.........towards the stream of thoughts
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts

Thursday, January 2, 2014

මගේ හිතත් කියවන්න (අවසන් කොටස)

බැස යන රන් පැහැ හිරු රැස් වලින් ආලෝකමත් වූ ඉන්දියා ගේට් ඉතා අලංකාරව දුරට දිස් විය.
සෙනග අඩු තැනක දී රියෙන් බට ආදිත්‍ය ශර්මා අංජලීට ඉන් බැසීමට දොර විවර කළේය.

සාකච්ඡාවක් ගැන කීවද ආදිත්‍ය එවන් අවස්ථාවකට නොගැළපෙන අන්දමේ සැහැල්ලු ඇඳුමක් ඇද සිටීම ද අංජලී තුළ සැකයක් ජනිත කළේය.

"ආදිත්‍ය ඇයි මේ?"

" සමාවෙන්න අංජලී. මන් බොරුවක් කිව්වේ. අද එහෙම සාකච්ඡාවක් නැහැ. මට ඕනේ වුණේ නිස්කලංකව ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. එහෙම දෙයක් කිව්වේ නැත්තම් ඔයාව ගෙදරින් පිටට එක්කන් එන්න බැරි වෙයි කියල හිතුණා  "

සුළගින් ඇවිස්සුණු කෙහෙරැළි අතින් සැකසූ අංජලී ඔහු දෙස විස්මයෙන් මහත් වූ දෑසින් බලා සිටියාය.

"ඇත්තෙන්ම මේ තරම් විශාල  සොයා ගැනීමක් කළාට ඒක ලෝකෙට ඉදිරිපත් කරන්න ඕනේ විදිහක් ගැන මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඔයා තමයි කිව්වේ වරණාසි වලට ගිහින් මනෝ උපදේශකයෙක්  හැටියට මේ යන්තරේ ප්‍රයෝජනයට ගත්තොත් ලෝකේ අවධානය මං දිහාට යොමු වෙයි කියලා. ඔය නොහිටින්න මන් නිකම්ම නිකන් විද්‍යාඥයෙක්. මේ ගෞරවයෙන් භාගයක් හිමි වෙන්න ඕනේ ඔයාට. මේකට මං කොහොම ස්තුති කරන්නද?"

"අයියෝ ඉතින් හරි! ඕක හැම තිස්සෙම කියවන්න ඕනේ නැහැ. හැම interview එකකදීම ඕක කිව්වනේ ලෝකෙටම ඇහෙන්න. දැන් මිනිස්සුන්ට ඔය කතාව අහලම එපා වෙලා ඇති"  ඇය සිනාමුසු ව කීවාය

සැදෑ අඳුර පරයමින් දැල්වුණු වීදි ලාම්පු එලිය ආදිත්‍යගේ උපැස් යුවළ මතට පතිත විය. ඔහුගේ දෑස් මෙතරම් බබළන්නේ එනිසා යැයි අංජලී සිතුවාය.

"මට සමාවෙන්න යන්ත්‍රය ලෝකය පිළිගන්න තෙක් ම මට බැරි වුන ඒක ඔයාට බලන්න දෙන්න"

"එකට නම් මගෙන් කිසිම සමාවක් නැහැ මහාචාර්යතුමා . මන් කොච්චර බැගෑපත් වෙලා ඉල්ලුවද එකම ඒක වතාවක් ඔය යන්තරෙන් ඔයාගේ හිත කියවලා බලන්න මට ඉඩ දෙන්න කියල? බැහැ ම කිව්වා! අඩුමගානේ මම කිව්වා මගේ හිත කියවලා පෙන්නන්න කියල. ඒකට කැමැති වුනෙත් නැහැ. ඒකට මොකද  වරණාසි ගීහින් නාදුනන මිනිස්සු සිය ගාණක හිත කියෙව්වා!"

" ඒකට හේතුව දන්නවනම් ඔය කවදාවත් මට මෙහෙම දොස් කියන එකක් නැහැ"

"ඔව් ඉතින් දැන් මොකක් හරි බොරු හේතුවක් කියයි"

"අංජලී, ඔයා දන්නවද දැන් ලෝකෙ කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ යන්ත්‍රය, අනික...."

"අනික?"

" අනික තමයි මං මේ කරන්නේ. ඔයාගේ හිත කියවන්න මට මන් හදපු යකඩ ගොඩ ඕනේ නැහැ අංජලී! මේක කියාගන්න බැරුව මං කොච්චර දුක් වින්දද? Anjali I love you! Will you marry me?"

ආදිත්‍ය India gate පසු කර යන ජනකාය නොතකා ඇයගේ දෙනෙත් දෙස බලමින් මහ මඟ දණ ගැසුවේය. මෙතෙක් වෙලා සඟවා ගෙන සිටි රතු  මල් පොකුරක් අංජලීගේ දෑත මත රැදුණේ අගේ විස්මය දෙගුණ තෙගුණ කරමිනි.

" දෙවියනේ...ආදිත්‍ය, නැගිටින්න මිනිස්සුත් බලාගෙන.."


"මුළු ලෝකෙටම මගේ සොයාගැනීම් බලන්න හොඳ නම් මගේ ආදරය දැක්කහම මොනවා වෙනවද?  මට ඔයාගේ  උත්තරය කියන්න, එතකොට මන් නැගිටින්නම් "

"එක පාරටම Will you marry me... don't you wanna test me as your girl friend?" අංජලී ඇසුවාය.

"I am a scientist , I don't come to conclusions without enough tests! and this is more than enough! සමහර දේවල් අඩු වයසින් කරන්න ඕනේ. අවුරුදු විසිඅටෙන්  මහාචාර්ය වුනු එකේ  විවාහ වෙන එක ප්‍රමාද කරන්නේ ඇයි?" ඔහුගේ මුහුණේ දගකාර සිනහව ඇදී තිබුණේ සිතුවමක් පරිද්දෙනි.

"Sorry I don't love you!"

ආදිත්‍යගේ ප්‍රීතිමත් මුහණ සැණෙකින් අදුරු විය.

"I don't JUST love you! I love you FOREVER! till my last breath!"

හොඳ වෙලාවට මගේ හෘදය වස්තුවෙ ලෙඩක් නැහැ. තව පොඩ්ඩෙන් heart attack!"

ඇයව තදින් වැළඳ ගන්නා අතරතුර ඔහු කණට නෑසෙන තරම් සිහින් ස්වරයෙන් මිමිණුවේය.

සමාප්තයි!



 

මගේ හිතත් කියවන්න ( දසවන කොටස)

2014.01.10
නවදිල්ලිය

සන්ධ්‍යා හිරු රැසින් ප්‍රභාමත් වූ ලක්ෂ්මී නගර්හි වීදි කොණෙක ටාටා නැනෝ වර්ගයේ රථය නැවැත්වූ මහාචාර්ය ආදිත්‍ය ශර්මා ප්‍රබෝධමත් බවින් යුතුව  ඉන් බැස්සේ වසර ගණනක් තිස්සේ තමා යෙදවූ පරිශ්‍රමයේ ප්‍රතිඵල ලෙස නව නිර්මාණය ලෝකය විසින් හරසරින් පිළි ගැනීමේ ප්‍රීතිය සිතැතිවය.

පටු මගෙහි අංක 13 දරණ දෙමහල්  නිවස ඉදිරිපිට සිවුරුහන් කරමින් නැවතුණු ඔහු සීනුව නාද කළේය.

"ආ...  මහාචාර්යතුමා එන්න එන්න ඇවිත් වාඩි වෙන්නේ! අංජලී ලෑස්ති වෙලා ඉන්නේ....."

අංජලීගේ මව  සෙනෙහෙබර සිනහවකින් ඔහුව පිළිගනිමින් කීවාය.

තරප්පු පෙළ බැස ආ අංජලීගේ මුහුණ ඔහු දකිත්ම ආලෝකමත් විය. ඔහු දුරකථනයෙන් පැවසු ආකාරයට  සුදු පැහැති බ්ලවුසයකින් හා නිල් පැහැති කලිසමකින් චාම්ව ඇය සැරසී සිටියේ විද්‍යාත්මක සාකච්ඡාවකට සහභාගී වීමටය.

"ඉන්න මන් මොනවා හරි බොන්න අරන් එන්නම්.."

" කරදර වෙන්න එපා අම්මා..." ආදිත්‍ය ආචාරශීලී ස්වරයෙන් කීවේය." අපි දැන්ම යන්න ඕනේ"

"අනේ, කොපි කෝප්පයක් වත් බීලා යන්න."

"දැන් පරක්කු වෙයි අම්මේ. සාකච්ඡාව පහට නේද තියෙන්නේ?" ඇය ආදිත්‍ය දෙසට හැරෙමින් කීවාය.

මුවින් කිසිවක් නොදෙඩු ඔහු  බිම බලාගත්වනම හිස සැලුවේය.

ඇයට ආචාර කර නිවසින් ඉවතට පැමිණි පසු අංජලී ආදිත්‍ය දෙස බැලුවේ විමිතියෙනි.

"ඇයි අද වැඩිය කතා නැත්තේ?"

"සතුට වැඩි කමට"

අංජලී හඩ නගා සිනාසුණාය .

"අද හරි අමුතුයි" ඇය සිහින් හඩින් කීවාය.

"මම ඒ අමුත්තට ආසයි!" ඔහු පිළිවදන් දුන්නේ සුක්කානමෙන් නෙත් ඉවතට නොගෙනය.

ආදිත්‍යගේ රිය වේගයෙන් දිල්ලි නගරය වෙත ඇදී ගියේය. ඔහු සුපුරුදු නිහඩ ව්‍රතයේම ගිළී සිටියේය.
රථය බම්බලා පාලම පසු කරත්ම අංජලී කටහඬ අවදි කළාය.

" ආදිත්‍ය අපි යන්නේ වැරදි පාරක! විද්‍යාවේදීන්ගේ සංගමයේ මූලස්ථානය තියෙන්නේ මේ පාරේ නෙවෙයිනේ!"

"නැහැ නැහැ ඔන්න දැන් තමයි අපි හරි පාරට වැටෙන්න යන්නේ!" ඔහු සිනාවක් පාමින් කීවේය.

 ඔහු රථය India Gate අසල නවත්වදිදී අංජලී කිසිවක් තේරුම් ගත නොහැකිව තරුණ මහාචාර්යවරයා දෙස බැල්මක් හෙළුවාය.


මතු සම්බන්ධයි.....




 

මගේ හිතත් කියවන්න ( නව වන කොටස)

මහාචාර්ය වරයා දෙස සුපරික්ෂාකාරී බැල්මක් හෙලූ රේඛා සිං ඔහු පැනවූ අසුන මත හිඳ ගත්තාය.

"මහාචාර්ය තුමා  මම කැමතියි සජීවීව ඔබ මගේ හිත කියවා පෙන්වනවානම්"

"සජීවී වැඩසටහනක ඔය වැඩේ කරන එක හරිම අවදානම් මෙනවිය, ඔබේ හිතේ තියෙන මොන මොන දේවල් මගේ කටින් පිටවෙයිද කව්ද දන්නේ?"

"එකට කමක් නැහැ. මම ඒ අවදානමට සූදානම්. අනික මගේ හිතේ ලෝකෙන් වසන් කරන්න දේවල් නැහැ"

"අපි හැමෝටම රහස් තියෙනවා. ලෝකයත් එක්ක බෙදා ගන්න බැරි. මේ වැඩේ කරන්න ගිහින් එහෙම දෙයක් මන් අතින් එලි වුනොත් ඒක සී news හරහා මුළු ලෝකයම දැන ගනියි. එතකොට මගේ හිතටත් හරි නැහැ."

 "මාත් එක්ක අමනාප වෙන්න එපා මහාචාර්ය තුමා මට ඔබ තුමාගේ ඔය වැඩේ ගැන තඹ දොයිතුවක විශ්වාසයක් නැහැ. ඒ නිසා මට මේක සාක්ෂි ඇතුව හරියටම දැන ගන්න ඕනේ! ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා. මට ඕනේ හරියටම ඔබ මගේ හිත කියවනවා දකින්න. ඕන දෙයක් කියන්න, මම ලෑස්තියි"

" මේ තියෙන්නේ මුරන්ඩුකමක්ද, නිර්භීතකමක් ද මෝඩකමක් ද කියල මං දැන් නැහැ. ඔබේ අවසාන තීරණය ඒක නම් අපි මේ වැඩේ කරමු. මට ප්‍රශ්නයක් නැහැ" ඔහු තියුණු බැල්මක් හෙළමින් කීවේය.

"අපි දිවා පුවත් වලට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධ වෙලා හිටියේ. දැන් වෙලාව හරි අපි සජීවීව වැඩසටහන පටන් ගමු ආයෙත්. කැමරා සූදානම් කර ගන්න" රේඛා පැවසුවාය.

"කරුණාකරලා මේ ආසනයේ වාඩි වෙලා මේ ලෝහ හිස්වැසුම පැළඳ ගන්න. ඔබ මගේ හිත කියවීමේ  විස්තරයෙන් සෑහීමකට පත් වුණාම මට අතින් සංඥා කරන්න.එතකොට මම නවත්තන්නම් " මහාචාර්යවරයාගේ උපදෙස් අනුව ඇය අසුන් ගත්තාය.

 ලෝහ හිස් වැස්ම පැළඳ ගන්නවාත් සමගම ඇයට දැනුණේ  වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැගීමකි. එය බිය, චකිතය, කුතුහලය මිශ්‍ර  වූ චෛතසිකයකි.

මහාචාර්යවරයා ලෝහ හිස්වැසුම වයරයකින්  සම්බන්ධ වූ තිරයක් දෙස උනන්දුවෙන් නෙත් යොමාගෙන සිටියේය.

" ඔව් රේඛා සිං මෙනවිය මේ මොහොතේ ඔබ සිතමින් ඉන්න දේවල් මම කියන්නම්, ඔබ දැන් හිතනවා මේ වැඩසටහන හොදින් කර ගත්තොත් සී news නාලිකා ප්‍රධානි තනතුර දක්වා උසස් වෙන්න වුණත් පුළුවන් කියල. ඔබ දැන් තරමක් පුදුමයට පත් වුණා. ඔබට දැන් ගෙදර මතක් වුනා. පන්ජාබ් වල අම්මලා ගෙවන දුක් සහිත ජීවිතේ මතක් වෙනකොට ඔබට හිතෙනවා පවුලේ වැඩිමල් දුවගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරනවා මදිද කියලත්. ඔව් ඔබ හිතනවා තාත්තාගේ රස්සාව නැති නොවුනානම් පවුලට මෙච්චර කරදර විදින්න ඕනේ නැහැ කියල. සොච්චම් පඩියක් හම්බෙන දැනට වැඩ කරන IOC එකෙන් අයින් වෙලා කොහොම හරි ප්‍රතීක් හොඳ රස්සාවක් වෙන තැනකින් හොයා ගත්තොත් තාත්තලාට බරක් නොවී මංගල්ලේ කර ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා. එත් ඒ ගැන ඔහුට කියන්න මොකද්ද වගේ. "

"දෙවියනේ මේ දේවල් සේරම කොහොමද දැන ගත්තේ? ප්‍රතීක් ගැන මම කාටවත්.................! "  විස්මය තව දුරටත් දරා ගත නොහැකිව කෑ ගැසූ රේඛා හුනස්නෙන් නැගී සිටියාය.

"කොහොමද මේක කරන්නේ? කිව්ව දේවල් හරියටම හරි, අනික මන් මේ සමහර දේවල් කාටවත් කියල නැහැ.. මේක නම් හාස්කමක් , ඔබ සෘෂිවරෙයක් ද?"

" රේඛා මෙනවිය, ඔබේ හිතේ තියෙන සේරම දේවල් පෑනක් අරගෙන කොළේක ලිව්වොත් මොකද වෙන්නේ? හිතේ තියෙන දේවල් කඩදාසියක ලියවෙන්නේ කොහොමද?මේ යන්ත්‍රයෙන් කෙරෙන්නේත් අන්න එකමයි. ඔබේ සිතිවිලි තරංග විශ්ලේෂණය කරලා ඒවා අකුරු බවට පත් කරනවා"

" එහෙම විද්‍යාවක් තියෙන්න පුලුවන්ද?  අර දේවල් ඔබ හරියට නොකියන්න මම මේක විශ්වාස කරන්නේ නැහැ"

" මේකේ විද්‍යාත්මක මූලධර්මය මම ලෝකෙත් එක්ක බෙදා ගන්න කැමතියි. මේ සම්බන්ධ ඕනෑම විද්‍යාත්මක වාදයකට වුණත් මම සුදානම්!එත් ඒකට මේ දක්වා අවස්ථාවක් ලැබුණේ නැහැ. ගොඩ දෙනෙක් මේක දැක්කේ විකාරයක් නැත්තම් සුරංගනා කතාවක් වගේ. හරිනම් මේක ගිනස් පොතට යන්න තිබ්බේ මීට ගොඩක් කලින්. මේ වැඩසටහන නැරඹුවායින් පසුව හරි බලධාරීන් මේ නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න උනන්දු වෙයි කියල මන් හිතනවා" ආදිත්‍ය ශර්මා නැහැය පහතට වැටෙමින් තිබූ උපැස් යුවළ නිසි තැන ස්ථානගත කරන අතරතුර කීවේය.

" ඔව් අදට අපට ලැබී තියෙන කාලය අවසන්. අද සත්‍ය ගවේෂී වැඩසටහන ඔබට නවමු අත්දැකීමක් ලබා දුන් බව අප විශ්වාස කරනවා. ඉතින් මේ අප සමග සිටින්නේ සමස්ත ඉන්දියාවම බුහුමන් කළ යුතු අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක්. ඉතින් බොහොම ස්තුති මහාචාර්ය ආදිත්‍ය ශර්මා ඔබගේ වටිනා කාලය කැප කළාට. ඒවගේම ඔබේ මේ විශිෂ්ට නිර්මාණයට නිසි තැන හිමිවී ඔබට තවදුරටත් සමස්ත මානව වර්ගයාගේම සුබ සිද්ධිය වෙනුවෙන් නව සොයාගැනීම් සිදු කිරීමට ශක්තිය දිරිය ලැබේවායි සී news නාලිකාව වෙනුවෙන් මම සුබ පතනවා! මම රේඛා සිං ,හමුවෙමු හෙටත් සුපුරුදු වෙලාවට. සුබ දවසක්!"'

මතු සම්බන්ධයි.....

Monday, December 30, 2013

මගේ හිතත් කියවන්න ( අට වන කොටස)

2014. 01. 06
වරණාසි

 ගංගා නම් ගඟ අසබඩ පෞරාණික දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට විශාල ජනකායක් රැස් කමින් සිටියේය.  සී news නාලිකාවට අයත් කහ පැහැති වෑන් රථයක් ගොඩනැගිල්ල අබියසට පැමිණි විට හඩ නගා තිරිංග තද කළේ කන් බිහිරි කරවන හඩක් නංවමිනි .  වෑන් රථයේ සිට ගොඩනැගිල්ලෙහි සවි කර තිබු සුවිසල් නාම පුවරුව දෙස රේඛා සිං දෙනෙත් යොමු කළාය.

මහාචාර්ය ආදිත්‍ය ශර්මා,
ප්‍රවීණ මනෝ උපදේශක,
අංක21/3,
ඇතුළු හරස් වීදිය,
වරණාසි.

රථයෙන් බිමට බට තරුණිය කැමරා කණ්ඩායම ද සමග සෙනග පීරාගෙන ගොඩනැගිල්ලට ඇතුළු වීමට නිරර්ථක උත්සහයක් දැරුවාය. ඇය වෙත රැස්ව සිටි ජනකායෙන් මහත් අප්‍රසාදයක් එල්ල විය.

'මැඩම් කරුණාකරලා පෝලිමේ එන්න" සෙනග හසුරවමින් සිටි තරුණයා ඇයට මදක් දැඩි ස්වරයෙන් කීවේය.

"මට විශේෂ appointment එකක් තියෙනවා. කරුණාකරලා මට යන්න දෙන්න" රේඛා සිං තම මාධ්‍යවේදී හැදුනුම්පත සහ කුඩා කුවිතාන්සියක් තරුණයාට පෙන්වමින් කීවාය.

"අපි පාන්දර පහේ ඉදන් මෙතන ඉන්නේ. නෝනලාගේ වැඩ හින්ද අදවත් එතුමාව හම්බවෙන්න වෙන්නේ නැහැ." මහලු කාන්තාවක් තරුණිය දෙස බලමින් කීවාය.

" පොඩ්ඩක් කලබල කරන නැතුව ඔහොම්මම  ඉන්න. මම මහාචාර්යතුමාට කියන්නම්.එතුමා අවසර දුන්නොත් වැඩිය අවුල් නොකර පෝලිමෙන් පිට පැනලා එන්න. මං ඉක්මනට එන්නම්" යැයි කියූ තරුණයා ගොඩනැගිල්ල තුළට අතුරුදහන් වීය.

ඔහු මිනිත්තු පහකින් පසුව  ආපසු පැමිණියේ සිනාමුසු මුහුණිනි.

"මැඩම්ගේ වාසනාව හොඳයි. මහාචාර්යතුමා කැමතියි programme එක කරනවට. හැබැයි සෙනග නම් ආපහු හරවලා යවන්න බැහැ කිව්වා"

"ආහ්හ් එකට කමක් නැහැ! බොහොම ස්තුතියි" රේඛාගේ මුහුණ ප්‍රීතියෙන් බැබලුණි.

Camera rolling! Action!                    

"  තවත් කෙනෙකුගේ සිත කියවීම සාමාන්‍ය දෙයක් නොවෙයි. ඒ සදහා අසීමිත චිත්ත බලයක් තිබිය යුතුය යන්නයි අප සියළු දෙනාගේම විශ්වාසය. පසුගිය මාස කිහිපය ඇතුළත ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම  අවධානය දිනා ගත පුද්ගලයෙක් සිටිනවා. ඔහු නමින් මහාචාර්ය ආදිත්‍ය ශර්මා. මනෝඋපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ඔහු තමා හමුවීමට එන පුද්ගලයින්ගේ සිතේ ඇති දේවල් සීයට සීයක් නිවැරදිව පවසන බවයි අපට දැනගන්න ලැබුණේ. ඔහු සිය උපදෙස් ලබාදෙන්නේ මෙම සූක්ෂම සිත් කියවීමෙන් අනතුරුවලු. ඉතින් අද සී news නාලිකාවේ මම ඇවිත් ඉන්නේ වරණාසි වල ඔහුගේ කාර්යාලය ඉදිරිපිටට. හැමදාමත් සත්‍ය සොයා ඒ ගැන ජනතාව දැනුවත් කරන "සත්‍ය ගවේෂි" වැඩසටහන තුළින් අප මේ සුදානම් වන්නේ ඔහු මේ හාස්කම සිදු කරන්නේ කෙසේද කියා සොයා බැලීමටයි. මද විරාමයකින් පසුව නැවතත් හමුවෙමු. රැඳී සිටින්න අප සමග!"


මතු සම්බන්ධයි....................



 

Sunday, December 29, 2013

මගේ හිතත් කියවන්න ( සත්වන කොටස)

                            දෙසැම්බරයේ සීතල සුළඟක් නවදිල්ලිය සිසාරා හමා ගියේය. එකිනෙක අභිබවමින් ඉදිවී තිබුණු ගොඩනැගිලි වල තැවරී තිබුණේ මලානික බවකි.
 
මහා හඩින් නැගුණ වාහන නළා ශබ්දයත් සමග ආදිත්‍ය  ගැඹුරු කල්පනා ලෝකයෙන් පියවි ලොවට පැමිණියේය. තමා සිටින්නේ කැලිෆෝර්නියා සරසවියේ නොව නවදිල්ලියේ බව ඔහුට අමුතුවෙන් වටහා ගැනීමට අවශ්‍ය නොවීය. අංජලී මුණ ගැසුණු අයුරුත් වෘත්තීය බැදීම පරයා යමින්  ඇය ඔහුගේ සමීපතම මිතුරියක බවට පත් වූ අයුරත් සිහි කිරීම පවා ඔහුට අස්වැසිල්ලක් ගෙන දුන්නේය. එහෙත් වර්තමානයේ ඔහු මුහුණ දී සිටින අර්බුදය ඔහුගේ හිතට ගෙන දුන්නේ බරකි.
 
 
" ඔය කල්පනා කිරිල්ල නවත්තල මං කියන දේත් පොඩ්ඩක්  අහනවද සර්?"
 
ආදිත්‍ය ව කෝප ගැන්වීමට සර් යැයි ඇමතීම අංජලීගේ පුරුද්දක් විය. නමුත් මේ මොහොතේ ඇය එසේ පැවසුවේ ඔහුගේ අවධානය යොමු කර ගැනීම සදහා ය.
               
" මේක හරිම අසාධාරණයි! මං ඇරුණුකොට කවුරුවත් පිළිගන්නේ නැහැ ඔයා හිත කියවන යන්ත්‍රයක් හැදුවයි කියලා. එත්  ඔයා ඒක මටවත් පෙන්වන්න සූදානම් නැහැ. මන්  ඕක හොරකම් කරයි කියලා නේද ඔයාට සැක? ඒක පාරක් ඔය යන්ත්‍රයෙන් මං ඔයාගේ හිත කියෙව්වහම මොකද වෙන්නේ?  "
 
" එහෙම එකක් නැහැ අංජලී. ඒකට වෙන හේතුවක් තියෙනවා. ඒක මට දැන්ම ඔයාට කියන්න බැහැ. මට ඔයාව විශ්වාස නැත්තම් මේ වැඩේට හවුල් කර ගන්නැතුවම ඉන්න තිබුණනේ.  එත් ඒ සේරටම කලින් මේ නිර්මාණය ලෝකෙට හදුන්වල දෙන්න ඕනේ. මිනිස්සු මේක විකාරයක් කියල බැහැර නොකරන විදිහකට! මේක හරියට වැඩ කරනවා මම ඒක දන්නවා.. එත් මේක වෙන විදිහකට ලෝකෙට එලි දක්වන්න ඕනේ. මෙහෙම හරි යන්නැහැ"
 
"ඔයාගේ හිතේ හොරයක් ඇති..එකනේ බැරි"
 
"ඕනේ එකක් හිතා ගන්නකෝ.. මේ වැඩේ විද්‍යාවෙන් කරන්න බැහැ වගේ " ඔහු කණස්සල්ලෙන් කීවේය.
 
" විද්‍යාත්මකව බැරි නම් අපි අවිද්‍යාවෙන් ඒ වැඩේ කරමු". අංජලී සිනා සෙමින් කීවාය.
 
" ඒ කිව්වේ?" 
 
"එකනේ, මන් ගාව අදහසක් තියෙනවා. කොහෙද මහාචාර්යතුමා ඒක අහන්න කැමති නැහැ නෙ .."
 
" ආයෙත් ඔය මහාචාර්යකම කියවන්නැතුව අදහස විතරක් කියනවද? මන් අහන්න අකැමැතියි කියල කිව්වේ නැහැනේ අංජලී." ඔහු සිනාමුසු මුහුණින් කීවේය
 
" හරි හරි කියන්නම්"
 
ආදිත්‍ය උන්නදුවෙන් ඇය දෙස බැල්මක් හෙළුවේය.
 
උපැස් යුවළ තුළින් ඇයගේ ප්‍රතිබිම්භය වෙනදාටත් වඩා පියකරුව ඔහුට පෙනුණි.


මතු සම්බන්ධයි.......

මගේ හිතත් කියවන්න ( සයවන කොටස)

" මහාචාර්යතුමා!!!!"

කොරිඩෝවේ පිටුපසින් ඇසුණ තරුණ කාන්තා කටහඬ නිසා ආදිත්‍ය ශර්මා ගමන් වේගය මදක් බාල කර ආපසු හැරුණේය.

"මහාචාර්යතුමා මට සමා වෙන්න ..ඇත්තෙන්ම මම දැනගෙන හිටියේ නැහැ ඒ ඔබ කියල.. ඔබේ පෙනුමේ තිබ්බ ලාබාල ගතිය නිසයි මට ඒ වැරදීම උනේ. අද කාලේ මහාචාර්යවරු ගොඩ දෙනෙක් අවුරුදු හැට පැනපු අය. ආදිත්‍ය ශර්මා කියනකොට මගේ හිතේ ඇදිල තිබ්බේ වයසක කෙනෙක්"

" ඕක අමතක කරලා දාන්න අංජලී . මට තාම විසි අටයි. ඔබ එහෙම හිතපු එකේ වරදක් නැහැ" ඔහු ප්‍රසන්න සිනහවකින් සංග්‍රහ කරමින් තෙපලුවේය.

තමාට වඩා සිව් වසරක් වැඩිමහලු වූ මෙවන් තරුණයෙකු මහාචාර්යවරයෙකු බව දැනගත් මොහොතේ සිට අංජලී තුළ ඔහු කෙරේ ඇති වුයේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟුමකි. ඇය සමාව අයදින සුළු බැල්මක් ඔහු වෙත හෙළුවාය.

"කැලිෆොර්නියානු සරසවියේදී මට හමු වෙන මගේ අත් උදව්කාරිය ඉන්දියානු කෙල්ලෙක් වෙයි කියල කව්ද හිතුවේ? මම බයේ හිටියේ මට සුදු ජාතිකයෙක් ලැබෙයි කියලා. කලින් වතාවේ මගේ සහයට හිටියේ අයිරිෂ් ජාතික කොල්ලෙක්. මං මිනිහගේ මස් කෑම හින්ද හරිම අමාරුවක වැටුණා. පර්යේෂණ අතරේ මන් බොන කිරි ජාති කන එළවලු ඒ ළමයට අප්පිරියයි, උදේට මම දෙවියන්ට කපුරු , පහන් පත්තු කරනකොට එයාට කිවිසුම් යනවා. හරිම අමාරුවෙන් තමයි එයත් එක්ක වැඩ කරේ"

" මට නම් ඔය සේරම හොඳට පුරුදුයි. කොච්චර විද්‍යාව ඉගෙන ගත්තත් , ඇමරිකාවේ හිටියත් සර් තාමත් හොඳ හින්දු ආගමිකයෙක් වගෙයි"

"එහෙමමමත් නැහැ. එත් ඉතින් ඒ දේවල් වලින් මට සතුටක් ලැබෙනවා. පොඩි කාලේ ඉදන් පුරුදු වුන දේවල්නේ.යමකින් අපට සතුටක් සැනසීමක් ලැබෙනාවානම් ඒවා කරාට වරදක් නැහැ නෙ. සර් නොකිය ආදිත්‍ය කියල මට කතා කරන්න. අංජලීගේ ගම කොහෙද?"

" මම දිල්ලි මයි සර්"

" ආයෙත් සර්"

" සමාවෙන්න ආදිත්‍ය, මට එහෙම කතා කරනකොට නිකන් හරි නැහැ වගේ."

" ගෞරවය තියෙන්න ඕනේ හිතේ මිසක් ආමන්ත්‍රණයේ නෙවෙයි නේද?"

" ඔව් එකත් ඇත්ත, එත් මට එහෙම පුරුදු නැහැ"

"එහෙනම් දැන් පුරුදු වෙන්න" ඔහු උපහාසාත්මක හඩින් කීවේය.

"අංජලී මොනවද මිනිස් හිත ගැන හිතන්නේ?" ඔහු මද වෙලාවකට පසුව ඇසුවේය.

"ඒක හරිම සංකීර්ණයි සර්,... ආදිත්‍ය!  නියුරෝන විද්‍යාවෙන් සමහර දේවල් විග්‍රහ කරන්න අමාරුයි"

" අංජලී හිතනවද මිනිස් හිත කියවන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයක් ඇති කියල?"

'ඔව් ස් ... ආදිත්‍ය එහෙම ක්‍රමයක් ඇති. එත් තාම ඒ තරමටම විද්‍යාව දියුණු නැහැ, අපේ දැනුම දියුණු නැහැ".

"ඇත්තෙන්ම ඔයා එහෙම හිතන එක ගැන මට සතුටුයි. එහෙනම් හෙට දේශන ඉවර වෙලා පර්යේෂණාගාරයට එන්න. අපට අලුත් project එකකට වැඩ කරන්න තියෙනවා"

"හොඳයි සර්.. සමාවෙන්න හොඳයි ආදිත්‍ය"

" හෙට එනකොට මගේ නම කියන්න ඔයිට වඩා හොඳට පුරුදු වෙලා තියෙයි කියලා මං විශ්වාස කරනවා"

කිසිවක් නොකියූ අංජලී සිනා සලමින් ඔහු සරසවි කොරිඩෝවෙන් නොපෙනී යන තුරු බලා සිටියාය.


මතු සම්බන්ධයි....

Saturday, December 28, 2013

මගේ හිතත් කියවන්න (පස්වන කොටස)

" කථිකාචාර්ය තුමිය ඇතුළට එන්න"

සාම්ප්‍රදායික ඇමතුම අනුව අංජලී රැස්වීම් කාමරයේ දොර සෙමින් විවර කර ගෙන ඊට ඇතුළු වුවාය.

"වාඩි වෙන්න" වයස්ගත මහාචාර්ය වරියක වූ  ඩයනා ඉන්ගල්ස්වර්ත්  ඇයට පැවසුවාය.


හිස නවා ස්තුතිය පල කළ  අංජලීගේ සිත මදක් නොයිවසිලිමත් විය.

" මට ගොඩක් සතුටුයි අංජලී මෙනවිය, ඔබේ නිබන්ධනය ප්‍රශස්ත මට්ටමක තිබුණා. අවුරුදු ගාණකින් මේ තරම් හොඳ එකක් මට කියවන්න ලැබිලා නැහැ. මට ගොඩාක් ආඩම්බරයි තරුණ පරම්පරාව ගැන. මන් හිතන්නේ අපේ මහාචාර්යතුමා එක්ක වැඩ කරන්න සුදුසුම කෙනා තමා ඔබ"

අංජලීගේ  මුහුණ සිනහවකින් එළිය විය.

" මහාචාර්ය ආදිත්‍ය ශර්මා ගැන අහල තියෙනවද?"

"ඔව්, මන් එතුමාගේ පොත් ගොඩක් කියවලා තියෙනවා. නමුත් දැකලා නම් නැහැ"

"මට දැන් විශ්‍රාම ගන්න කාලේ හරි. මගේ අනුප්‍රාප්තිකයා තමයි මහාචාර්ය ශර්මා. දැනට මේ ක්ෂේත්‍රය  සම්බන්ධයෙන් ලෝකෙ ඉන්න අංක එකේ බුද්ධිමතෙක්! තව ටිකකින් ඔහු  මෙතනට එයි."

" මහාචාර්යවරිය එසේ කියනවාත් සමගම කිසිවෙකු දොරට තට්ටු කළේය.

" ඇතුළට එන්න" ඇය උස් හඩින් කීවාය.

  කාමරයට ඇතුළු  වූයේ අංජලීට පුස්තකාලයේදී හමුවූ තරුණයාය.

"අංජලී, මේ තමයි මහාචාර්ය ආදිත්‍ය ශර්මා!"

ඇය අසුනෙන් ඉහළට එසවුණේ යාන්ත්‍රිකව මෙනි. ඇයට තම නෙත් අදහා ගත නොහැකිවිය. පුස්තකාලයේදී කිසිදු ගරු සරුවකින් තොරව ඔහුට කතා කිරීම ගැන සිහියට එත්ම  ඇයට  මහත් අපහසුතාවයක් දැනුණි.

" මහාචාර්යතුමා මම...... ඇත්තටම මම......"

" ඔබව හදුනා ගැනීමට ලැබීම සතුටක්" ඔහු සිනාමුසු මුහුණින් ඇයට අතට අත දුන්නේය.

"එදා මම ......."

ඔහු ඩයනා ඉන්ගල්ස්වර්ත්ට නොපෙනෙන සේ ඇයට කිසිවක් නොපවසන ලෙස සන් කළේය.

" මේ තමයි කථිකාචාර්ය  අංජලී. අර නිබන්ධනය ලියලා තියෙන්නේ ඇය. ඔන්න එහෙනම් මම ආදිත්‍යට හොඳම ගෝලයෙක් හොයල දුන්නා"  ඩයනා පැවසුවාය.

'"බොහොම ස්තුතියි මහචාර්යතුමියනි " ඔහු නිහතමානී ස්වරයකින් කීවේය.

"පුස්තකාලේදී අර සිද්ධිය උනේ නැහැ වගේ ඔහු හැසිරෙන අපූරුව. මොනවා උනත් හිත හොඳ මහත්මයෙක්. මං ඔහුගෙන් සමාව ගන්න ඕනේ පස්සේ" අංජලී සිතුවාය.


මතු සම්බන්ධයි........

Monday, December 23, 2013

මගේ හිතත් කියවන්න ( සිව්වන කොටස)

          හිස් ස්වභාවයක් ඉසිලු කියවීම් ශාලාවේ ආදිත්‍යට ඉදිරිපිටින් වූ මේසය මත ඇයගේ හුරුබුහුටි පසුම්බිය අමතක වී ගොස් තිබිණි. තමා කියවමින් සිටි පොත පසෙකින් තැබූ ඔහු එය අතට ගත්තේ මඳ චකිතයකින් යුතුවය. ඇය ඔහුට ඉදිරියෙන් අසුන්ගෙන සිටි නිසා ඔහුට ඇයගේ මුහුණුවර එතරම් මතක නැත. පසුම්බිය විවර කළ ඔහු එහි වූ සරසවි හැදුනුම්පත ඉවතට ගත්තේ ඉන් යම් හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණෙනි.


" කථිකාචාර්ය අංජලී කපූර්,
ජීව විද්‍යා අධ්‍යයනාංශය,
        කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය,
           අමෙරිකා එක්සත් ජනපදය.

ආදිත්‍ය හැදුනුම්පත දෙස බැල්මක් හෙළුවේය. ඉන්පසු එළඹුණු හදිසි තීරණයකට අනුව ඔහු වේගයෙන් පුස්තකාලය දෙසට පා තැබුවේය.

පොත් නිකුත් කරන කවුන්ටරය අසල යමක් සොයමින් සිටින අංජලීව හදුනා ගැනීමට ඔහුට අසීරු නොවීය.

සෙමින් උගුර පෑදු ඔහු දෙස ඇය ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් හෙළුවාය. ඔහුගේ අතෙහි වූ පසුම්බිය ඇයගේ නෙත ගැටුණේ එවිටය.

"මේක ඔයාට කියවීම් ශාලාවේ බැරි වෙලා ගිහින් තිබුණා"  ඔහු ඇයගේ රූමත් මුහුණ දෙස බලමින් මුදු ස්වරයෙන් කීවේය.

" අනේ ගොඩක් ස්තුතියි! මගේ සිහියේ හැටි ඔහොම තමා. නියුරෝන ගැන කියවන්න ගිහින් ඇත්තටම මගේ ඔලුව අවුල් වෙලාද කොහෙද?"

"එත් ඔයා ඒ subject එකට ආසයි නේද?

" ඔව් මං මේ නිබන්ධනයට කරුණු වගයක් හොයනවා. තාම හොඳ පොතක් හම්බුණේ නැහැ. හැම පොතකම තියෙන්නේ එකම සාම්ප්‍රදායික දේවල්. මන් හිතන විදිහට ගැළපෙන පොත් එකක්වත් නැහැ" ඇය නෝක්කාඩුවක ස්වරූපයෙන් කීවාය.

" හෙන්රි ලොක්හාර්ට්ගේ  "නියුරෝන විද්‍යාව පිළිබඳව නව ඇසකින්" කියන පොත කියවන්න. ඒක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ කෙළවරේම මනෝවිද්‍යා පොත් රාක්කේ. එකයි ඔයාට අහු වෙන්න නැත්තේ. ඒ පොතේ ගොඩක් හොඳ අදහස් තියෙනවා නිබන්ධනයක සාකච්ඡා කරන්න සුදුසු!"

"ගොඩක් ස්තුතියි හැම උදව්වකටම, මම ඒ පොත බලන්නම්. ඔයත් ඒ subject එකද ඉගෙන ගන්නේ? ඔයා ලෙක්චර්ස්ලගේ රූම් එකේ ඉන්නවා මං කවදාවත් දැකලා නැහැනේ"

" මම lecturer කෙනෙක් වගේ පේන්නේ නැත්තම් final year ළමයෙක් කියලා හිතා ගන්නකෝ, මං ගිහින් එන්නම්"

" කෝ නම වත් කිව්වේ නැහැ නෙ"

අංජලී එසේ පවසන විටත් ඔහු උපහාසය මුසු බැල්මක් හෙලා පුස්තකාලයේ තරප්පු පෙළ බැස ගොස් අවසන්ය.

" පිස්සු කොල්ලෙක්!" ඇය තමාටම මුමුණා ගත්තාය.


....................මතු සම්බන්ධයි............................







 

මගේ හිතත් කියවන්න ( තුන්වන කොටස)

අංජලීගේ කටහඩ සෙමින් තුනී වී යන්නාක් මෙන් ආදිත්‍යයට දැනුණි. ඔහු තම අතීත මතකයකට පිවිසුනේ ඔහුටත් හොරාය.

ආදිත්‍ය මොනවද ඔයා ඔය තරම් කල්පනා කරන්නේ? ඔයා මන් කියන දේ අහගෙන නෙවෙයි නේද ඉන්නේ?"

"අංජලී ඇයි ඔයා මට උදව් කරන්න හදන්නේ මෙච්චර?"

"ආහ්හ් එකද දැන් ඔයාගේ ප්‍රශ්නේ?"
ඔහු කිසිවක් නොකියා සෙමින් හිස සැලුවේය.

"මගේ academic වැඩ වලට ඔයා කොච්චර උදව් කරලා තියෙනවද? මන් ඔයාට ණයගැතියි ඒඋදව් වලට. එකයි මන් මේ වැඩේට ඔයාට උදව් කරන්නේ"

"බොරු කාරී!" ඔහු දඟකාර සිනාවක් පාමින් කීවේය.

" ආහ්හ් නැත්තම් මං මොකටද උදව් කරන්නේ? වෙන හේතුවක් නැහැ නෙ" අංජලී ඇගට පතට නොදැනී කීවාය.

" ඇත්තටම වෙන හේතුවක් නැද්ද?"

" මන්දා...." ඇය මිමිණුවාය.
කෙලින්ම ඔවුනොවුන් කිසිවක් ප්‍රකාශ නොකළද ඔවුන් දෙදෙනා බොහෝ සෙයින් සමීප වී ඇති වග දෙදෙනාම දැන සිටියහ. නමුත් එය ප්‍රේමයක් ලෙස එළිපිට ප්‍රකාශ කිරීමට තව කාලය අවශ්‍ය බව ආදිත්‍ය දැන සිටියේය. ඔහුට තවමත් ඇය මුණ ගැසුණා පමණි.

මීට මසකට පෙර ඇයව මුලින්ම මුණ ගැසුණු දිනය ඔහුට අද මෙන් මතකය.


2013.05.06
කැලිෆෝර්නියා සරසවිය                                    

 විද්‍යාර්ථීන් අධ්‍යනයන්ට නිතර පරිහරණය කරන කියවීම් ශාලාවක් විය.

 අංජලී එහි කොණක වාඩි වී නියුරෝන විද්‍යා පොතක් දිග හැර ගෙන සිටියාය. කියවීම් ශාලාව තුළ සිටියේ ඇයත් තවත් තරුණයෙකුත් පමණි. අවශ්‍ය පෑන් පැන්සල් ආදිය  පසුම්බියක දමාගෙන යාම කුඩා කළ පටන් අංජලී පුරුදු වූවකි. කල් ගත වුවත් ඒ පුරුද්ද ඇය කෙරෙන් දුරු වී නොතිබිණි. සුපුරුදු ලෙස අයගේ පසුම්බිය නියුරෝන විද්‍යා පොතට පිටුපසින් අනෙක් පොත් වලට පැත්තෙන් තබා තිබිණි.


භාර දිය යුතු නිබන්ධනය සිහියට එත්ම අංජලීගේ සිතට අපහසුතාවයක් දැනුණි. කථිකාචාර්ය වරියක ලෙස ඇයගේ අනාගතය නිබන්ධනයේ සාර්ථකත්වය මත රඳා තිබිණි.  නිබධනය සදහා හොඳ ප්‍රතිචාර ලැබුණොත් මහාචාර්යවරයෙකු යටතේ තව දුරටත් මෙම ක්ෂේත්‍රය ගවේෂණය කිරීමට ඉඩ ලැබේ.නිබන්ධන මාතෘකාව සම්බන්ධයෙන් අංජලී තුල දළ අදහසක් තිබුණද එය සාර්ථක වේ ද යන්න ගැන ඇය තුල වූයේ දෙගිඩියාවකි. ඒ සදහා බොහෝ පොත් කියවා දැනුම තර කර ගත  යුතුය.

මාස දෙකකින් ආපහු බාර නොදී දඩ ගොඩ ගැසුණු ඇල්බෙයා කැමූගේ පොත වහාම බාර දිය යුතු බව ඇයට සිහි වුයේ එවිටය. හුනස්නෙන් වහා නැගී සිටි අංජලී පොත් මිටියද දෝතින් ගෙන පුස්තකාලය දෙසට පිය මැන්නාය.

මතු සම්බන්ධයි.........................


 

Wednesday, December 18, 2013

මගේ හිතත් කියවන්න (දෙවන කොටස )

කන්තෝරු වලින් වැඩ කරවා ගැනීමේ පිළිවෙල අංජලී හොදින් දන්නීය. නමුත් අසාධාරණ මාර්ග වලින් හෝ දුෂිත පිළිවෙත් වලින් තම වැඩ  කරවා ගැනීමට ආදිත්‍ය තුල කිසිදු මනාපයක් නැත. පාසල් වියේ පටන්ම රැඩිකල් චරිතයක් වූ ආදිත්‍යට අසාධාරණකම් කිසිසේත්ම නොරුස්සයි. මෙතෙක් කාලයක් පමා  වෙමින් කන්තෝරු වලට බඩ ගැමට ඔහුට සිදු වූයේ එබැවිනි.

"ආදිත්‍ය , මොකද වූණේ?"

ඔහු සෝ බර මුහුණින් ආපසු පැමිණෙනු දුටු අංජලී ඇසුවාය.

"වැඩක්  වුණේ නැහැ"

"ඔය ආයෙත් උන් එක්ක රණ්ඩුවට පැටලුණාද?" 

"අද එතන හිටියේ වෙන මිනිහෙක්. ඒ මිනිහට සැකයි මගේ මහාචාර්ය කම යි නිර්මාණයයි මේ දෙකම ! අවිද්‍යාව රජයන රටක ඉපදීමේ පව තමයි මම මේ ගෙවන්නේ!"
'
"ඔයාට තරහ යනවා වැඩියි. ඒකයි මේ වැඩේ මෙච්චර අමාරු"

වංචාකාරයෙකුට වගේ මට කතා කරන කොට තරහා යන්නේ නැද්ද අංජලී?

"ඔයාගේ වයසටත් වැඩ ඔයා ගොඩාක් දක්ෂයි ආදිත්‍ය! අනික ඔය කන්තෝරු වල නිසි සුදුසුකමක් නැතුව ඔය තනතුරු වලට ආව මිනිස්සුන්ට විද්‍යාත්මක සොයා ගැනීමක වටිනාකම තේරෙන්නේ නැහැ"

"අපරාදේ අර පිටදේසක්කාර ඇමෙරිකන් කාරයින්ට මේක කීයකට හරි විකුණලා දම්ම නම් ඉවරයි. මගේ දේශාභිමනෙන් තුට්ටුවක වැඩක් නැහැ. තමන්ගේ රටේ මිනිහෙකුට වටිනාකමක් දෙන්න අපේ මිනිස්සු දන්නේ නැහැ අංජලී"

"මන් දන්නවා ඔයාට දැන් තරහ ගිහින් ඉන්නේ, නමුත් මන් ඔයාට ඒවගේ මෝඩ තීරණයක් ගන්න ඉඩ තියන් නැහැ"

"මං වෙන මොනවා කරන්නද? මට දැන් මේක එපා වෙලා තියෙන්නේ"
තමා ආදරයෙන් ඇති දැඩි කළ දරුවෙකු සමාජය තුළ ප්‍රසිද්ධියේ අපහාසයට ලක් වූ විට මවකට ඇති වන හැගීමට සමාන හැගුමක් ආදිත්‍ය තුළ විය. එය සිහිවන වාරයක් පාසා ඔහු තදබල වේදනාවකට සහ කළ කිරීමකට පත් විය.

"මං ගාව ඊට වඩා හොඳ සැලැස්මක් තියෙනවා" ස්වභාවයෙන්ම රූමත් තරුණියක වූ අංජලීගේ මුවින් ප්‍රභාමත් සිනහවක් මතුව ආවේය.



මතු සම්බන්දයි...........................

Monday, December 16, 2013

මගේ හිතත් කියවන්න! (පළමු කොටස)


2013. 06.06

නවදිල්ලිය

 අවුල් වූ හිසකෙස් අතින් සකසා ගෙන කපු කමිසයක් හා ඩෙනිම් කලිසමක් ඇඳ සිටි ආදිත්‍ය ශර්මා මහල් හතකින් යුත් තමා ඉදිරිපිට වූ දැවැන්ත ගොඩනැගිල්ල දෙස බලාපොරොත්තු දැල්වුණ දෑසින් බැලුවේය.

පහළට වැටෙමින් තිබූ උපැස් යුවළ ඇඟිල්ලෙන් නිසි තැන පිහිටුවා ගත් තරුණ මහාචාර්යවරයා ගොඩනැගිල්ල තුළට පිවිසියේ බරැති මල්ලක් ද අතැතිව ය.

රසකැවිල්ලක් ගිජු ලෙස සපමින් සිටි නිලධාරියා ඔහු දෙස නුරුස්සනා බැල්මක් හෙළීය.

මම මහාචාර්ය ආදිත්‍ය ශර්මා. පේටන්ට් බලපත්‍රයක් ඉල්ලලා දැන් මාසෙකටත් වැඩියි. තාම කිසිම පිළිතුරක් නැහැ, කරුණාකරලා මට මගේ නව නිර්මාණය ලියාපදිංචි කර ගන්න පුළුවන් ද?

තවමත් විසි අට වන විය නොඉක්මවූ තරුණ මහාචාර්යවරයා දෙස ඔහු හෙළුවේ මෙවැනි කජු කිරි කොල්ලන්ට මොන නව නිර්මාණද කියන්නාක් වැනි වූ බැල්මකි.

ඔහේට වයස කීයද? ඔහු කිසිදු ගරු සරුවකින් තොරව ඇසුවේය.

විසි අටයි!

අවුරුදු විසි අටයි, මහාචාර්ය! තමුසෙ හිතුවද අපිව මේ තරම් ලේසියෙන් අන්දන්න පුළුවන් කියලා?

ඔහු ඌරෙකු මෙන් හිස සලමින් කය කෙළින් කර ගන්නා ගමන් ඇසුවේය.

ආදිත්‍ය ශර්මා මුවෙන් නොබැණ කැලිෆෝනියානු සරසවියෙන් නිකුත් කෙරුණු හැඳුනුම්පත මේසය මත තැබුවේය.

එයින් ද නිලධාරියා මෙල්ල වුණ බවක් නොපෙනුණි.

බොරු එකක් නේද?
දැඩි සේ කෝපයට පත්ව සිටි ආදිත්‍ය කිසිත් නොකියා සමච්චල් සහගත සිනහවක් නැගුවේය.

                                  *************

"හොඳයි බොරු එකක් උනත් ඒකෙන් මට ඇති වැඩක් නෑ, මොකද්ද ඔය භාණ්ඩේ?"

"මේ යන්ත්‍රයෙන් කෙනෙක්ගේ සිත කියවන්න පුළුවන්".

ආදිත්‍ය  සිය බෑගයට තට්ටු කරමින් කීවේය

නිලධාරියාගේ  මුවින් නික්මියේ සරදම් සිනහවකි.

"තමුසෙ කීයටවත් මහාචාර්ය කෙනෙක් වෙන්න බැ, ඒක මූණ බැලුවහම කියන්න පුළුවන්, මන් මේ කල්පනා කරේ ඔහෙට තියෙන මොලේ අමාරුව මොකක්ද කියල. අනුන්ගේ හිත කියවන්න තමුන් දෙවියෙක්ද?"

මම මිනිස් මොළය' ඒක ක්‍රියා කරන හැටි, ස්නායු පද්ධතිය... මේ හැම දෙයක් ගැනම අවුරුදු ගාණක් පර්යේෂණ කරලා තමයි මේක නිර්මාණය කලේ. මේක නිවැරදියි! ඉබාගාතේ යකඩ ගොඩක් උස්සන් ඇවිත් පේටන්ට් අයිතියක් ඉල්ලන්න තරම් පිස්සෙක් නෙමෙයි මම. මේක මුළු ලෝකෙටම වටිනා සොයා ගැනීමක්. නමුත් මේ ගැන සම්පුර්ණ විස්තර කියන්න පුළුවන් මගේ නෛතික අයිතිය තහවුරු උනාට පස්සේ විතරයි!

"ෂා බලන් ගියාම අපූරු විජ්ජාකාරයෙක් නෙ"

මම විජ්ජාකාරයෙක් නෙවෙයි විද්‍යා කාරයෙක්! මේක විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක්!"

ආදිත්‍ය කෝපයෙන් අඳුරු වුනු මුහුණ  ඔහු දෙසට ලං කරමින් කීවේය.

"මිහිපිට කාටවත් අනෙක් අයගේ හිත කියවන්න බැහැ, දෙවියන්ට ඇරුණුකොට! පව් කතා කියවලා මගේ ලේ කෝප කරන්නෙතුව යනවා යන්න මෙතැනින්!"

"මට මේ සැලකුව විදිහ ගෙන තමුසෙට ළඟදීම දවසක පශ්චත්තාප වෙන්න වෙයි! මතක තියා ගන්නවා මගේ නම ආදිත්‍ය ශර්මා" 

ආදිත්‍ය ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේ  කෝපයෙන් දත් මිටි කමින්ය. ජීවිතයේ ප්‍රථම වතාවට ඉන්දියානුවෙකු වී ඉපදීම සම්බන්දයෙන් ඔහු තමාටම සාප කර ගත්තේය.
 
~~~~~~~~~~ මතු සම්බන්ධයි~~~~~~~~~~~~~~~`