නමින් ලියමි කවියක්
වැටෙන රෝස පැහැ
රෝබෝරෝසියා පෙති මත
ඔබ එන මතු දිනෙක
දෝතින්ම ගෙන පුදන්නට


වෑස්සෙන අහස ගඟ පිනි බිදිති ගෙන

පෑස්සෙන ඇසිල්ලකදී දෙහද කොණ

දෑස් අසල සිහිනය දිග හැරෙන දින

රූස්සම පෙමක් රැක ගමි නුඹ නමින

 

සහසක් මලින් මල පරවී වැටුණාවේ

දහසක් බිගුන් රැව් දී වට රැඟුවාවේ

සුවදක් පවන් රැලි අතරින් හැමුවාවේ

සියයක් අතර වුව ඔබ නෙත ගැටුණාවේ

 

රෝබරෝසියා මල් ගොමු අතරින් වියැකී

නුඹ ගැන සිහින සුසුවඳ රැඳි මල් වැලකී

සුබ ලකුණක් විලස දිසි නිල් දිය විලකී

නුබ ගැබ සඳු පතන මා නම් තරු ලියකී


සිහින සිඹින දෙනයන පියවා ගනිමි
වැටෙන වැටෙන මල් මත ඔබ රුව දකිමි
මලෙක මෙලෙක දත් කවි හද විසිකරමි
විතක රැදුණු මී සේ තනිකම විදිමි



ධරණී©