.........towards the stream of thoughts
Showing posts with label ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු. Show all posts
Showing posts with label ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු. Show all posts

Saturday, June 12, 2021

තරුණ ආදිපාදතුමාගේ කතාන්දරය - ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු අංක 18

 එය වසන්ත ඍතුවේ පැහැබර සන්ධ්‍යාවක් විය. කොරෝනා වසංගතය නිසා චිකිත්සාගාරයේ කටයුතු මඳක් අඩු වූයෙන් මම බේකර් වීදියේ අපේ හුරු පුරුදු නවාතැනට පැමිණියෙමි. දෑත් සෝදා ගෙන මා දොර විවර කරගෙන  අනාරාධිතවම විසිත්ත කාමරයට පිවිසුණේ ලන්ඩනයේ අංක එකේ අපරාධ පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් පා ගැටෙන හඬින් ම මා පැමිණෙන බව දන්නා බැවිනි.

"ආයුබෝවන් මගේ හිත මිත්‍ර වොට්සන් .ඔබේ සුපුරුදු අසුනේ ම වාඩි වෙන්න මිත්‍රයා " හාන්සි පුටුවේ වාඩි වී  ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගත් කුරුඳු සුරුට්ටුවක් දෙතොලේ රුවා ගෙන හුන් හෝම්ස් මදෙස බලමින් පැවසීය.

" මට පෙනෙන්නෙ දැන් ටිකකට කලින් අනුග්‍රාහකයෙක් ඔබ හමුවෙන්න ඇවිත් ගිහින් වගේ" මම සිනාමුසු මුහුණින් පැවසුවෙමි.

" ඔබ කොහොමද ඒ බව නිගමනය කළේ?"                  

" ඒක බොහොම සරලයි. මමත් ඔබේ නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹීමේ ක්‍රමවේදය අනුගමනය කළා. බලන්න ඔබේ නිවසේ පියගැටපෙළට පිවිසෙන තැන තිබෙන වතුර කරාමය අවට හොඳටම තෙත් වෙලා.  ඒකෙන් පැහැදිලි වෙන්නෙ මීට ටිකකට කලින් අනුග්‍රාහකයෙක් ඔබ හමු වෙන්න ආ බවත් ඔහු දෑත් සෝදාගෙන නිවසට ඇතුළු වුණු බවත්"

" බොහොම කනගාටුයි මිත්‍රයා. මෙවරත් ඔබේ නිගමනය වැරදියි. ඔය වතුර කරාමයේ ජල නළ පද්ධතියේ කාන්දුවක් නිසා තමයි එතැන වතුර රැඳිලා තියෙන්නෙ. මම අද උදේම හඩ්සන් මහත්මියට කිව්වා ජල නළ කාර්මිකයෙක්ට පණිවිඩයක් යවන්න කියලා"

" ආහ් ඒකත් එහෙමද?"

"මගේ නිරීක්ෂණ නිවැරදි නම් ඔන්න දැන් එනවා අපේ අනුග්‍රාහකයා" හෝම්ස් සතුටින් දෑත් පිරිමැද්දේය.

බේකර් වීදියේ නිවාස වල අංක පරීක්ෂා කරමින් හිස එළියට දමාගෙන  පැමිණි  අමුත්තා පුභූවරුන් පරිහරණය කරන අශ්වයින් දෙදෙනෙකුගෙන් යුත් සුවපහසු කරත්තයකින් ඉවතට පැමිණියේය. රථය ඈතින් නවතා ගන්නා ලෙස සන් කළ ඔහු වේගයෙන් තරප්පු පෙළ නැග විසිත්ත කාමරයට පිවිසියේ මලල ක්‍රීඩකයෙකුගේ ස්වරූපය පෙන්නුම් කරමිනි.

අපගේ තරුණ ආගන්තුකයා අඩි හයක් පමණ උස හැඩි දැඩි සිරුරකින් හෙබි කඩවසම් තැනැත්තකු විය.

" ෂර්ලොක් හෝම්ස් මහත්මයා..." ඔහු මාරුවෙන් මාරුවට හෝම්ස්ගෙත් මගෙත් මුහුණු දෙස බලමින් කීවේය.

" මම හෝම්ස්.. මේ මගේ සගයා සහ සහයකයා දොස්තර වොට්සන්"

" හෝම්ස් මහත්මයා මම ඔබව හමු වෙන්න ආවෙ මගේ ජීවිතය සම්බන්ධයෙන්  ඉතාම වැදගත් කාරණවකට.  මේකට කිසිම අපරාධයක් ගෑවිලා නැහැ. මට ඕනෙ ඔබතුමාගෙන් ප්‍රායෝගික විසඳුමක්"

" ඔතනින් වාඩිවෙන්න ආදිපාදතුමා , අපට මුල ඉදන් පිළිවෙලට ඔබේ ගැටලුව කියන්න"

"  මම ඩෙවන්ෂයර් ආදිපාදවරයා. මගේ පියාට අවුරුදු හැත්තෑව සම්පූර්ණ වීමත් සමඟ පාරම්පරික වතු පිටි දේපළ සියල්ල පරිපාලනය කිරීම මට පැවරුවා. මගේ නැගණිය විවාහයෙන් පසු ප්‍රංශයට සංක්‍රමණය වීමත් මව මිය යාමත් නිසා දැනට අපේ පවුලෙන්  එංගලන්තයේ ඉතිරිව සිටින්නෙ අවිවාහක මා සහ  මගේ පියා  පමණයි"

" ඔබගේ දේපළ පරිපාලනය කිරීම සුළු පටු කටයුත්තක් නොවන බව පැහැදිලියි"

"ඒක හරි හෝම්ස් මහත්මයා. නමුත් ගැටලුව හාත්පසින්ම වෙනස් දෙයක්. මා ලබන සතියේ  කැතී මෙනවිය සමඟ විවාහ ගිවිස ගැනීමට නියමිත වෙලා තිබ්බෙ. මුලු දකුණු ලන්ඩනයේ ම ඉඩම් අයිති ඇයගේ පියාට කිව්වොත් ඒකෙ ඒ හැටි වරදක් නෑ. "

" දැන් මොකක්ද ඔබේ විවාහ ගිවිස ගැනීමට  මතු වෙලා තියෙන බාධාව"

" ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව නිම කළේ  ඇයගේ අවශ්‍යතාව  අනුව දියමන්ති ඔබ්බවලා.  මට ඔය ආභරණ ගැන වැඩි දැනුමක්  නැති නිසා  මම කිව්වා ඇය කැමති විදිහට එය සකස් කරගන්න කියලා. දෙයියෝ සාක්කි හෝම්ස් මහත්මයා  ගෝල්ඩන් බිල්ඩින් ස්වර්ණාභරණ සමාගමෙන්  ලදුපත ලැබුණාමයි දෙලොව රත් වුණේ"

" ඒ කියන්නෙ ඒ තරමටම මුදුව මිලෙන් වැඩියි?"

" ඔව් හෝම්ස් මහත්මයා දැනට බටහිර ලන්ඩනයේ අපේ මන්දිරයේ වටිනාකමත් ඊට අඩුයි. මම ආදිපාද කෙනෙක් වුණත් මගේ පියා සූදුවට ඇබ්බැහි වෙලා විශාල මුදලක් නාස්ති කර ගත්තා. ඒ නිසා එපමණ වියදමක් දරන්න මට  හැකියාවක් නැහැ. එවැනි  වියදම්කාරී කෙනෙක් මට ගැලපෙන්නෙ නැති බව මට තේරෙනවා. නමුත් මට ඕනෙ මේක අවමානයක් නොවෙන විදිහට බේරුම් කරගන්න. මට මුල් වෙලා මේ විවාහය නවත්වන්න බැහැ හෝම්ස් මහත්මයා. "

" හොඳයි මම ඔබේ ගැටලුව විසඳීමට බාර ගන්නවා. මට තොරතුරු ටිකක් ඔබෙන් දැන ගන්න තියෙනවා" සටහන් පොත දිග හැර ගත් හෝම්ස් තරුණ ආදිපාදතුමාට පැවසීය.

ඉන්පසු හෝම්ස් ඔහුගෙන් විමසූයේ කැතී මෙනවියගේ රුචි අරුචිකම් පිළිබඳව ප්‍රශ්න ගණනාවකි.  ඩේලි ගැසට් පුවත්පතේ පළවූ පොල් තෙල් යෙදූ කෑම වල අහිතකර ප්‍රතිඵල ගැන ලියවුණු ලිපියක් කෙරෙහි මගේ අවධානය යොමු කළ හෙයින් මට ඔවුන්ගේ සංවාදය පැහැදිලිව නොඇසිණි. 

පසුදින උදෑසනම සන්ධි ප්‍රදාහයෙන් පෙළෙන රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා මම අපේ නවාතැනින් පිටතට පැමිණියෙමි. කොහෙන්දෝ පැමිණි ජේත්තුකාර තරුණයෙක් මගේ ඇඟේ හැපුණේය. ආචාරශීලීව සමාව ඉල්ලූ ඒ කඩවසම් තරුණයා කරත්තයක නැඟී හාර්ලි වීදිය දෙසට නොපෙනී ගියේය.   

පසුගිය සතිය පුරා චිකිත්සාගාරයේ වැඩ වල සිරවී සිටි මා ලද සුළු විවේකයකදී බේකර් වීදිය වෙත ගියෙමි. 

මා බේකර් වීදියේ උඩු මහලට පැමිණෙන විට හෝම්ස් හාන්සි පුටුවට වී සිවුරුහන් කරමින් සිටියේය.

" හෝම්ස් මගේ මිත්‍රයා.. කොහොමද අර එදා ගෙනාව ආදිපාදතුමාගෙ ප්‍රශ්නෙ ?"

" අපොයි  ඒ වැඩේ හරි"

" මෙච්චර ඉක්මනින්?"

"ඒක බොහොම සරලයි මිත්‍රයා . අපේ අනුග්‍රාහකයාට හානියක් නොවන පරිදි විවාහය නොකෙරෙන තැනට වැඩ සිද්ධ වුණා"

" හෝම්ස් ඔබ කොහොමද එහෙම කළේ?"

" කැතී මෙනවියට පහුවදා උදේම අහන්න ලැබුණාලු සූවස් ඇළේ නෞකාවක් හිර වෙලා නිසා ඇයගේ දියමන්ති මුදුව දකුණු අප්‍රිකාවේ සිට එංගලන්තයට ළඟා වීමට තව මාසයක් කල් ගත වෙන බව. ඒ නිසා කෝපයට පත් ඇය වහාම විවාහ ගිවිස ගැනීම අවලංගු කරලා"

" මේ වගේ දෙයක් නිසා ඇයි ඇය විවාහය අවලංගු කළේ. "

"  ගෝල්ඩන් බිල්ඩින් ස්වර්ණාභරණ  සමාගමේ අලෙවි කළමණාකරු ජෙරී ටේලර් සතියක වෙලේ ඉදන් ඇයගේ හිත හොරාගත් නිසා වෙන්නත් පුළුවන්"

" ජෙරී ටේලර් ?" මම අදහා ගත නොහැකිව හෝම්ස්ගේ මුහුණ දෙස බැලුවෙමි.

" එදා  බේකර් වීදියෙන් එළියට බහිද්දි ඔබේ ඇඟේ හැපුණු ජෙරී ටේලර් නොහොත් ෂර්ලොක් හෝම්ස්"

" දෙයියෝ සාක්කි හෝම්ස් ඔබ ඒ ගෑනු ළමයව රවටපු එක නම් වැරදියි"

"අපේ අහිංසක තරුණ අනුග්‍රාහකයා වෙනුවෙන් මම ඒ පාපය බාර ගන්නවා" හෝම්ස් මගේ පිටට තට්ටු කරමින් කීවේය.

©ධරණී උපේකා වීරසේකර 

නිමි

ෂර්ලොක් හෝම්ස් සහ ගිලන් ඇඳේ වික්‍රමය - රහසිගත ලිපිගොනු 66

 එය මැයි මස අඳුරු වැහිබර දිනයක් ලෙස මගේ මතකයේ හොඳින් සටහන් වී තිබේ.   මගේ හිතමිත්‍ර ෂර්ලොක් හෝම්ස්ගේ හැඳුනුම්පතෙහි අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් වීම නිසා අද දින බැහැර යාමට අවසර තිබුණේ ඔහුට පමණි.   ගිනි උඳුන් පඩිය මත හෝම්ස් තබා ගිය රාජකීය මාධ්‍ය නිවේදන කියවීමේ අත්පොත පරිශීලනය කරමින් සිටි මා හට තද හිසේ රුදාවක් වැළඳිණි.  වැහිබර ගතියත් තද හිසේ ඇම්මත් නිසා මම නින්දක් ලැබීමේ අරමුණින් උඩු මහලට ගියෙමි.

බේකර් වීදියේ අපගේ සුපුරුදු නිදන කාමරයේ සුව නින්දක් ලබමින් සිටි මා තිගැස්සී අවදි වූයේ කිසිවෙකු මහ හඬින් දොරට තඩිබාන ශබ්දයත් සමඟ ය. ඉන් තත්පර කිහිපයකට පසු බිලී නිදන කාමරය අසලට පැමිණ මට කතා කළේය.

" වොට්සන් මහත්මයා ...වොට්සන් මහත්මයාව මුණ ගැහෙන්න කවුද මහත්මයෙක් ඇවිත්"

ඔහොම පොඩ්ඩක් විසිත්ත කාමරයේ  ඉන්න කියන්න බිලී. මම ඉක්මනින් එන්නම්.

ලිහිල් කලිසමක් සහ කපු  කමිසයකින් සැරසී මා පහළ මාලයට බසින විට මගේ නෙත ගැටුණේ මා හිත මිතුරු වෛද්‍ය අර්නස්ට්රූදර් ය.

" අර්නස්ට් මොකද මේ අවේලාවෙ?"

ඔහු මැලවුණු මුහුණින් කතාව පටන් ගත්තේය.

" මට ඔබේ මිත්‍රයා හෝම්ස්ගෙන් ලොකු උපකාරයක් අවශ්‍යයි"

" හෝම්ස් නම් මේ වෙලාවෙ දුම්කොළ  ගේන්න එළියට ගිහින්. තව ටිකකින් එයි"

මා එසේ පවසමින් සුපුරුදු අසුනේ හිඳ ගත්තා පමණි. සිහින් හඬින් ගීයක් මුමුණමින් හෝම්ස් විසිත්ත කාමරයට ඇතුළු විය.

" ආහ් අර්නස්ට් මොකද්ද ඔබ මට අරගෙන ආව හදිසි ගැටලුව"කිසිවක් පැවසීමටත් පෙරාතුවම ඔහු හාන්සි පුටුවේ දිගා වී විමසුවේය.

" මේක මගේ පුද්ගලික ගැටලුවක් හෝම්ස් මහත්මයා . මේක ඉක්මනින් රහසිගතව විසඳ ගන්න ඕනෙ"

"හොඳයි ඔබේ කතාව මුල් ඉදන් කියමු බලන්න"

"මේ සිද්ධිය වුණේ අද දවල් 2ට විතර. මම කොවිඩ් රෝගීන් සම්බන්ධ ප්‍රතිකාර වලට හවුල් වෙන බව ඔබතුමා දන්නවනෙ. ඒ නිසා අද හරිම කාර්‍යබහුල දවසක්. මම වාට්ටුවෙ වැඩ ඉවර කරලා සාමාන්‍යයෙන් අත් ඔරලෝසුව ගලවලා ලාච්චුවට දාලා මුහුණ කට සෝදගෙන තමයි කෑම ගන්නෙ"

"මේක ඔබේ සාමාන්‍ය පුරුද්දක් ද නැත්නම් කොවිඩ් නිසා පටන් ගත්ත දෙයක් ද?"

" නැහැ ඒක මගේ සාමාන්‍ය පුරුද්දක් . මම පළඳින පතේ පිලිප්ස් වර්ගයේ රන් අත් ඔරලෝසුව මගේ  මව් පාර්ශවයේ මිත්තණියගෙන තෑගි ලැබුණු එකක්. මම එය දිනපතා පළඳින්නෙ ඇයව සිහිවෙන්න. සාමාන්‍යයෙන් මම ගෑරුප්පුව හසුරවන විදිහ නිසා ඔරලෝසුවේ මුහුණත පලුදු වීම් කිහිපයක් වුණා. ඒ නිසා තමයි මම ආහාර ගන්න විට ඔරලෝසුව ගලවලා තියන්නෙ"

"හොඳයි ඔබේ කතාව දිගටම කියාගෙන යන්න"

"අදත් සුපුරුදු විදිහට මම ආහාර අරගෙන අවසන් වුණා. නමුත්  රෝගියෙකුගේ ශ්වසන අපහසුතාවයක් නිසා මම ආපසු ඔරලෝසුව පැළඳ ගන්නෙ නැතුව තමයි ආපහු වාට්ටුවට දිව්වෙ. එතන කාර්යය අවසන් වෙලා ආපහු මගේ කාමරයට එද්දි විනාඩි විස්සක්වත් ගත වෙන්න ඇති. නමුත් ලාච්චුව ඇරලා බලද්දි ඔරලෝසුව එතැන නෑ"

"ඔබ ඒක හරියට පරීක්ෂා කළාද?"

"ඔව් හරියටම බැලුවා හෝම්ස් මහත්මයා. මම මේක හැමදාම කරන දේ නිසා වරදින්න විදිහක් නෑ. මම ඔරලෝසුව වෙන කොහේවත් වැරදීමකින් තිබ්බෙ නැති බව මට සීයට සීයක් විශ්වාසයි. මෙතන හොරකමක් වෙලා තියෙනවා. මට මගේ ඔරලෝසුව හොයා ගන්න ඔබතුමාගෙ උදව් ඕනෙ. ඒක මට භෞතික සහ ආධ්‍යාත්මික වටිනාකමක් තියෙන දෙයක්. ඒකයි මේ වැඩ අස්සෙම මම දුවගෙන ආවෙ"

හෝම්ස් මෙතෙක් වෙලා අඩවන්ව තුබූ දෑස් විවර කළේය.    

"ඔබේ කොවිඩ් වාට්ටුවෙ රෝගීන් කී දෙනෙක් ඉන්නවද?"

" දැනට ඉන්නෙ හය දෙනයි හෝම්ස් මහත්මයා. පෙරේදා උදේ තමයි ගිලන් ඇඳවල් ගෙනත් මේක කොවිඩ් රෝගීන්ට අතරමැදි ප්‍රතිකාර සිදු කරන වාට්ටුවක් හැටියට පටන් ගත්තෙත්. ඒත් මේ රෝගීන්ගෙ විනය නම් අන්තිමයි. කොච්චර කිව්වත් වාට්ටුව පුරාම ඇවිදිනවා"

" ශ්වසන ආබාධය ඇති වුණේ කාටද? "

"පිරිමි රෝගීන් සිටි කොටසේ රිකී බෝල්ඩ්වින් කියන හැත්තෑ වියැති මහත්මයාට. ඔහුව වහාම  කිංග්ස් ලෝයල් රෝහලට මාරු කර යැව්වා. ඉතිරි රෝගීන්ගෙන් තිදෙනෙක් කාන්තාවන්."

" අනෙක් පිරිමි රෝගීන් කොයි වයස්වල කොහොම සෞඛ්‍ය තත්ත්වයක ඉන්න අයද?"

"එලන් හැරියට් වයස හැට පහයි ඔහු කෘත්‍රිම පාදයක් ආධාරයෙන් ඇවිදින්නෙ. විශ්‍රාමික සොල්දාදුවෙක්. දෙවෙනි රෝගියා ස්ටීව් ඉංගල්ස්වර්ත් වයස අවුරුදු අසූ එකයි. දියවැඩියා රෝගියෙක්. ඔහු  වැවිලිකරුවෙක් බවයි මට දැනගන්න ලැබුණේ .ඔහුගේ තත්ත්වය එතරම් සතුටුදායක නැහැ. තුන්වෙනියා බෙන් ඩිකින්සන් වයස අවුරුදු විසි එකයි. රැකියාවක් කරන බවක් නම් පේන්න නෑ. නමුත් මේ වාට්ටුවට ආව දවසෙ මම කෑම කන වෙලාවෙ මේ හාදයා එක්ක කතාවට වැටුණා.ඔහු කිව්වෙ කොවිඩ් රෝගීන්ට ගිලන් ඇඳවල් හදන්න ගිහින් තමා වෛරසය ආසාදනය වුණේ කියලා"                               

" හොඳයි අර්නස්ට් එහෙනම් දැනට මේ තොරතුරු ප්‍රමාණවත්. තවදුරටත් ඔබව මෙහෙ රස්තියාදු කරන්න අවශ්‍ය නෑ. ඔබේ ගැටලුව විසඳුණා කියලා හිතාගන්න"                          

" එතකොට හෝම්ස් මහත්මයා ඔරලෝසුව"

"ඒක ගැන වද වෙන්න එපා. තව පැය භාගෙකට කලින් ඒක ඔබේ අතට ලැබේවි"

අර්නස්ටෲදර් නික්ම ගිය පසු හෝම්ස් ගිනි උඳුන ළඟ තිබූ යකඩ අඬුව අතට ගත්තේය.

" හෝම්ස් ඔබට ඕනෙ නම් මං ළඟ හමුදා රිවෝල්වරය තියෙනවා"

" අපොයි ඕනෙ නැහැ මිත්‍රයා. නමුත් විශේෂ කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් නම් ඕනෙ වෙයි"

" අපි වාට්ටුව ඇතුළට යනවද?"

"ඔව් අපි දෙන්නම මිත්‍රයා" හෝම්ස් සිනාවක් පාමින් පැවසුවේය.

කිසිවක් සිතා ගත් නොහැකි වූයෙන් මම හෝම්ස් සමඟ කුලී රථයක් නැගී අර්නස්ට් සේවය කළ වාට්ටුවට ළඟා වුණෙමි. හනික ආරක්ෂිත ඇඳුම් කට්ටලයෙන් සැරසුණු අපි දෙදෙනා වාට්ටුවට ඇතුළු වුණෙමු.

ඇඳ ඉහපත් පරීක්ෂා කරමින් ඉදිරියට ඇවිදගිය හෝම්ස් නිදා හුන් රෝගියෙකු අසල නැවතී අර්නස්ටෲදර් ට සන් කළේය. ඉන්පසුව ඇඳ මත හුන් රෝගියාද නොතකමින්  හෝම්ස් තමා රැගෙන ආ අඬුවෙන් ඇඳ විට්ටමට සියුම් පහරක් එල්ල කළේය. 

ඇඳේ යකඩ කොටසක් ඉවතට පැන්නෙනු දුටු රෝගියා මාරාවේශ වූවෙකු මෙන් හෝම්ස් වෙතට පැන්නේය. වහා ක්‍රියාත්මක වූ මා මගේ අතිජාත මිත්‍රයා වෙතට පිනූ ආසාදිතයා වෙත පහරක් එල්ල කළේ වෛද්‍ය  ආචාර ධර්ම ද පසෙක ලමිනි.

ඒ ඇසිල්ලෙන් හෝම්ස් ඇඳ විට්ටමේ විවරය තුළට අත දමා අර්නස්ටෲදර්ගේ පවුම් දහස් ගණනක් වටිනා රන් ඔරලෝසුව ඉවතට ගත්තේ ජයග්‍රාහී රාවයක් නඟමිනි.

"හෝම්ස් මට හිතා ගන්නවත් බැහැ කොහොමද හරියටම හොරාව හොයා ගත්තෙ කියලා" 

" ඒක හරිම සරලයි මිත්‍රයා. අර්නස්ටෲදර් රන් ඔරලෝසුව ගළවලා ලාච්චුවෙ දාලා  ආහාර ගැනීම මෙහෙ හැමෝටම සාමාන්‍යයයි. හොරා ස්ථිර කාර්‍ය මණ්ඩලේ කෙනෙක් වෙන්න බැහැ. එතකොට පිටින් ආවෙ රෝගීන් විතරයි. අර්නස්ට් මේ වෙලාවෙ කාමරේ නෑ කියලා හරියටම දන්නෙ පිරිමි වාට්ටුවෙ අය. මොකද ශ්වසන අපහසුව බලන්න ආව වෙලේ අර්නස්ට්ගෙ අතේ ඔරලෝසුව නැති බවත් ඔවුන් දකිනවා. ඒත් ඒක ලාච්චුවට දාලා අඟුලු නොදා නිකම්ම තියෙන බව දන්නෙ කෑම වෙලාවෙ ඔහුත් එක්ක මීට කලින් කතා කරපු බෙන් ඩිකින්සන් විතරයි"

" හරි ඒත් ඔරලෝසුව මෙතන හංගලා තියෙන බව හරියටම දැන ගත්තෙ කොහොමද ?"

" මගේ ආදරණීය වොට්සන් ගිලන් ඇඳේ විට්ටම ඇතුළේ හොර භාණ්ඩයක් හංගන්න පුලුවන් විවරයක් තියෙනවා කියලා දන්නෙ වෙන කවුද ඇඳ හදපු කෙනා මිසක්"

" මට තේරෙන්නෙ නෑ මේ උදව්වට ඔබතුමාට කොහොම ප්‍රතිඋපකාර කරන්නද කියලා" අර්නස්ටෲදර් හැඟුම්බරව කීවේය.

" ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකම අපි දෙන්නට අරන් දෙන්න ඒ හොඳටම ඇති" හෝම්ස් ඔහුගේ කරවටා අතක් දමමින් හිනැහෙනු මම මුව ආවරණය අතරින් යන්තමින් දුටුවෙමි.

නිමි.

© ධරණී උපේකා වීරසේකර

Thursday, July 25, 2019

එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් ඛේදවාචකය


බේකර් වීදියේ මගේ හිතමිත්‍ර හෝම්ස්ගේ නිවසට යාමට මා අදහස් කළේ ඔහු සමඟ උණු කෝපි කෝප්ප කිහිපයක් සමඟ ඉස්තරම් ඉතාලි පීසා රසවිඳින යටි අරමුණෙනි. මේරි එස් පී ඕ රාජකාරි සඳහා අනියුක්ත කර තිබීම නිසා මට උදෑසන ආහාරය ද අහිමි විය.
උදෑසන ම ඡන්ද පොළට ගොස් හරි පක්ෂය ඉදිරියේ කතිරය ලකුණු කළ හෙයින් අපර භාගයේ හෝම්ස් සමඟ මැතිවරණ ප්‍රතිඵල නැරඹීම මගේ සැලසුම විය. මා ඔහුගේ කාමරයට පිවිසෙන විට හෝම්ස්ගේ බිලී නමැති සේවක ළමයා මා වෙනුවෙන් දොර විවර කළේය.

සුබ සන්ධ්‍යාවක් මගේ මිත්‍රයා. අද හදිස්සි ලෙඩෙක් ආවොත් අර්නස්ට්රූදර්ට බලන්න කියල නේද ඔබ ඔය ආවේ?
හෝම්ස් මා දුටු විගස දඟකාර සිනාවක් පාමින් කීවේය. මගේ මුහුණේ වූ විමතිට පත් ලකුණු ඔහුගේ සිනාවට හේතු වූ බව මම දනිමි.
"ඔය තරම් පුදුමයෙන් මා දිහා බලන්න එපා වොට්සන්. එදා ලංකාව මැච් එක දිනුව නිසා හාට් ඇටෑක් ලෙඩ්ඩු කී දෙනෙක්ට ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා ද? එදා ඉදන් ඔබ ගොඩක් පරිස්සම් කියල මං දන්නව."
මම හිස සලා සුපුරුදු අසුනට බර වුණෙමි. ඒ සමඟ ම කිසිවෙකු වේගයෙන් තරප්පු පෙළ නැඟ එන හඬ ඇසිණි.
"ලෙස්ට්‍රේඩ් මොකක් හරි ලොකු කලබලේකින්" හෝම්ස් එසේ කියනවාත් සමඟ ම ලෙස්ට්‍රේඩ් අපගේ විසිත්ත කාමරයට කඩා වැදුණේය.
" වොට්සන් මහත්මයා ! මේරි මෝස්ටන් මහත්මියට හොඳට ම අසනීපයි. අපි මේ දැන් ඇයව එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් රෝහලට ඇතුළත් කළා."
" දෙයියෝ සාක්කි හෝම්ස් දැන් අපි මොකද කරන්නෙ?"
මම භීතියෙන් මගේ මිත්‍රයා දෙස බැලුවෙමි.
ඇඟිලි තුඩු එකිනෙක ළං කරගෙන් මිලි තප්පරයක් පමණ කල්පනාවේ ගැලී හුන් හෝම්ස් අනතුරුව කටහඬ අවදි කළේය.
" මේරි මහත්මිය වෙනුවට එතන එස් පී ඕ රාජකාරි වලට කාව ද දැම්මේ?"
" කවුරුත් මේ හදිස්සියෙ හොයාගන්න විදිහක් නෑ. ජේ. පී ඕත් අමු ස්ටෝන් ඊල් කෙනෙක්" ලෙස්ට්‍රේඩ් කම්පාවෙන් පිළිතුරු දුන්නේය.
"එහෙමනම් මම යන්නද ඒ ඡන්ද පොළට?" මම ඇසුවෙමි.
" අහක යන කලු මාම්බල කබාය අස්සට දා ගන්නෙ නැතුව ඉන්න වොට්සන්. ඕව දණිස්සෙන් පහළට නෙවෙයි ඔලුවටම වෙඩි කන්න වෙන වැඩ. ඔයා රජයේ නිලධාරියෙක් නෙවෙයිනෙ. පෞද්ගලික චිකිත්සාගාරයක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙක්"
" මම යනව ලෙස්ට්‍රේඩ් එක්ක ඡන්ද පොළට. මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැහැ. මගේ බිරිඳ වෙනුවෙන් මම ඒක කළ යුතුයි" මම බෙරිහන් දුන්නෙමි.
" එහෙනම් මේරි ඉන්න රෝහලට යන්න. ඡන්ද පොළට යන්නෙ මොකටද"?
"මේක තීරණාත්මක ඡන්දයක්. ඒක අවුල් වෙන්න දෙන්න බෑ"
" ඕනෙ එකක් කරගනින්" හෝම්ස් අසුනෙන් නැගිට කාමරයට ගොස් වයලීනය වාදනය කිරීමට පටන් ගත්තේය.
සුදු අශ්වයෙකු සහිත පොලිස් කරත්තයක නැඟුණු මම ලෙස්ට්‍රේඩ් සමඟ අධිවේගී මාර්ගය හරහා නෝෆොක් පළාතේ පිහිටි එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් ඡන්ද පොළට ළඟා වන විට මධ්‍යහ්නය එළඹී තිබිණි.
හෝම්ස්ගේ අවවාදය නොපිළිගැනීමෙන් මා කළේ අනුවණකමක් බව වැටහීමට වැඩි වෙලා ගත නොවීය. එස් පී ඕ මේසය අසළ වූ ආකෘති පත්‍ර නෙත ගැටෙනවාත් සමඟ මගේ දෙනෙත් අඳුරු විය.ඉන්පසු සිදු වූ කිසිවක් මට හරි හැටි මතක නැත.
සිහිය එන විට හෝම්ස් මා ළඟ වැට් 69 බෝතලයක් අතැතිව දණ ගසා ගෙන සිටියේය.
"හෝම්ස් අර ජර්නල් .. පී වී. ...පී එස්..ඩබ්ලිව්.."
" බය වෙන්න එපා මගේ ආදරණීය වොට්සන් ඒ සේරම මම පිරෙව්වා. හැබැයි ෆෝම් ටික පුරවන්නම පැය හතරක් ගියා. ජේ පී ඕ මහත්තයව යැව්වා බඩු රිටන් කරන්න.ඒ ආර් ඕ මහත්තය මේ දැන් ගියෙ. දැන් ක්‍රීම් ක්‍රැකර් එක්ක හැපී කව් චීස් කෑල්ලක් කාල පොඩ්ඩක් නිදා ගන්න."
සමාප්තයි!
©ධරණී උපේකා වීරසේකර


Wednesday, January 23, 2019

සේනා දළඹුවාගේ පලහිලව්ව- රහසිගත ලිපිගොනු අංක 20

දිගින් දිගටම බැරෑරුම් පරීක්ෂණ රැසක නිරත වීම සෞඛ්‍යයට අහිතකර බව මා කොතෙකුත් කියා ඇති නමුත් මගේ හිතමිත්‍ර ෂර්ලොක් හෝම්ස් ඒ කිසිවක් සැලකිල්ලට නොගනී. මෙය තවත් ඉවසා ගත නොහැකි තැන මම නිවාඩුවක් සඳාහා හෝම්ස් සමඟ විදේශ ගත වීමට තීරණය කළෙමි.
එක්දහස් අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ පැවති ශ්‍රී ලංකාව අපගේ ගමනාන්තය විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේදී පිරිනැමූ කජු අනුභව කිරීම නිසා උදරබාදයකින් පෙළුණු මගේ මිත්‍රයාගේ මුහුණින් දිස් වූයේ පෙරටත් වඩා ගිලන් ස්වභාවයකි.
" ගුවන්තොටුපළේ ඉදල හෝටලයට යන්න කුලී රථයකට කතා කරන්නම්" මගී පර්‍යන්තයේදී මම හෝම්ස්ට පැවසුවෙමි.
"මගේ හිතමිත්‍ර වොට්සන් ඒ ගැන කරදර වෙන්න එපා. අර පාර අයිනේ නවත්වා තිබෙන රතු, කොළ, නිල් වර්ණවල ත්‍රීරෝද රථ ඔබට පෙනෙනවාද?"
"ඔව් මිත්‍රයා. නමුත් ඒවා සුවපහසු නැහැ"
"නමුත් මගේ ආදරණීය වොට්සන් ඒවා සුපර් සොනික් යානා තරම් වේගයෙන් ගමන් කරනවා. මේ මොහොතේ වැදගත් වෙන්නේ උදරබාධය තවත් දරුණු වීමට කලින් හෝටලය වෙත යාමයි"
වෙනත් විකල්පයක් නොවූයෙන් මම ඔහුගේ කීමට අවනත වුණෙමි.
හෝටලයට ගොස් ස්නානය කර හොඳින් පිරිසිදු වී උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසු හෝම්ස්ගේ ගිලන් ස්වභාවය මදක් සමනය විය.
මා හෝම්ස් සමඟ පහත මාලයට ගොස් ඉන්දියන් සාගරයේ සුන්දරත්වය නැරඹීමට සැරසුණා පමණි ,කිසිවෙක් මහ හඬින් දොරට තඩිබාන්නට පටන් ගත්තේය. බේකර් වීදියේ සුපුරුදු නිවහනේ බිලී නමැති සේවක ළමයා නැති අඩුව මට තදින්ම දැනුණි.
දොරඟුල විවර කළ සැණින් සැට විය ද ඉක්මවූ කෙසඟ සිරුරැති තැනැත්තෙක් කාමරයට කඩා වැදුණේය.
" ඔබතුමා නේද ෂර්ලොක් හෝම්ස් ?" අමුත්තා හෝම්ස් දෙස බලමින් විම්සීය.
"ඔව්"
"අනේ සමාවෙන්න මෙහෙම හදිසියේ ආවට. මම ලොකු ප්‍රශ්නයකට හිර වෙලා. සේනා දළඹුවා නිසා රටේ වගාවන් සේරම විනාසයි. ඒ නිසා මට කිසිම සැනසිල්ලක් නෑ. ගොවීන් මට ඉන්න දෙන්නෙ නෑ. මේකට මොකක් හරි විසඳුමක් දෙන්න. මම ඉල්ලන ගාණක් ණය වෙලා හරි ගෙවන්නම්"
විවේකය ගත කිරීමට මා සිදු කළ සියලු සැලසුම් මොහොතකින් සුනු විසුණු වී ගියේය.
"මහත්මයා කලබල වෙන්න එපා. මම විසඳුමක් දෙන්නම්. ඔබේ ආගන්තුක පත්‍රය මට දීලා යන්න. හෙට හවස් වෙද්දි විසඳුමක් දෙන්නම්"
හෝම්ස් එසේ පවසන විට ඔහුගේ දෙනෙත් ප්‍රීතියෙන් බැබළිණි.
"සමාවෙන්න මහත්මයා මම ආගන්තුක පත්‍ර පාවිච්චි කරන්නෙ නැහැ" යැයි කියූ ඔහු හෝම්ස්ගේ කණට කර කිසිවක් මුමුණා නික්ම ගියේය.
හෝම්ස් දළඹුවාගේ ස්වරූපය හා චර්‍යාව නිරීක්ෂණය කරනු පිණිස වගාබිම් වලට යනු ඇතැයි මා අපේක්ෂා කළ ද ඒ සඳහා පසු දා පහන් වුවත් ඔහු කිසි උනන්දුවක් නොදැක්වීය. හෝම්ස් දවස පුරා ගීත සිවුරුහන් කරමින් සැහැල්ලුවෙන් සිටීම මගේ නොමඳ ප්‍රීතියට හේතු විය.
ශ්‍රී ලංකාවේ සොඳුරු නිවාඩුවක් ගත කිරීමට ඉඩ ලබා දීම පිළිබඳව මම දෙවියන් වහන්සේට ස්තුති කළෙමි. දින ගෙවී ගොස් අප නැවත ලන්ඩනය බලා යන දිනය ද උදාවිය.
පුරුද්දට මෙන් සිලෝන් ක්‍රොනිකල් පුවත්පත අතට ගත් මට එහි සිරස්තලය දැක කෑ ගැසිණි
"ෂර්ලොක් හෝම්ස් සේනා දළඹු වසංගතය මෙරටින් තුරන් කරයි"
"දෙයියෝ සාක්කි හෝම්ස් ඔබ මේ හෝටල් කාමරයට වෙලා මේ ප්‍රශ්නේ මෙච්චර ඉක්මනින් විසඳුවෙ කොහොමද ?"
"ඒක හරිම සරලයි මිත්‍රයා. මම කළේ අපිට ලංකාවේ බස් රථ සහ ත්‍රී රෝද රථ වල වාදනය වෙන ගීත වගාබිම් වල අධික ශබ්දයෙන් වාදනය කරන්න කිව්ව එක විතරයි. දළඹුවො සේරම සිහිසුන් , අප්‍රාණික තත්ත්වයට පත් වුණා. වසංගතය ඉවරයි" හෝම්ස් දඟකාර සිනාවක් පාමින් කීවේය.
දෑස් බොඳවී යද්දී ඔහු මා වත්තම් කර ගත්තා විය යුතුය.

නිමි.
©ධරණී උපේකා වීරසේකර