.........towards the stream of thoughts
Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Tuesday, June 9, 2020

හැරී පෝටර් සහ කොරෝනා නිරෝධායන දවස් 1

එය හොග්වර්ට්ස් වලට නරක කාලයක් විය. මින් පෙර වෝල්ඩර්මෝට් නිසා හොග්වර්ට්ස් වල බියකරු දින උදා වී තිබුණද මෙය වඩාත් අසහනකාරී වකවානුවක් බව මායා ලෝකයට පසක් වෙමින් තිබිණි.
"මට නම් එපා වෙලා මෙහෙම හොග්වාට්ස් ඇතුලේ හිර වෙලා ඉදලා. හරියට කන්නවත් නෑ. හොග්ස්මීඩ් ගිහින් බටර් බියර් බොන්න තිබ්බනම්. හර්මොයිනි ,ඔයා මහ ලොකුවට පම්පෝරි ගැහුවා නේද ස්පෙල්ස් ගොඩක් දන්නව කියලා. මොනව හරි කරනවකො" රොන් කෑගැසුවේය.

" කට වහනවා. මේක වසංගතයක්. මැජික් වලින් විසඳන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඩම්බල්ඩොර් වගේ කෙනෙක් අපිව මෙහෙම එලියට යන්න නොදී හිර කරලා තියයි ද ඒ මැජික් එක පාවිච්චි නොකර." හර්මොයිනිට රොන් ගැන හටගත්තේ දැඩි කේන්තියකි. කුමක් සිදු වුණත් ඔහුගේ කෑදර කම අඩු නොවන හැටි!
එක දිගට නිරෝධායනය වීමෙන් කෝපයට පත් රොන් යළි ඇය දෙස හොරැහින් බලා කටහඬ අවදි කළේය.
"ඔයාගෙ පිස්සු ලොම් පිරිච්ච ඌරෙක් වගේ ඉන්න බළලගෙන් වෙන්න ඇති මේ කොවිඩ් 19 මායා ලෝකෙට එන්න ඇත්තෙ"

ස්කාර් එක මත සිද්ධාලේප ආලේප කළ හැරී ග්‍රිෆින්ඩොර් පොදු කාමරයට ඇතුලු වූයේ මේ කළබගෑනිය මැදය. ඔහුට මේ කෝලාහලය පැහැදිලව ඇසුණි.
"අයියෝ ඔයාලා මේ රණ්ඩුව දැන්වත් නවත්තනවද? මම අවුරුදු ගාණක් ප්‍රයිවෙට් ඩ්‍රයිව් එකේ හිර වෙලා හිටියේ ස්වයං නිරෝධායනය වුණා වගේ තමයි. ඒකෙන් නරකක් වුණාද? ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉන්න"

"ඒක ඇත්ත. අපිට මේ පොඩි කාලෙට මෙහෙම අමාරු නම් අස්කබාන් වල අයට කොච්චර අමාරු ඇත්ද හිර වෙලා ඉන්න" හර්මියොනි කල්පනාකාරීව පැවසුවාය.
"කට පියාගෙන යනවා යන්න පණ්ඩිත ආච්චි"රොන් මාස්ක් එක ගළවා දමා ඉවතට යාමට සැරසුණේය.
මතු සම්බන්ධයි
@ ධරණී උපේකා වීරසේකර





Sunday, January 22, 2017

ක්‍රිසැන්තිමම් මල්





ලෝකේ තියෙන ලස්සනම මල් ජාතිය මොකක් ද ඩේවිස්?

රෝස!

 මම නම් හිතන්නේ ක්‍රිසැන්තිමම් මල් තමා ලස්සනම. ඒවගේ සුවඳත් මලේ පෙනුම වගේ ම මිහිරියි. කවදා හරි මම මනාලියක් වෙන දවසට ගෙනි යන්නේ ක්‍රිසැන්තිමම් මල් කළඹක්, මං මැරුණු දවසක මගේ මිනිය ළඟින් ක්‍රිසැන්තිමම් මල් වඩමක් තියෙනවා නම් මම හරිම ආසයි!

බෙත්! මොනවද මේ කියන මූසල කතා


වෙලාවකට මට බෙත්ව තේරුම් ගන්න අමාරුයි. කළුගලක් වගේ තද එයාගේ හදවත  වගේ එකපාරට මෙලෙක් වෙලා වැගිරෙන්නේ හරිම විස්මයජනක විදිහකට. ඒ ගුප්ත කමට හේතුව එයාගේ අසීමිත සංවේදී හිත කියල මට හිතෙනවා. 

                                             ****************

 එත් මේ හැම දෙයක්ම මුල ඉදන් පිළිවෙලට කතාවක් වගේ කියන්න ඕනේ . ලේඛකයෙක් නොවුණත් මේ කතාව ලියන්න මගේ හිත බල කළේ අවුරුදු ගණනාවක ඉදන්. දැන් අවුරුදු හැත්තෑවක මහල්ලෙක්. මේ හැම දේම පටන් ගත්තේ මිට අවුරුදු පනහකට විතර කලින්. සමහර මතකයන් හරියට කැමතිම චිත්‍රපටියක කැමතිම දර්ශනයක් වගේ. ඊට පස්සේ කොයිතරම් හැලහැප්පීම් ජිවිතේ සිද්ධ වුණත් ඒ විශේෂ මතකයන් ඒ විදිහටම හදවතේ ශේෂ වෙනවා.

ලන්ඩන් පාලමේ ගිටාර් එක ගහමින් ගීත ගැයුව මගේ  තාත්තට හැමදාම" රෝයල් වීව්"  හෝටලේ  පිළිගැනීමේ නිලධාරිනිය වුණු  මගේ රූමත් අම්මව මුණ ගැහෙන්නේ අවසානයේ ඒ හිතවත්කම ආදරයකට පෙරළලා . මම එයාලගේ දුප්පත්කමේ දුක් සුසුම් සහ ප්‍රේමයේ හසරැලි අතර හැදී වැඩුණු එකම දරුවා.

" පුතා ඩේවිස්  ගිටාර් වාදනය ඉගෙන ගන්න ලොකු ඉවසීමක් ඕනේ. කම්බි ඕනෙවට වඩා තද කළොත්  නිසි හඬ එන්නේ නැහැ . ඕනෙවට වඩා ලිහිල් කළත්  නිසි හඬ එන්නේ නැහැ . ඒක  කරන්න ඕනේ මධ්‍යම ප්‍රමාණයෙන්."  තාත්තගේ අවවාදය ජිවිතේට ම අදාලයි කියල මට පස්සේ තේරුණා .

බීතෝවන් රසික සමාජයෙන් සංවිධානය කරපු මහා සංගීත තරගාවලිය ! එක අපූරු අත්දැකීමක් . මං  තරග වැදුණේ  නව සංගීත නිර්මාණ අංශයෙන්. කකුල් දෙක සමබරව පොළොවේ තියලා හිටගන්න පුළුවන් වුනු දවසේ ඉදන් ගිටාර් , පියානෝ අස්සේ ජිවිතේ ගෙව්ව මට මේක අමුත්තක් නෙවෙයි. මම ම කුරුටු ගාගත්තු  පද වැලකට සංගීතය දාල ලෑස්ති වුණේ  තරගය දිනන්න තියෙන ආසාවට වඩා සංගීතයට තියෙන අසීමිත ලෙන්ගතුකම හින්දයි.

"එළිසබෙත් හචින්සන් "  සංගීත උත්සවය මෙහෙවයපු රූමත් තරුණිය. ඒ  අපේ පළවෙනි හමුවීම. වැඩි විස්තර ඕනේ නැහැ . එදා ඒ තරගෙන් පළවෙනි තැන ලැබුණේ  මට. පවුම් පනස්දාහක් කියන්නේ අවුරුදු විස්සක කොල්ලෙකුට මහමෙරක් තරම් වටින තෑග්ගක්. මීදුමයි , හිමයි  දුවිල්ලයි අස්සේ ජීවිතේ ගැටගහගන්න පොර කන මං වගේ කොල්ලෙකුට ඊට වඩා තෑග්ගක් තව තියෙනවද?

එළිසබෙත්ගේ  සියුමැලි කටහඩින් මගේ නම කියවෙනකොට මගේ සතුට දොරේ ගලන ගියේ ලන්ඩන්  පාලමටත්  උඩින් තේම්ස් ගඟ පිටාර ගැලුවා වගේ. බිතෝවන් රසික සමාජයේ සභාපති හචින්සන් සාමි, එයාගේ තාත්තා. මං  සාමිතුමාගෙන්  තෑග්ග අතට ගන්නකොට නොදැනීම වගේ මගේ ඇස්  නතර වුණේ  එලිසබෙත් ගාව. ඒ දිස්නේ දෙන ඇස අස්සේ අමුතු සතුටක් තිබුණු බව මට තේරුණේ  එයාගේ කම්මුල් වල ගැහිලා හිනාවක් මතුවුණු හින්දයි. 

උත්සවේ ඉවර වෙලා ගෙදර යන්න අපහු හැරෙනකොටම  කව්දෝ මගේ උරහිසෙන් අල්ලනවා වගේ තේරුණා.

හචින්සන් සාමි මං  ළගම ! එතුමාට පිටිපස්සෙන් සුරංගනාවියක් වගේ එලිසබෙත්. ඇයි දෙයියනේ මට මීට වඩා හොඳ ඇදුමක් අද ඇඳගෙන එන්න බැරි වුණේ?

" මගේ උණුසුම් සුබ පැතුම් දරුවා!"

"බොහොම ස්තුතියි සාමිතුමා" මට ලාවට ගොත ගැහුණා 

" එලිසබෙත් කැමතියි ඔයාගෙන් ගිටාර් වාදනය ඉගෙන ගන්න"

"මොකක්" ඒ පාර මගේ හුස්මත් හිර වුණා .

" ඇයි  මේ  දරුවා කැමති නැද්ද උගන්නන්න?"

" මම දුප්පත් කොල්ලෙක් සාමිතුමා , මන්දිර වල සංගීතේ උගන්වන්න මොකද්ද මට තියෙන සුදුසුකම?"

" අද අපි ඇස පනාපිට දැක්ක සුදුසුකම හොඳටම ඇති"

මම ඉතින් තව මොනවා කියන්නද? එදා ගිවිසගත්ත විදිහට මම එලිසබෙත්ට උගන්වන්න ගියා . පළවෙනි දවසෙ  එයා ගැන හිතේ  වුණු  කැමැත්ත  ආදරයක් බවට  පරිවර්තනය වුණා . නිදි නැති දවස් වල රෑ  තිස්සේ මන් කල්පනා කළේ  හචින්සන් මන්දිරයත් අපේ පුංචි පැලත් අතර තියෙන නොපෑහෙන පරතරය ගැන. මන් ගැන විස්වාසේ තිබ්බ සාමිතුමාට පිටුපාන්න මට බැහැ. මම තනියම වේදනා වින්දා. ඒ අතරේ තමයි මට ආරංචි වුණේ  යෝක්ෂයර් අදිපාදතුමාගේ  පුතා එලිසබෙත්ව ළගදීම  විවාහ කරගන්නවා කියල.

තමන් ආදරය කරන මලක් වෙන කෙනෙක් නෙළා  ගන්නවා නම් අමාරුවෙන් හරි හිත හදාගන්න පුළුවන්. එත් ඒ නෙළාගන්න විදිහ බලන්න තරම් ධෛර්යක්  මට තිබුනේ  නැහැ.

ඒ  නිසා මම  හචින්සන් මන්දිරයට යන එක නවත්තලා  දැම්මා. එලිසබෙත්ව දකින්න නැති වුණත්  හැමදාම පත්තරේ රාජකීය ඕපාදුප කොලමේ  එයාගේ සේයාරුවක් නොතිබුණු දිනයක් නැති තරම් . යෝක්ෂයර් කුමාරයයි එලිසබෙත් කුමරියයි අත්  පටලන් ඉන්න රූප  දකින කොට මගේ හිත කඩාවැටුණා. ඒත්  මොනවා කරන්නද? 

ජනවාරි මාසේ සීතල  දවසක පරණ බූට් සපත්තු දෙකත් දාගෙන මං   පැත්තට ඇවිදගෙන ගියේ පත්තරේ ගන්න අදහසින්. පොල්  ගෙඩි අකුරින් පත්තරේ  පළවෙලා  තිබුණු සිරස්තලය දකිනකොට මගේ ඇඟ  කිලිපොලාගෙන ගියා.

" එලිසබෙත් කුමරියට අනතුරකින් අසාධ්‍යයි.  "

" යෝක්ෂයර් කුමරා සමඟ සම්භාෂණයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී බරපතල රිය අනතුරකට මුහුණපා ඇති එලිසබෙත් කුමරිය මේ  විට අනතුරින් අසාධ්‍ය හා විරූපී තත්වයට පත්ව ඇති බව වාර්තා වේ. යෝක්ෂයර් කුමරු මේ නිසා   ඇයව හැර ගොස් ඇති බවද රාජකීය ආරංචිමාර්ග සඳහන් කරයි."


"මම නම් හිතන්නේ ක්‍රිසැන්තිමම් මල් තමා ලස්සනම. ඒවගේ සුවඳත් මලේ පෙනුම වගේ ම මිහිරියි. කවදා හරි මම මනාලියක් වෙන දවසට ගෙනි යන්නේ ක්‍රිසැන්තිමම් මල් කළඹක්, මං මැරුණු දවසක මගේ මිනිය ළඟින් ක්‍රිසැන්තිමම් මල් වඩමක් තියෙනවා නම් මම හරිම ආසයි!
ගිටාරය වයන අතරතුර ඇය  පැවසූ  වදනක් මගේ දෙසවන දෝංකාර දුණි . 


 එදින රෝයල් ට්‍රීට් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත අනවසරයෙන් කඩා වැදුණු  විසි හැවිරිදි තරුණයා මම වෙමි. ඇය  සමුගන්නා මොහොතේ ක්‍රිසන්තිමම්  මල් වල ඉමිහිරි සුවඳත් ප්‍රේමයේ සුසුවඳත්  විඳිමින්  දෙව්ලොව වෙත පියමන් කරනු ඇත.


Corinthians 13:4-13
 Love is patient, love is kind. It does not envy, it does not boast, it is not proud. It does not dishonor others, it is not self-seeking, it is not easily angered, it keeps no record of wrongs. Love does not delight in evil but rejoices with the truth. It always protects, always trusts, always hopes, always perseveres.





Friday, December 26, 2014

ප්‍රංශ නාවිකයා

 
 
 
 
 
ප්‍රින්ස් ඔෆ් ෆ්‍රාන්ස් නෞකාව මද ගැස්සුමකින් යුක්තව  වැහි කුණාටුව නොතකමින් ජිබ්‍රෝල්ට්‍රා සමුද්‍ර සන්ධිය හරහා අත්ලාන්තික් සාගරය දෙසට යාත්‍රා කරමින් සිටියාය.   නවක , තරුණ නාවිකයින් දෙදෙනෙක් නැව් තට්ටුවේ කොණක සංවාදයක නියැලී සිටියහ.
 
" මම හරිම ආසයි නැව මෙතැනින් යාත්‍රා කරනවා බලන්න. අමුතුම හැගීමක් ඇති වෙන්නේ "  නැව් තට්ටුව මත සක්මන් කරමින් හුන් තරුණ නාවිකයෙකු වූ ජෝෂ් සයුරු තෙර දෙස නෙත් යොමමින් කීවේය.
 
" ඒ වුණාට හරිම භයානක තැනක්. නැව් කීයක් නම් මෙතැනදී අනතුරට ලක් වෙලා ඇද්ද?" අසුබවාදියෙකු ලෙස නම් දරා සිටි ඔහුගේ හොඳම මිතුරු වොලස් මිමිණීය.
 
" මේකට කඳුළු දොරටුව කියන්නේ නිකං වෙන්න බැහැනේ"
 
" අපේ කපිතාන්ට නම් ඕව කිසිම ගාණක් නැහැ. මම කවදාවත් දැකල නැහැ ඒ වගේ කපිතාන් කෙනෙක්. එයා මේ මුහුදු රස්සාවට ගැලපෙන්නේ නැහැ. වෙන එකක් තියා නිකං ලැබෙන සුරුට්ටුවක්වත් කටේ තියන්නේ නැහැ ඇඟ කිළිපොලන තරම් සීතලක් ආවත්. විස්කි උගුරක් කටේ හලා ගන්නේ නැතුව දෙසැම්බරේ අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කරන කපිතාන් කෙනෙක් වෙන ලෝකෙ කොහෙවත් නැතුව ඇති"
 
" ඒක තමයි මිනිහ ප්‍රංශ වුණාට ඉංග්‍රීසි මිනිහෙක් තරම්වත් විනෝදෙට කැමැත්තක් නැහැනේ " ජෝෂ්  වට පිට බලා සෙමින් තම මිතුරාට පැවසීය.
 
" ඔව් සහතික ඇත්ත! කපිතාන් කෙනෙක් වුණාට සාමාන්‍ය නාවිකයෙක් තරම්වත් නිර්භීත නැති පාටයි. නැවට අනතුරක් උණොත් අපි හැමෝටම දෙය්යන්ගේම පිහිටයි!" වොලස්ගේ බ්‍රිස්ටල් වර්ගයේ සිගරෙට්ටුවෙන්  දුම් ගුලියක් පිට විය.
 
" අර මොකද්ද?" නැව් බඳට අඩි කීපයක් නුදුරින් තද කළු පැහැති ඡායාවක් ඉහළට එසවෙනු දුටු ජෝෂ් සිය මිතුරාගෙන් ඇසීය .
 
" මෝරෙක් වෙන්න ඇති "
 
" නැහැ මම දැක්කේ මිනිහෙක්ගේ ඔලුවක් වගේ. මම බලලා එන්නං"
 
ජෝෂ් අදුරු සයුරු ජල තලය දෙසට නැඹුරු වී සුපරික්ෂාකාරී බැල්මක් හෙළීය.
 
 තරුණ නාවිකයා වැහි කුණාටුව නිසා බිහිසුණු ලෙස පැද්දෙමින් තිබූ නෞකාවෙන් ඉවතට විසි වී සීතල සාගර තලය මත පතිත වූයේ ඇසිපිය හෙළන තරම් වේගයකිනි.
 
" වොලස්! මාව බේර ගනිං.. මාව ගිලෙන්නයි යන්නේ.. වතුර අයිස් වගේ සීතලයි! මට පීනන්න බැරි තරමට අත පය දරදඬු වෙලා!!!" ඔහුගේ විලාපය දෝංකාර දුන්නේය.
 
එහෙත් ඔහුගේ හොඳම මිතුරා වූ වොලස්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. දරුණු ලෙස පැද්දෙමින් තිබූ නෞකාවේ සිට කඹයක් ජෝෂ් වෙත දැමීම පවා තම ජීවිතය අනවශ්‍ය අවදානමක හෙලීමක් ලෙසය වොලස්ට පෙනුණේ! ඔහු එවන් අවදානමකට මුහුණ දීමට සුදානම් නොවීය.
 
වොලස් දියෙහි ගිලෙමින් සිටි මිතුරා අතහැර නැව තුළට යාමට හැරුණා පමණි. සාගර දිය කැළබෙන හඬක් ඇසිණි.
 
                                                             ***********
 
හැට හැවිරිදි කපිතාන් වරයා  හති ලමින් සුදුමැලි වූ තරුණ නාවික ජෝෂ්ව නැවෙහි  ලී පොළව මත දිගා කරවීය. අනතුරුව ඔහු තරුණයාට  කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නේය. ඔහුගේ තෙත ඇදුම් ඉවත් කර අලුත් ඇඳුම් ඇදගන්නා ලෙස නියම කළ කපිතාන්වරයා ඔහුගේ කුටියේ ගිනි උදුන අසලට වෙවුලමින් සිටි තරුණයාගේ පුටුව ලං කළේය.
 
" කපිතාන් මම ඔබට ණයගැතියි...කොහොම ස්තුති කරන්නද මන්ද මාව බේර ගත්තට .මම ඔබ ගැන හිතාගෙන හිටියා වැරදියි"
 
" ඕක ස්තුති කරන්න දෙයක් නෙවෙයි"
 
" කපිතාන් මම ප්‍රශ්නයක් අහන්නද?"
 
" ඔව් අහන්න ළමයා!"
 
" කපිතාන් හරිම නිර්භීතයි .සුරුට්ටුවක්වත් නොබොන කපිතාන්ව තරුණ අපට පෙනුණේ හරිම දියාරු චරිතයක් වගේ. ඇත්තටම කපිතාන් සුරුට්ටුවක්වත් බොන්නේ නැත්තේ ඇයි?"
 
" ඒක දිග කතාවක්" දකුණු කකුලේ දරුණු පිළිස්සුම් කැළලක් සෙමින් සුසුම්ලමින් පිරිමදින අතර ඔහු සිය කතාවට මුල පිරුවේය.
 
 
"1868 අවුරුද්ද කවදාවත් අමතක නොවෙන අවුරුද්දක්. මම එතකොට අවුරුදු තිහක තරුණ කඩවසම් ප්‍රංශ නාවිකයෙක්. මම ආදරය කළේ ලුවී රජ පෙළපතටත් දුරින් නෑකම් කියන ඇන්ජෙලා ට . මගේ කඩවසම් පෙනුම නිසාමයි මට ඒ වගේ ධනවත් තරුණියකට ලං වෙන්න ලැබුණේ. අපේ සම්බන්දෙට ඇන්ජලාගේ පවුලෙන් තිබ්බ දරුණු විරෝධය නිසා පමා වෙන ඒක නුවණට හුරු නැති බව මට තේරුණා.
 
ඇයත් මට පණ වගේ ආදරය කලා. ඇය අකැමැති වුණේ මගේ කෙළවරක් නැති දුම් බීමට විතරයි. මන් කිව්වා ඒක අපේ රස්සාවට ආවේණික පුරුද්දක් බව. ඒ වෙලාවට ඇය නොසතුටෙන් වගේ මන් දිහා බැලුවේ
 " දෙවියන්ගේ නාමෙට ඔය පුරුද්ද ඇත අරින්න පිලිප් , එකෙන් ලොකු විනාසයක් වෙයි" කියන්න වගේ.
 
"1868 දෙසැම්බර් විසි හතර වෙනිදා රෑ ප්‍රංශයේ සාන්ත මයිකල් දෙව් මැදුර ගාවට ඇන්ජලා ආවේ එයාගේ පවුලේ අයත් එක්ක අශ්ව කරත්තෙකින්. දේව මෙහෙය අස්සේ සෙනග අස්සෙන් රිංගල මම ඇයවත් අඩ ගහගෙන වරායට ආව කුලී අශ්ව රථයකින්. ඊට පස්සේ අපි මම රාජකාරී කරපු "ඕෂන්  ක්වීන් " තෙල් ප්‍රවාහන නෞකාවට රිංග ගත්ත. කපිතාන් මගේ සැලසුම කලින් දැන ගෙන හිටියා. ඔහු මගේ ප්‍රේමයට අකුල් හෙළුවේ නැහැ. අපි නැංගුරම් ලන්න නියමිත වෙලා තිබුණේ සවුත්හම්ප්ටන් වරායෙන්"
 
" ඊට පස්සේ?"
 
" ඒක අපූරු වීරචාරිකාවක් වෙන්න තිබ්බා..එත් ඒක එහෙම වුණේ නැහැ... නත්තල් දා රෑ අපි හරියටම යාත්‍රා කරමින් හිටියේ ජිබ්‍රොල්ට්‍රා සමුද්‍ර සන්ධිය හරහා. නත්තල් සීතල අඩු වෙන්න විස්කි බෝතලයක්  එක්ක අට වෙනි සුරුට්ටුවත් බීලා ඉවර උනාට පස්සේ මම ඇන්ජෙලා ට වෙන් කරලා තිබ්බ කාමරේ පැත්තට ඇවිද ගෙන ගියේ බාගෙට පිච්චිලා අවසන් වුනු සුරුට්ටු කොටය අහකට විසි කරමින්...
 
ඒක හරියට හීනයක් වගේ.. තෙල් ගබඩාව පැත්තෙන් ලොකු පිපුරුම් සද්දයක් ඇහුණා... ඒ දිහා බලන කොට  මං දැක්කේ එකම ගිනි ජාලාවක් විතරයි!
 
ගින්න පටන් අරන් තිබුණේ හරියටම මම සුරුට්ටු කොටය විසි කරපු තැනින්!!!!
 
 
ඇන්ජෙලාගේ කාමරේ තිබ්බේ තෙල් ගබඩාව ලගින්මයි. අනික් නාවිකයෝ මුහුදට පනිද්දීත් ගිනි නිවන්න උත්සහ කරද්දීත්  මම ගිනි දළු අතරින් දුව ගෙන ගියා.. ඇන්ජෙලගේ ලකුණක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒ කාමරේ එකම ගිනි ජාලාවක්!
 
මගේ ජිවිතේ ආරක්ෂා වුණේ මොන හාස්කමක් නිසාද මම දන්නේ නැහැ. මට මගේ ජිවිතේ බේරුනත් මගේ පණ වෙලා හිටියා ඇන්ජෙලා නැති වුණා. එකට වග කියන්න ඕනේ මම කියල මන් දන්නවා. ඒ නිසා මන් සදහටම දුම් බීම අත් ඇරියා. දුම් බොන්නේ නැතුව වුණත් හොඳ නාවිකයෙක් වෙන්න පුළුවන් ! හැමදාම ජිබ්‍රෝල්ට්‍රා හරහා යාත්‍රා කරන කොට මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා.. එහෙම වෙන්නේ මටයි ඇන්ජෙලාටයි වුනු දේ තවත් තරුණ නාවිකයෙකුට  වෙනවා වලක්වන්න කියලයි මට හිතෙන්නේ "
 
මහලු කපිතාන්වරයා දිගු සුසුමක් හෙලා කතාව අවසන් කළේය.
 
 
                                                     නිමි
 

Tuesday, September 30, 2014

යක්ෂයාගේ කැමැත්ත


 



      ලිම්පොපෝ ගංගාව අසබඩ ලී බංකුවක් මත වාඩි වී හුන් එකොළොස් වියැති ෂෝන් ගල් කැටයක් විසි කර නැගෙන තරංග දෙස ආශාවෙන් බලා සිටියේය. ජල තලයක් දකින හැම මොහොතකම මට මගේ උද්වේගකර නාවික ජීවිතය සිහියට නැගේ.

 " අනේ සීයේ කතන්දරයක් කියන්නකෝ?" ඔහු සිව්වෙනි වතාවට යළිත් ඇවිටිලි කළේය.

 ෂෝන්ගේ කතන්දර ඇසීමේ නොතිත් ආශාවේ නිරන්තර ගොදුරක් බවට පත් වූයේ මාය. ඔහු වයසින් වැඩෙත්ම මෙම ආශාව තුරන් වේ යැයි අපේක්ෂා කළ ද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා වල සිට ශේක්ස්පියර්ගේ කතා දක්වා  මා දන්නා සෑම කතාවක්ම ඔහුට කියා දී තිබුණු අතර ඒ සියල්ල කොතරම් හොඳින් ඔහුගේ මතකයේ ගබඩා වී තිබුණේද කිවහොත් එකම කතාව දෙවරක් කියා ඔහුව මුලා කිරීමට මට නොහැකි විය. එහෙයින් අවසානයේ මම ඇලෙක්ස් කාට්රයිට් නම් මගේ ජීවිතයේ එක අපූර්ව කතාන්දරයක් ඔහුට කීමට හරි බරි ගැසුණෙමි.

 

                                        ********************

             ග්ලොරියස් ක්වීන් නෞකාව කේප් ටවුන්හි නැංගුරම් හෙළා මාසයක් ඉක්ම ගොස් තිබිණි. අප්‍රිකාව සිසාරා තම බලය විහිදුවමින් සිටි එක්සත් රාජධානිය අඳුරු මහාද්වීපයේ නිදන්ව තිබූ රත්රන් හා දියමන්ති ආකර වලින් සිය වාසනාව  ඉහළ නංවා ගනිමින් සිටියාය. ග්ලොරියස් ක්වීන් නැවට පැවරී තිබුණු රාජකාරිය නම් ඒ වස්තු සම්භාරය සුරක්ෂිතව එංගලන්තය වෙත රැගෙන යාමයි.

 නැව් තට්ටුවේ එහා මෙහා ගමන් කරමින් බර කල්පනාවක සිටි ඇලෙක්ස්, කම්කරුවන් පිරිසක් මිනිසෙකුගේ සිරුරටත් වඩා විශාල ලේ තැවරුණු ගෝනියක් නැවට පටවනු දුටුවේය.

 " මේ මොකද්ද?" ඔහු කුහුල මැඩ ගත නොහැකි තැන  කම්කරුවෙකුගෙන් ඇසුවේය.

 " මේ තමා අප්‍රිකාවේ කළු පර්වතයේ අවසානය"

 ඇලෙක්ස් අමාරුවෙන් හුස්මක් ඇල්ලුවේය.

 " ඒ කිව්වේ ....අර..?"

 " ඔව් අප්‍රිකාවේ කළු පර්වතය කියල හැදින්වුව  අර සද්දන්ත හස්ති රාජයාගේ අවසානය තමා මේ.... සර් මේක කිව්වට අමනාප වෙන්න එපා.සුදු මහත්තුරු  කොහොම ඒ සතාට වෙඩි තිබ්බද මන්ද. මනුස්සයෙකුට ඒ වැඩේ  කරන්න බැහැ.කපිතාන් වොල්ටරුත් හිටියා එතන. ..එයාගේ වෙඩිල්ලට තමා සතා මැරුණේ.මේ දළ ගෙනියන්නේ රජ පවුලට ආභරණ හදන්නලු." කළු ජාතික කම්කරුවාගේ දෙනෙත් කඳුලින් බරව තිබිණි.

 "අධිරාජ්‍ය දිගු කල් දිනේවා!"

 ජැටියේ සිටි සුදු ජාතිකයන්ගේ ප්‍රීති ඝෝෂාව ඇලෙක්ස් කාට්රයිට්ට පැහැදිලිව ඇසුණි.

 "ගම් බිම් සේරම විනාසයි. තමුන්නාන්සේලාගේ රටේ මිනිස්සු තවත් පණක් නහන්නේ කිසිම බයක්  නැතුව! මිනිස්සු මරන්නෙත් සත්තු මරනවා වගේ."

 කම්කරුවාගේ වචන ඇලෙක්ස්ගේ හදවත පසාරු කරගෙන ගියේය.

 කපිතාන් වෝල්ටර් ආපසු නෞකාව වෙත පැමිණියේ කිසිවෙකුට මරා දැමිය නොහැකි හස්තියෙකු  ලෙස නම් දරා තිබූ ඒ දළ ඇතා දඩයම් කිරීමෙන් ප්‍රීතියට පත්ව ය.

"ඇලෙක්ස් දන්නව ද අද මම...... "

"ඔව්  මට ආරංචි වුණා"

"කෝ ඉතින් මට සුබ පතන්නෙ නැද්ද? "

"ඒක යක්ෂ සාප වැදෙන අපරාධයක් කපිතාන්"

"පිස්සු බහුබූත! "

ඉහළට නවා තිබූ කමිස අතෙන් නිරාවරණය වූ බාහුව දෙසට ඇඟිලි යැවූ ඇලෙක්ස් කඟවේනෙකුගේ රුව සහිත පච්චය සෙමින් පිරිමැද්දේය. 

 

                                                ***********

        ඒ සැප්තැම්බරයේ අඳුරු වැහිබර රාත්‍රියකි. අත්ලාන්තික් සමුදුර  සිසාරා හමන මුහුදු සුළං වල ද වෙනදාටත් වඩා චණ්ඩ බවක් තිබිණි.   ග්ලොරියස් ක්වීන් නැව දරුණු ලෙස පැද්දෙමින් ගමන් ගත්තාය.

දරුණු ලෙස ගිලන් වූ කපිතාන් වෝල්ටර් හට යන්තමින් හෝ  හිස කෙළින් කර ගත හැකිවුයේ සති දෙකකට පසුවය. එතෙක් ඔහු වෙනුවට සුක්කානම හසුරුවන ලද්දේ ඇලෙක්ස් නැමති තරුණ විය නොඉක්මවූ ඔහුගේ දෙවෙනියාය.

අසනීප වී සිටි කාලය පුරාම ඔහුගේ සුව දුක් සොයා බැලුවේ ඇලෙක්ස් ය. මේ තරුණයා හැරුණුකොට නැව තුළ කිසිදු මිනිස් පුළුටක් ගිලන්ව සිටි කාලය තුළ කපිතාන්වරයා නොදුටුවේය.

නැව පිළිබඳ බලාපොරොත්තු කපිතාන් වෝල්ටර්ගෙන් බොඳ වී ගියේ නැවේ ගමන් මඟ නිරීක්ෂණය කරන විටය.දුරදක්නයෙන් පරක් තෙරක් නොපෙනෙන සාගරය දෙස බැලූ  ඔහු හට  ගොඩබිමක සේයාවක් වත් නොපෙනිණි.

 " කපිතාන් අපිට කොතැනද වැරදුණේ?" ඒ ඔහුගේ දකුණත හා සමාන සහායකයාගේ කටහඬයි.

 " මට තේරෙන්නේ නැහැ. අවුරුදු විස්සක් තිස්සේ මේ මුහුදු රස්සාව කරන්නේ. එත් මේ වගේ දේකට මම කවදාවත් මුහුණ දීල නැහැ. මාලිමා වල දිශාවන් හිටි ගමන් වෙනස් වෙනවා. කාලගුණයත් හරිම අමුතුයි. හුළඟ හමන්නෙත් එකෙක දිසා වන් වලින් නුපුරුදු තාලෙකට.මම අසනීප වෙලා හිටිය ටිකේ මොනවා වෙලාද මන් දා"

 ඔහු බැරෝමීටරය පරීක්ෂා කර ආපසු පැමිණියේ පෙරත් වඩා අවුල් වූ සිතකිනි.

 " අපි මේ ඉන්නෙ කොහෙද?  "

 "සුබ ප්‍රාර්ථනා තුඩුව කිට්ටුව "

 " එහෙම වෙන්නෙ කොහොම ද? අපි කේප් ටවුන් වලින් පිටත් වෙලා දැන් සතියකටත් වැඩියිනෙ "

 " කපිතාන් මම දන්නවා අපට කොතැනද වැරදුණේ කියල"

 ඔහු පුදුමයෙන් තරුණයා දෙස බැලුවේය.

 " අපි ඒ මිනිස්සුන්ගේ රටවල් යටත් කර ගන්නවා විතරක් නෙවෙයි. .. ඒ රටේ සම්පත් සේරම සූරා කනවා. දේපල මංකොල්ලකනවා. ඒ පාපෙට අපි සේරම හවුල්කාරයෝ. තව දුරටත් මේ දේ වෙන්න ඇරලා මට බලාගෙන ඉන්න බැහැ. එංගලන්ත කාරයින්ට නිතර අමතක වෙන දෙයක් තියනවා කපිතාන් ! ඒ මොකද්ද දන්නවද?"

 ඔහු පිළිතුරු නොදී කැළඹීමට පත්ව ඔහේ බලා සිටියේය.

 " එංගලන්ත කාරයින්ට අමතකයි උන් නැව් වලට බඳවා ගන්න මිනිස්සුන්ගෙන් හරි අඩක්ම ඔය පිස්සු අධිරාජ්‍යවාදයෙන් බැට කාපු විදේශික සම්භවයක් තියෙන මිනිස්සු බව. ග්ලොරියස් ක්වීන් නැව වුණත් එහෙමයි"

 " ඇලෙක්ස් තමුසෙට මොන යක්ෂයෙක් වැහිලද?"

 "මෙච්චර කල් යක්ෂයාගේ කැමැත්තට ඉඩ දුන්නු එකයි වැරැද්ද!" ඔහු ගුගුළේය.

 "කපිතාන් ලෙඩ වෙලා හිටිය කාලේ ඇතුළත නැවේ ගොඩක් වෙනස්වීම් වුණා. "සවුත්හැම්ප්ටන් වරායෙන් ගොඩබාන්න තව කිසිම වස්තුවක් ඉතුරු වෙලා නැහැ කපිතාන් වෝල්ටර් !"

 "මොනවා?"

 තරුණ නාවිකයාගේ ශක්තිමත් පා පහරකින් විවර වූ ගබඩා කාමරයේ දොරෙන් කපිතාන්වරයාට දැක ගත හැකි වුයේ සියලු වස්තුව අතුරුදහන් වී ඇති බවයි.

 " දෙවියනේ? කොහොමද එහෙම වුණේ?"

 " අපි ඒ වස්තුව සැබෑ හිමිකරුවන්ට බෙදා දුන්නා. මේ වැඩේ රහසිගතව අරපරිස්සමට කරන්න ඕනේ නිසයි කපිතාන්ව ලෙඩ කරවන්න වුණෙත්. ඒ අනුව පහුගිය සති දෙකක කාලේ අපතේ ගියේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මම කල්පනා කරලා සැලසුම් කළ ඒ හීනය ඉෂ්ට කර ගන්න පුළුවන් වුණා. මේ අද්භූත කාලගුණ විපර්යාසෙත් අපට වෙස් වළා ගත්ත ආශිර්වාදයක් වුණා."

 " ඉංග්‍රීසිකාරයෙක් වෙලා තමුසෙට ලැජ්ජාවක් නැද්ද මේ වගේ වැඩක් කරන්න කාට්රයිට්!"

 " හම සුදු පාට ඉංග්‍රීසි නමක් තියන  හැම මිනිහෙක්ම ඉංග්‍රීසිකාරයෙක් නෙවෙයි. මගේ ඇඟේ තියෙන්නේ දකුණු අප්‍රිකාවේ බන්ටු ගෝත්‍රිකයන්ගේ ලේ."

 කපිතාන්වරයා ඉණෙහි වූ පතරොම් තුවක්කුව ඉවතට ගත්තේය.

 " ඔය තුවක්කුවත් එංගලන්ත අධිරාජ්ජේ වගේම හිස්. ඕකේ උණ්ඩ අයින් කරලා තියෙන්නේ" ඉනික්බිති ඔහු සිවුරුහන් කළේය.

 "තමුසෙ නම් මහ යක්ෂයෙක්!"

" බෝට්ටුව ලෑස්ති කරන්න" ඇලෙක්ස් අණ කළේය.

 "මමයි මගේ හවුල්කාරයොයි  මේ බෝට්ටුවෙන් ආපහු දකුණු අප්‍රිකාවට යනවා.  ඒක ටිකක් අවදානම් තමයි. රට වෙනුවෙන් යුතුකමක් කරලා දැනෙන සතුටින් හිත පිරෙනකොට ඒ අවදානම දැනෙන්නේවත් නැති තරම්. එහෙනම් සුබ ගමන් කපිතාන්තුමා ! දෛවය විසින් ඔබට කැමති දඬුවමක් දෙයි. ඔබේ අවසාන මරණ වරෙන්තුව ලියන්න මට අයිතියක් නැහැ .එංගලන්තේ ජිවත් වෙන එකත් අපිට පිළිකුල්" ඔහු උගුර පාදා සාගරයට කෙළ ගැසුවේය.

                                                         ************

"ඉතින් ඊට පස්සේ?"

 " ඉතින් ඊට පස්සේ ඒ ඇලෙක්ස්ට මුරණ්ඩු, නරකම නරක ෂෝන් කියන මුණුබුරෙක් ලැබුණා"

බොරු අමනාපයක් මවා පාමින් ෂෝන් මොහොතකට නිහඬව හිදී.

 " මට සීයා ගැන ගොඩක් ආඩම්බරයි!" ඔහුගේ දෙනෙත් බබළයි.

 මම  ඔහුගේ අතින් අල්ලාගෙන නිවස දෙසට පිය මැන්නෙමි.

 

 

Sunday, August 31, 2014

මන්දාරම් අඳුර මැදින්


"දැන් උඹ මොනවද කරන්න හිතා ගෙන ඉන්නේ. ඉස්කෝලේ ලොකු මහත්තයා නම් කිව්වේ උඹව ටවුමේ ලොකු ඉස්කෝලෙට යවන්න කියලා."  අඳුරු කුටියට වැටෙන සිහින් එළිය දෙස බලා ගෙන තාත්තා අසයි.
 
"එච්චර සල්ලියක් නැහැනේ තාත්තේ . අනික නංගි ගැන බලන්නත් එපැයි. මම ගමේ ඉස්කෝලෙටම යන්නම්. හොඳ පන්තියකට දෙකකට ගියොත් මට විභාගේ පාස් වෙන්න පුළුවන් වෙයි"
 
"උඹේ කැමැත්තක් . අපිට ඕව ගැන තේරුමක් නැහැ නෙවෙ"
 
" කොල්ලට දොස්තර මහත්තැන් කෙනෙක් වෙන්න ඕනමයි කියන්නේ. ඕක ගොඩක් අමරුයිලු. කලා කොලා නම් එච්චර නැහෙන්නේ නැතුවම විස්ස විද්‍යාලේ යන්න තිබ්බ" අම්මා කියයි.
 
" කොලුවගෙ ආසාව තියෙන දේ එපැයි කොරන්න දෙන්න" තාත්තා කියයි.
 
"මිනිහෙක්ගේ හද ගැස්ම අදුනගන්න පුළුවන් ක්‍රම දෙකයි මේ ලෝකෙ තියෙන්නේ. එකක් කලාකාරයෙක් වෙන එක අනික දොස්තර කෙනෙක් වෙන එක . කලාකාරයෙක් වෙලා අම්මලාව බලාගන්න මට බැහැ. ගොඩක් කලාකාරයෝ මිනිය තියන්නවත් තැනක් නැතුවයි මැරෙන්නේ. අම්මල ඔය දුක් වින්ද ඇති. මට ඕනේ අම්මලාව මේ නරකාදියෙන් බේර ගන්න. එකට ටිකක් මහන්සි වෙන්න වුණාට කමක් නැහැ. දුක් විදලා ලැබෙන දේයි ගොඩක් වටින්නේ."


බස් රථයේ කවුළුවෙන් හීතලම හුළඟක් හමා එන්නේ මගේ හිසකෙස් තවත් අවුල් කරමිනි. වේගයෙන් ගමන් වංගු අතරින් ගමන් ගන්න බසයේ කෙළවරක වාඩි වී හුන් මට මීට සය වසරකට පෙර  අම්මා සහ තාත්තා පැවසු ඒ වදන් සිහියට නැගේ. මගේ දෙනෙත් තෙත්ව ඇති බව දැනෙන විට  මං කඳුළු සෙමින් පිසදා ගනිමි. මම ඇදුම් බෑගය තවත් තදින් තුරුළු කර ගනිමි. මගේ පළමු පත්වීම මන්දාරම් නුවර ග්‍රාමීය රෝහලටය. අසුනේ ඒ මේ අතට බර වන විට  ඇදුම් බෑගයේ ඇති වෙද නළාවේ ආදරණීය ස්පර්ශය මට දැනේ.

අලුත් පත්වීම ලැබ ඒ නාදුනන පෙදෙසට ගිය පසු මගේ ළයාදර සේවකයා වූයේ අප්පුය. ඔහු මුඛරි කම සහජයෙන් මෙන් උරුම කර ගත්තෙකි.

" මේ පැත්ත හරිම හාස්කම් තියෙන පැත්තක් සර් .අපේ රාවණා රජ්ජුරුවෝ සීතා දේවිව හිර කරලා තිබ්බේ මේ පළාතේ කියලයි ගම්මු කියන්නේ.  ඒ ගොල්ලෝ රාවණා රජ්ජුරුවන්ව දෙවියෙක් වගේ අදහනවා "

" වෙන කෙනෙක්ගේ බිරිඳක් පැහැරගෙන ඇවිත් හිර කරලා තියාගෙන ආදරේ ලැබෙයි කියල බලන් හිටියා මිනිහෙක් මට පේන්නේ මෝඩයෙක් හැටියට මිසක් දෙවියෙක් හැටියට නෙවෙයි අප්පු"

"අම්මෝ සර් ඔය කතා කියන්න එපා. රාවණා රජ්ජුරුවන්ගේ අඩවිය මේක"

මම ඔහුගේ අනුවණකම ගැන සිතමින් තනිව සිනාසෙමි.

                                                   *************


                                   අලුත් තැනට පැමිණ දින තුනක් ගත විය.එදින තරමක් මීදුම පැවතියද උදෑසනින්ම ඇවිදින්නට යාමට මට සිත් විය. කුඩා කල පටන් සීත කාලගුණය මට හොදින් ඔරොත්තු දෙයි. අප්පු සැකසූ කිරි කෝපි කෝප්පය උගුරට දෙකට පානය කළ මම මීදුම අතරින් කඳුකර මායිම ඔස්සේ පිය මැන්නෙමි.

තවම හිරු නැගී නොමැති මුත්, පෙරදිග අහසේ වුයේ චමත්කාරජනක ප්‍රභාශ්වර මන්දාලෝකයකි. හෙල්මළු කුඹුරු වලට එපිටින් මීදුම අතරින් රන් කෙඳි සේ අරුණාලෝකය පතිත වෙයි. මීදුම මැදින් කිසිවක් පැහැදිලිව නොපෙනුණනද මට අඩි කීපයක් ඉදිරියෙන් ගමන් ගන්න කාන්තාවකගේ රුවක් මගේ නෙත ගැටිණි.

විගසින් කඳුකර මාර්ගයේ  එක කෙළවරක  සිට වේගයෙන්  පැමිණි ලොරි රථයක් මහා හඩින් තිරිංග තද කරන හඬ මට ඇසිණි.ඉන් පසු එය මා සිටි ස්ථානයද පසු කර වේගයෙන් ධාවනය විය.

කුමක් හෝ හේතුවක් නිසා අනතුරක සේයාවක් මට ඉව වැටිණි.  ඉන්  මොහොතකටවත් නොනැවතුණු මම ශබ්දය පැමිණි දිසාවට , මීදුම කපා ගෙන වේගයෙන් දිව ගියෙමි.

මාර්ගය කෙළවර වූ තැන බිස්ස මත තරුණියක් වැටි සිටියාය.  අනතුරින් අයගේ නළලේ වම පස දරුණු ලෙස තුවාල වී තිබිණි .වෙද නලාව සාක්කුවේ තිබීම ගැන ස්තුතිවන්ත වූ මට ඇය තවමත් ජීවතුන් අතර බව පසක් විය. ඇය තවත් පියවර කිහිපයක් පසුපසට විසිවී ගියා නම් ප්‍රපාතයෙන් වැටී මිය යන්නට ඉඩ තිබිණි.

                                                ****************


මගේ ප්‍රතිකාරයෙන්  ඇය යම් ගුණයක් ලැබුවාය. මෙවැනි දුෂ්කර පළාතක දුක් විදින තරුණියකගෙන් අපේක්ෂා කළ නොහැකි අන්දමේ රූමත් සහ බුද්ධිමත් පෙනුමක් ඈ කෙරෙන් දිස් විය. මින් පෙර සරසවියේ සය වසර තුළදී පවා නොහැගුණ හැඟුමකින් මගේ සිත පිරී ගොස්ය. ඇයගේ තත්වය නරක අතට හරි අයව නගරයේ රෝහලට මාරු කර යැවීමට සිදු වේ යැයි මා තුල බියක් විය. ඒ බියෙහි මුල ඇත්තේ ප්‍රේමයක් බව තේරුම් ගැනීමට මට අපහසු නොවීය.
 
මා දකින විට වේදනාවෙන්  තැවුණු අයගේ දෙනෙත් වල කාන්තියක් පෙනේ.
 
I swear by Apollo, the healer, Asclepius, Hygieia, and Panacea and I take to witness all the gods, all the goddesses, to keep according to my ability and my judgment, the following Oath and agreement....
 

අවුරුදු සිය ගණනක් පැරණි හිපොක්‍රටික් දිවුරුම මගේ මනස තුළ දෝංකාර දෙයි. ඇය මගේ රෝගියාය. නමුදු කිසිවක් නොදැන ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති වීම නිසාදෝ මට මා ගැනම බියක් දැනුණි.

 " සර්ට ඕක තම මම කියන්නේ උදේ පාන්දර ඇවිදින්න යන්න එපා කියල" මේ සිදුවීම දැනගත් වහාම අප්පු කිවේය. ඔහුගේ මුහුණෙන් පල වුඋයේ භීතියට පත් ලකුණුය.

 " ලෙඩාගේ කාට හරි මේ ගැන දන්වන්න වෙයි"

 " වැඩක් නැහැ සර්. පියුමි ඉස්කෝලේ නෝනට කවුරුවත් නැහැ. එයා අර ළමා නිවාසේ තමයි පොඩි කාලේ ඉදන් හැදිලා තියෙන්නේ "  ඔහු නිල්වන් කඳු යාය පාමුල ඇති ගොඩනැගිල්ලකට ඇත දිගු කරයි.

 "හරිම හොඳ ඉස්කෝලේ නෝනා කෙනෙක් . ගමේ ඉස්කෝලේ හරියට වැඩ කරන කෙනෙක්ට ඉන්නේ එච්චරයි. මේ දවස් වල ළමා නිවාසේ ලලිතා නෝනා ඉස්කෝලේ නෝනට මනමාලයෙක් හොයනවා. ඉස්කෝලේ නෝනාගේ ඕවට කිසි උනන්දුවක් නැහැ". 

 " හැබෑට?" මගේ යටි සිත සතුටින් පිනුම් ගසයි.

 "තාම විසි තුනයිනේ මාමේ  කියල කියනවා මන් ඔය ගැන කියද්දී. මොනවා වුණත්  හොඳ ගුණ යහපත් මහත්තයෙක් හම්බ වෙන්න ඕනේ "

                                                  ************
කාලය වේගයෙන් ගෙවී ගොස්ය. නංගිගේ මංගල්ලයෙන් පසුව යුතුකම් ඉෂ්ට කළ වැඩිමහල් සොහොයුරෙකු ලෙස  මට වෙනදාටත් වඩා සැහැල්ලුවක් දැනේ . බරපතල රෝගීන් කිසිවෙකු නොසිටීම නිසා  ඒ කටයුතු කර ගැනීම මට පහසුවක් විය.

" දැන් පුතත් පිළිවෙලක් වුනොත් නරකද?" අම්මාගේ හැම ලියුමකම එම වාක්‍යය නොවැරදීම තිබේ.

              මා නංගිගේ මගුල සදහා මන්දාරම් නුවරින් පිට වූ දින පියුමි සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබිණි. එක දිගට නිවාඩු ගැනීමට මට සිදු වුණේ අන් විකල්පයක් නොවූ හෙයිනි.මේ බව මට දැනගන්නට ලැබුණේ මසකට පසු ආපසු රෝහලට පැමිණෙන අතරමගදී අයව හමු වූ  විටය. 
         මට ඒ ගැන කිසිත් නොකියා මගේ රෝගියා ගැන එවන් තීරණයක් ගැනීම නිසා මම රෝහලේ ජේෂ්ඨ වෛද්‍යවරයා සමග අමනාපයෙන් පසු වුණෙමි.  නමුත් ඇය කීවේ ඇය වෙනදාටත් වඩා සුවෙන් පසුවන හෙයින් ඔහුගේ තීරණයේ වරදක් නැති බවය.
ඔහු විශ්‍රාම ගැනීමට දින කිහිපයක් පමණක් පවතී හෙයින් නිකරුනේ මේ ගැන වාද කර සිත් රිදවා ගැනීමට මම කැමති නොවීමි. රෝහලේ අනික් කිසිවෙකුත් අප්පුවත් ඉන් පසුව පියුමි ගැන වචනයක්වත් කතා නොකළහ.

පියුමි සහ මා අතර ඇති සම්බන්ධය ගැන කිසිවක් කිසිවෙකුටත් නොපැවසීමට මම වග බලා ගතිමි. කිසිවක් නොකීවද අප්පු හැසිරෙන්නේ තතු සියල්ල දන්නා කෙනෙකු පරිද්දෙනි.
     මට හැම දිනකම ඇයව මුණ ගැසෙන්නේ  ඇය මුලින්ම දුටු කඳුකර මාවතේ ඒ  වෙලාවටමය.  අප එතන සිට තණකොළ පලස මත වාඩි වී අල්ලප සල්ලාපයේ යෙදෙමින් හිරු නැගෙනයුර බලා සිටිමු. නිකරුනේ ගම්මුන්ගෙන් කතා අසා ගැනීමට අප දෙදෙනාටම අවශ්‍ය නොවීය. පෝය දින වල මට ඇයව මුණ නොගැසෙන්නේ ඇය උදෙන්ම සිල් ගැනීමට යන නිසාය.

 "එදා ඔයා නොහිටින්න මම මැරිලා ගොඩක් කල්" අයගේ කටහඬ සිහින්ය. හිත නිවනසුළුය.

 " ඔයා මැරෙන්න බයද?" මම අසමි.

 " අපි ආදරය කරන  දේවල් මැරුණට  පස්සේ හරි ලැබෙනවානම් මම මැරෙන්න බය නැහැ." ඇය සිනා සෙමින් කියන්නීය. සාහිත්‍ය පොත් මත ජීවත් වන ඇයගේ සමහර පිළිතුරු මට නොවැටහේ.

 

                                 ***********

 මගේ සිත පුරා පිරී පවතින්නේ ඉමහත් සතුටකි. තවත් මෙය ඔහුගෙන් වසන් කර තැබීමට මගේ සිත නොදෙයි.

 " අප්පු මට දෙයක් කියන්න තියෙනවා "

 ඔහු නෑබිළිය පසෙක ලා මා දෙස විස්මය මුසු බැල්මක් හෙළීය.

 " මං පියුමි මිස්ව බදින්නයි යන්නේ"

 අප්පුගේ නළලෙහි හා කම්මුලෙහි මස් පිඩු අවතාරයක් දුටුවාක් මෙන් වේගයෙන් සැලෙන්න විය.

 " මො...  ක... ක්...?"

 "මං පියුමි මිස්ව බදින්නයි යන්නේ"

 " ඇයි සර්.....මීට මාස තුනකට කලින් සර් නංගිගේ මංගල්ලෙට ගමේ ගිය දවසේ....... පියුමි මිස් නැති උනානේ..."

 
" සමහර දේවල් මැරුණට  පස්සේ හරි ලැබෙනවානම් මම මැරෙන්න බය නැහැ."

 ඇයගේ කටහඬ හීනෙන් මෙන් ඇසෙද්දී මම ක්ලාන්ත වුණෙමි.

 

                                                   සමාප්තයි.!

 

 

 

 

  

 
 
 
 
 
 
 
 

Tuesday, August 5, 2014

ඡායා

2010/08/06
මාතලේ

තිසල්ගේ සිතෙහි වූයේ පෙර කිසිදිනක නොදැනුණු අමුතුම සතුටකි. සත්විසි වසක් ගෙවූ කටුක තනිකඩ දිවිය නිමා කරමින් සැබවින්ම යහපත් ගුණදහම් වලින් හෙබි රූමත් තරුණියක වන තිලක්ෂි හා අතිනත ගන්නා දිනය  තෙක් ඔහු  සිටියේ නොඉවසිල්ලෙන් ය. මුල් ඇඳුම නිසා ඔහුට වෙනදාටත් වඩා කඩවසම් පෙනුමක් ලැබී තිබුණි.

"අයියේ ස්ටුඩියෝ එකෙන් කෝල් එකක් දුන්නා කට්ටිය මනමාලිගේ ගෙදරට ගියා කියල"

"අහා හරි!"  ඔහුගේ මුහුණ සතුට උතුරා යන කැඩපතක් බඳු විය.

" ඔන්න ෆොටෝ වල මොකක් හරි අවුලක් උණොත් මල්ලි තම වග කියන්න ඕනේ. මන් ඔය ස්ටුඩියෝ ඒක දන්නෙත් නැහැ. ඔයාමනෙ සේරම ලෑස්ති කරේ" තිසල් යහළු මනමාලයා ලෙස සැරසී හුන්  තම බාල සොහොයුරා දෙස බලමින් තරමක් තද ස්වරයෙන් කීය.

"ඕකනේ අය්යට මාව විශ්වාස නැහැ නෙ. "ස්ටුඩියෝ වාසු" එකේ කැමරාමන් නම් එච්චර වයස කෙනෙක්  නෙවෙයි. ගොඩක් තරුණ කෙනෙක් . එත් එයාගේ ෆොටෝ වල පුදුම කලාත්මක ගතියක් තියෙනවා. මමත් එයාව අදුන ගත්තේ අපේ කැම්පස් එකේ කලා උළෙලේදී. නුවර පෙරහැරේ එය අරන් තියෙන ෆොටෝ දැකලා තියෙනවනම් අය්ය ඔහොම කියන්නේ නැහැ.ඇල්බම් දෙක අතට ලැබුණාම අය්යට තේරෙයි."

තිසල් කිසිවක් නොකියා සිනාසුණේය.

"මිනිහ කිව්වේ පළවෙනි ෆොටෝ කීපය අතරේ මනමාලිට තැල්ල තියෙන එක නැත්තම් වැඩක් නැහැ කියලයි."

"ඔව් මල්ලි ඒක මටත් පස්සෙයි කල්පනා උනේ"

"ඔව්වා ඔහොම තමා ..බැන්දයින් පස්සේ අපිවත් අමතක  වෙයි"

"අනේ යනවා යන්න!"

                                              ***************

2010/08/06
මහනුවර

                  තිලක්ෂි තමා ඉදිරියේ වූ විසල් කණ්නාඩි මේසයේ කැඩපතින් තම රුව දෙස බලා සිටියාය. නිවසින් ගෙන ආ යෝජනාවකට ඇය කැමැත්ත පළ කළේ තව දුරටත් ඇය අවිවාහකව සිටීම දෙමාපියන්ට බරක් වන නිසා මිස විවාහ වීමට ඇති කැමැත්තක් නිසා නොවේ. තිසල් යහපත් තරුණයෙකු බව ඇය අසා තිබුනද ඔහු කෙරෙහි ඇය තුළ ප්‍රේමයක් පහළ වී නොතිබිණි. නමුත් ඇය ඔහුට සුහදශීලිව සැලකුවාය.

නමුත් තිලක්ෂිගේ මව හැසිරුණේ උතුරා යන තරම් ප්‍රීතිය මුසු ආඩම්බරයකිනි. ඇය තම දියණිය සමග සේයා රූ වලට පෙනී සිටියේ ද ඒවත් උදාරම් හැඟුමකිනි.

නෙත් කැමරා කාචය දෙස යොමු වී තිබුණ ද ඇගේ සිත බොහෝ දුර ඈත මතකයන්හි පැටලී ගව් ගණන් ගොස් තිබිණි.

"හරි , දැනට එච්චරයි. ඉතුරු ටික මනමාලයා ආවහම " කැමරාකරුගේ කටහඩත් සමග ඇය යළි පියවි ලොවට පැමිණියාය.

"දුවේ මම එහෙනම් කුස්සිය පැත්තට ගිහින් පොඩ්ඩක් බලලා එන්නම්. තව වෙලා තියෙනවනේ"

තිලක්ෂි හිස වනා වාඩි වී හුන් ටීපොවෙන් නැගිට්ටා ය.

ඡායාරූප ශිල්පියා  පසෙක තබා තිබූ Canon 1Dx වර්ගයේ කැමරාව වෙත තිලක්ෂිගේ නෙත් යොමු විය. එම පැරණි උපකරණය තුලින් ඇයට කුමක් හෝ හුරුපුරුදු බවක් දැනුණි

"පොඩ්ඩක් ඉක්මන් කරන්නකෝ"  තිලක්ෂි තම සේවකයන්ට අණ කරමින් සිටි ඡායාරූප ශිල්පියා පැහැදිලිව දුටුවේ මෙවර ය.

ඔහුගේ දෙනෙත්ද ඉබේම ඇය වෙත යොමු වී තිබිණි.

"දෙවියනේ! වාසුල!!!!!!!"

                                            **************

2010/08/06
මහනුවර පොලිස් ස්ථානය

"වාසුල ඉන්දීවර, හ්ම්ම් වාඩි වෙනවා"

"මගුල් දවසේ මනාලියක් තමාට හිමි නැති වාහනයකින් පැහැරගෙන යාම මේ රටේ පවතින නීතිය යටතේ වරදක් බව තමුන් දන්නේ නැද්ද?"

"මම එයාව පැහැරගෙන ගියේ නැහැ ඉන්ස්පෙක්ටර් . එයා කැමැත්තෙන්මයි මාත් එක්ක ආවේ"

"මොකක්?"

"ඒක දිග කතාවක්"

"කියනවා බලන්න පුළුවන් තරම් කෙටි කරලා ඔය දිග කතාව"

                                                        *****************

2000/03/21
කොළඹ සරසවිය

"තිලා, මේ බලන්නකෝ, අපේ පිළිගැනීමේ උළෙල ගැන පත්තරෙත් දාල. ඔයාගේ ලොකු ෆොටෝ එකකුත් තියෙනවා batch queen කියල"

"අනේ ඇත්තමයි. ලස්සනට වැටිලා. කව්ද ෆොටෝ ඒක අරන් තියෙන්නේ ? මංවත් දන්නේ නැහැ නෙ."

"ඔය යටින් තියෙන්නේ වාසුල ඉන්දීවර කියල"

"ඒ කව්ද"

" සීනියර් අය්ය කෙනෙක්"

"ඔයා අදුනනවද සුලා?"

"ඔව් අපේ ගෙවල් පැත්තේ"

"අනේ. කොහොමහරි එයාට කියල මට මේ ෆොටෝ ඒක ඉල්ලලා දෙන්නකෝ"

"හරි හරි මම ඔයාට එයාව අදුන්නලා දෙන්නම්කො. එයා මේ දවස්වල ගැහැණු ළමයෙක් හොයා හොයා තමයි ඉන්නේ"

"ඔන්න ඉතින් විකාර කියවනව!"
                                            
                                                    ***********

2007/07/09
මහජන පුස්තකාලය


"ඔයාට ඔය ගමන නොගිහින්ම බැරිද වාසු "

"ඔය දන්නවනේ මම ෆොටෝ ග්‍රැපි වලට කොච්චර ආසද කියල. යුද්දේ දවස් වල ගන්න ෆොටෝ ගොඩක් වටිනවා. මේකෙන් මට පත්තරෙත් හොඳ තැනක් ලැබෙයි"

"එත් ඔය මරණය ඉස්සරහට යනවා වගේ වැඩක්"

"මම වෙඩි තියන්න යන්නේ නැහැ නෙ. අවදානමක් නැහැ කියල තහවුරු උනාම ෆොටෝ ගන්න ඒක විතරයි කරන්නේ. අනික දවස් පහයි නෙ "

"මන් නම් කැමතිම නැහැ යනවට"

"මන් පරිස්සම් වෙලා එන්නම්"

"මොනවා හරි උණොත්?"

"මොනවා වෙන්නද. දවස් පහකින් මන් ආපහු ඇවිත් මෙතනදීම ඔයාව හම්බ වෙනවා, මන් පොරොන්දු වෙනවා"

                                   ************

"එදා ගියා ගියාමයි මට හරිම බයානක අත්දැකීම් ගොඩකට මූණ දෙන්න සිද්ද වුණා ඉන්ස්පෙක්ටර් මහත්තයා . මාව උන් අල්ලගෙන හිර කරලා තිබ්බ. සොල්දාදුවෙක් නොවුන නිසා මාව මරන්න උන්ට උවමනාවක් තිබ්බේ නැහැ. උන්ට ඕනේ උනේ මන් ලවා සටන් වදින හැටි ෆොටෝ ගන්නයි වීඩියෝ කරන්නයි. ඒක පාරක් ඒවා කරන්න ගිහින් මට වෙඩිත් වැදුනා කකුලට. ඔන්න ඔහොම සැහෙන දුෂ්කර කාලයක් ගෙවුනේ.තිලක්ෂිට කිසිම පණිවිඩයක් යවන්න විදිහක් තිබුනෙත් නැහැ."

පොලිස් නිලධාරියගේ මුවින් දිගු සුසුමක් පිට විය.


"මේ සේරම කලබල ඉවර වෙලා මන් ආපහු එනකොට ගොඩක් කල් ගත වෙලා. තිලක්ෂිගේ ෆෝන් ඒක වැඩ කරේ නැහැ. ඒගොල්ලෝ කැම්පස් එන දවස් වල නැවතිලා හිටියේ නුගේගොඩ ගෙදරක. බැරිම තැන මන් එතනට ගිහින් බැලුවා. ඒ ගෙදර හිටියා අය ගේ විකුණලා යන්න ගියා කියලය් ආරංචි වුණේ. ගිය තැනක් කවුරුත් දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මන් දැන ගත්තා මගේ ෆොටෝ ග්‍රැපි පිස්සුව නිසා අවසානේ මට පණ වගේ හිටියා තිලක්ෂිත් නැති වුනු වග.
     මට කොළඹ ජීවිතෙත් තිතට වුණා. මන් නුවර ඇවිත් පොඩියට ස්ටුඩියෝ එකක් පටන් ගත්තා මේ සේරම අමතක කරන්න හිතා ගෙන. පෙරහැරේ ෆොටෝ නිසා මට මෙහෙ හොඳ නමක් හැදුනා. වෙඩින් එකට ඇවිත් එයාව දකින තුරු මන් දනන් හිටියේ නැහැ මේ කිසිම දෙයක්"

වාසුල පොලිස් පරීක්ෂකවරයාගේ දෙනෙත් දෙස ඒක එල්ලේ බැලුවේය.

"අවංකව කියන්න ඉන්ස්පෙක්ටෙර් , අවුරුදු ගානකට පස්සේ, හදිස්සියේ අවුරුදු දහයක් තිස්සේ තමන් ආදරය කරපු පෙම්වතිය දෑස් ඉදිරියේ ඉන්නකොට, තව පොඩ්ඩක් පමා උණොත් සදාකාලිකවම ඇය ඔබට අහිමි වෙන බව දන්නකොට ඔබ කරන්නෙත් මන් කළ දේමයි නේද?"

වචනයකුදු නොදෙඩු පොලිස් නිලධාරියා තරුණයා දෙස බලා සෙමින් හිස සැලුවේය.

                                                            **නිමි**









 

Friday, April 18, 2014

කඳුකර පුනරාගමනය

"ඔන්න මේ පාර නම් බැහැ බැහැ ගාන්න එපා. ගිය සැරෙත් බොරුවක් කියල ට්‍රිප් එක මග ඇරියා"

ධනංජයගේ ගෝරනාඩුව ජංගම දුරකථනය හරහා උස් ස්වරයෙන් මගේ සවන් පත් මතට ගලා ආවේය.

"හරි හරි මේ පාර අනිවාර්යයෙන් එනවා!" මම ඔහුගේ පෙරැත්ත කිරීම නිසාම පැවසුවෙමි.

"ඇති යන්තම්"

" දැන් අපි කොහෙද යන්නේ?"

"නුවරඑළි !"

ඔහු ඒ වදන පවසනවාත් සමගම මගේ උගුර කට වියලී ගියේය. මිහිපිට ඕනෑම මනුෂ්‍යයෙකුටම අමතක කළ නොහැකි අතීතයක් ඇත. මගේ ඒ අමතක කළ නොහැකි අතීතය බැදි තිබුණේ නුවරඑළිය වටා ය. මා වසර ගණනකින් එහි පය නොගසුවේ හිතා මතාය. එම භූමිය සිහිවෙත්ම මගේ සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ මූසල ගතියකි.

මහා දවාලක වුවද ඔහුගේ අවසන් විලාපය සුළඟ සමග පැටලී විත් මගේ ලොමු දහ ගන්වයි.

දෙවියනේ!සැතපුම් ගණනක් ඈත කොළඹ සිටියදී පවා නින්ද අහිමි කරන , බියකරු සිහින වලින් මා සැම විටම පීඩාවට  ඒ අඳුරු අතීතයට  මම සාප කළ තරම්! දැන් ඒගොල්ලන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒ නරකාදිය බලන්න යන්න.!

"මොකද ඒ පාර උඹ කතා නැත්තේ?  දැන් යන්න බෑ කියන්නද හදන්නේ?"

"මම ඔය සීතල පළාත් වලට ආස නැහැ බං" මම නොසැලකිලිමත් ලෙස කීවෙමි.

"විකාර කියවන්න එපා කාවිංග. එහෙ තියෙන්නේ හරිම ලස්සන පරිසරයක්. උඹට කවි එහෙම ලියන්න නියමෙට ගැළපෙන දේශගුණයක් තියෙන්නේ. කොහෙද ඉතින් උඹ කොළඹින්  අඩියක් හොල්ලන් නැතුව ඒ ගැන දැන ගන්න විදිහක් නැහැ නෙ? "

"බ්‍රයන්ව දාල යන්න බැහැ බං"

"බල්ලෙක් හින්ද උඹ මේ ට්‍රිප් ඒක නොයා ඉන්නද හදන්නේ? ඔච්චරටම දුකයි නම් ඌව අරන් යමු"

"එහෙ සීතල ඔරොත්තු දෙයිද?"

"අවුලක් වෙන්නැති වෙයි.විකාර නැතුව දහ නව වෙනිදා පාන්දර පහ වෙද්දී ලෑස්ති වෙලා ඉදපන්. මම අදීෂවත් දාගෙන එන්නම්! එහෙනම් හරි නෙ මම අපි තුන් දෙනාට හොටලෙකුත් බලනවා එහෙනම්. කලින් බූක් කලේ නැත්තම් ඉඩ නැති වෙයි"

මට කිසිවක් පැවසීමටවත් ඉඩක් නොදුන් ධනංජය බලෙන් මෙන් මගේ පැමිණීම තහවුරු කර ගෙන දුරකථනය විසන්ධි කළේය.

කිසිවක් සිතා ගත නොහැකිව මම ඉස්තෝප්පුවේ සිමෙන්ති පඩිය මත වාඩි වුණෙමි. විදුලි පංකාවේ සුළගින් හරි වැරදි ලකුණු කළ නිබන්ධන වල පිටු සෙලවිණි. බ්‍රයන්ගේ  ඉසියුම් කෙදිරිලි හද රාත්‍රියේ නිහඩතාවය මැදින් ඇසෙන්නේ  දුක්බර ස්වරයකිනි.


                                      ****************************

 " අතීතයේ වෙච්ච ඒක සිදුවීමක් නිසා මෙච්චර හිතින්  දුක් විදින්න එපා !" මම මටම කියා ගත්තෙමි.

අවසන් වරට ගමන් මල්ල පිරික්සූ මම බිත්ති ඔරලෝසුව දෙස බැල්මක් හෙළුවෙමි.
ඒ සමගම ගේට්ටුව දෙසින් ධනංජයගේ ජීප් රථයේ සුපුරුදු නළා හඩ ඇසිණි.

"ඔන්න අපි කිව්ව වෙලාවටම තිතටම!"

ජීප් රටයේ පිටුපස අසුනේ මම බ්‍රයන් සමග වාඩි වුණෙමි.

" හැබෑට  උඹට මේ බල්ලව දාල එන්න බැරි වෙච්ච් හැටියක්" අදීශ සරදම් කළේය.

ඔවුන් කෙසේ කීවද බ්‍රයන් මා සමග සිටීම මගේ බිය දශමයකින් හෝ අඩු වීමට හේතු විය.


 ගැටඹේ පන්සල අසලදී රියෙන් බැස ගත මම පඩුරු දැමීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණෙමි.

 " මූ අද හරි ධාර්මික උපාසකය වෙලා" ධනංජය  කොක් හඬ ලා සිනාසෙමින් කීවේය.

" තේ ටිකක් බිව්වනම් හොඳයි  දිව ගිලෙන්න වගේ" අදීෂ පැවසුවේය.

ධනංජය හා අදීෂට තේ බීමට ඉඩ හැර මම දෙඅත් කලිසම් සාක්කු වල රුවා ගෙන අවන්හලේ ඔබ මොබ සක්මන් කළෙමි.

"ඔබ මොනවත් බිව්වේ නැද්ද?"

" නෙස්කැෆේ එකක් බිව්වා"

" අනේ මන්ද තේ නොබොන මනුස්සයෙක් මන් මේ දැක්කමයි. මන් හිතුවේ ඔය පුරුද්ද ජොබ් එකක් කරනකොට වත් අත් ඇරෙයි කියල"

මම සුපුරුදු ලෙස මුනිවත රැක්කෙමි. තේ කෝප්පයක් දකින වාරයක් පාසා  තේ පදුර පාමුල බෙලහීනව වැටි සිටි ඔහුගේ තුවාලයෙන් ගලා ගිය ඝන රක්ත පැහැ රුධිරය ඊට මුසුව ඇතයි මට හැගේ. ඒ මානසික ව්‍යාධිය නිසාම මට ඔක්කාරය ඇතිවේ. පහළොස් වසක් පමණ තේ බීමෙන් ඈත්ව සිටීමට හේතුව එය බව ඔවුනට කෙසේ කියන්නද?


රථය කෙමෙන් කෙමෙන් කඳුකර මාර්ගයට අවතීරණය වෙනවාත් සමඟ මගේ මතකය බාල කාලය දෙසට දිව ගියේය. ඇතැම් විට මම මේ මාර්ගයේ සැතපුම් ගණන් පයින් ඇවිද ගොස් ඇත. පියා අපව හැර දමා ගිය දිනයේ පටන්  කටුක වූ ජීවිතයේ සැමරුම්  මගේ දෙනෙත් තෙත් කළේය.

මනසේ වූ ව්‍යාකූල බව පිටතට නොපෙන්වූ මම ධනංජයගේ ගී ගායනයට හවුල් වුණෙමි. නමුත් මගේ සිත බොහෝ දුර ගොස් තිබුණි.

බ්‍රයන් මාගේ දෙපා පාමුල නින්දට වැටි සිටියේය. වසර ගණනාවක් ක්ෂය රෝගයෙන් පීඩා විඳි මවගේ මරණයෙන් පසු මගේ බිය හා තනිකම තුරන් කලේ මේ ආදරණීය සුනඛයාය.

රථය රම්බොඩ උමගට ඇතුළු වෙද්දී මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. තද සීතල කාලගුණයක වුව නළලින්  මතු වූ කුඩා දා බිඳු වල තෙතමනය මට හොදින් දැනුණි.

කිසිවෙකු මා පිටුපස සිටින්නේය යන හැගීමක්  මගේ සිත තුල හොල්මන් කරන්නට විය. මම විගසින් පිටුපස හැරී බැලුවෙමි. අප තිදෙනාගේ ඇදුම් මලු හැරුනුකොට පණ ඇති කිසිවක්  රථය තුල නොවීය.

වාහනයට පසකින් වූ බිහිසුණු ප්‍රපාතයේ සිට සුදු ජාතික වතු අධිකාරි වරයාගේ  මර ළතෝනිය කදු මුදුන් වල හැපී දෝංකාර දෙන්නක් මෙන් මට ඇසිණි. ඒ අඳුරු මතකයන් සියල්ල මිහිදන්ව තිබු  වුල්ෆ්හිල් වතු යාය වෙත වැටි තිබු පටු බොරළු මාවතෙන් වාහනය හරවන විට මගේ බිය දෙගුණ තෙගුණ විය.



"අපි මේ කොහෙද යන්නේ අදීශ?"

මම අඩක් විස්මයෙන් හා අඩක් භීතියෙන් යුතුව ඇසුවෙමි.

" අපි අද නවතින හෝටලේ තියෙන්නේ මෙතන. අලුතින් හදපු ලස්සන හෝටලයක් . තේ වත්ත කෙළවරේ තියෙන්නේ"

මා මුළු ජීවිත් කාලයටම දැකීමට අකමැතිම ස්ථානය අසල ලැඟුම් ගැනීමට ඔවුන් දෙදෙන තීරණය කිරීම කොතරම් අභාග්‍යයක් ද? නමුත් මෙයට කෙසේ හෝ මුහුණ දිය යුතුය. පසළොස් වසරක් තිස්සේ මේ බිමෙන් වසන් වී සිටියා ඇති!

" වුල්ෆ්හිල් වතු යාය,
 ක්‍රිස්ටෝපර් මැල්කම් ප්ලාන්ටේෂන් ලිමිටඩ්,
 නුවර එළිය."

මීදුම අතරින් හරි හැටි නොපෙනුණු එම නාම පුවරුවේ අකුරු වල පවා හොල්මන් ස්වභාවයක් තැවරී තිබුණි .

                                       **************************

ගමන් විඩාව නිසා රාතී‍්‍ර ආහාරයෙන් පසු අදීෂ හා ධනංජය වහා නින්දට වැටුණහ. කොපමණ උත්සහ කළත් නින්ද මා අසලක වත් නොවීය. බ්‍රයන්ද මගේ සිතැගි හැඳින ගත්තෙකු මෙන් අවදියෙන් පසු විය. තවමත් රාත්‍රී දහය යන්තමින් පසුවූ වා  පමණි. පහත මාලයේ රැස්වූ සංචාරකයින්ගේ  සිනා මුසු කතා බහ දොර විවර කළ විට මට ඇසිණි.

කාමරය වසා දැමූ මම බ්‍රයන්ගේ කර පටියෙන් අල්ලාගෙන පහත මාලයට බැස්සෙමි.

මැදි වයසේ  මිනිසුන් තිදෙනෙක් අල්ලප සල්ලාපයේ දී සිටියහ. මා ඔවුන් අසලින් හිද ගෙන පත්තරයක් බලන්නට පටන් ගත්තෙමි. බ්‍රයන් මගේ දෙපා මුල අවදියෙන් වැතිර සිටියේය. පත්තරය කියවමින් සිටියද ඔවුන්ගේ කතා බහ මට හොදින් ඇසුණි.

"එතකොට මේ වත්තේ නම වුල්ෆ්හිල් නේද?"

" ඔව්, මේ වත්ත ඉස්සර අයිති වෙලා තිබුණේ සුද්දෙකුට. මිනිහ තමන්ගේ යාළුවෙක්ව වතු අධිකාරී කමට පත් කරලාලු තිබ්බේ. ඒත් සුද්දෙක්. "

"ඒ සුදු වතු අධිකාරිගේ චරිතේ නම් එච්චර හොඳ නැහැලු නේද?."

"ඔව් ඔව් තේ දළු නෙලන දුප්පත් ගැහැණු උදවියට මිනිහ හරියට අඩත්තේට්ටම් කළාලු. හැබැයි අන්තිමේදී හොඳ වැඩේ තමයි වුණේ"

"ඇයි මොකද වුණේ?"

" වත්තේ තේ දළු නෙළුව සිංහල ගැහැණු කෙනෙකුටත් මිනිහ කරදර කරලා. ඒ ගැහැණු කෙනාගේ මනුස්සයත් මැරිලා. එයාටත් ක්ෂය රෝගේ හැදිලලු තිබ්බේ."

"ඉතින්?"

" එයාට අඩත්තේට්ටම් කරන්න යද්දී සුද්දට වෙඩි තියල"

" කව්ද වෙඩි තියල තියෙන්නේ?"

" ඒක නම් හරියට දන්නේ නැහැ. එත් සුද්ද කට උත්තරේදී කියල තිබ්බේ අර ගැහැණු කෙනාගේ අවුරුදු දොළහක පුතා තමා වෙඩි තිබ්බේ කියල. මම නම් හිතන්නේ නැහැ අවුරුදු දොළහක පොඩි එකෙකුට ඔච්චර හරියක් කර ගන්න පුළුවන් වෙයි කියල. මොනවා උනත් ඒ සිද්ධියෙන්  පස්සේ ඒ ගැහැණු කෙනයි ලමයි දෙන්නම ගමින් අතුරුදහන් වුණාලු. පොලිසියටත් හොයා ගන්න බැරි වුණා."

"එතකොට සුද්දා?"

"  ලේ ගොඩක් ගියත් සුද්දගේ වෙලාවට වෙඩිල්ල හරියට පපුවට වැදිලා තිබ්බේ නැහැලු. මිනිහ තුවාලේ සනීප වුනු ගමන් ආපහු රට ගියා.දැන් නම් වත්ත බලා ගන්නේ හොඳ සිංහල මහත්තයෙක්"

 ඇත්තටම සුද්දට වෙඩි තිබ්බේ අවුරුදු දොළහේ පොඩි ළමයා නම්  ඒ ළමයාට සම්මානයක් දෙන්න වටිනවා ඒ නිර්භීත වැඩේට "

පත්තරය පසෙකින් තැබූ මම හුනස්නෙන් නැගී සිටියෙමි.

" බ්‍රයන් අපි කාමරේට යමු. දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ" මම සුරතලාගේ කණට කෙදිරුවේ ආත්ම ආඩම්බරය මුසු හැඟුමකිනි.


                                          නිමි