.........towards the stream of thoughts

Saturday, June 12, 2021

තරුණ ආදිපාදතුමාගේ කතාන්දරය - ෂර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු අංක 18

 එය වසන්ත ඍතුවේ පැහැබර සන්ධ්‍යාවක් විය. කොරෝනා වසංගතය නිසා චිකිත්සාගාරයේ කටයුතු මඳක් අඩු වූයෙන් මම බේකර් වීදියේ අපේ හුරු පුරුදු නවාතැනට පැමිණියෙමි. දෑත් සෝදා ගෙන මා දොර විවර කරගෙන  අනාරාධිතවම විසිත්ත කාමරයට පිවිසුණේ ලන්ඩනයේ අංක එකේ අපරාධ පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් පා ගැටෙන හඬින් ම මා පැමිණෙන බව දන්නා බැවිනි.

"ආයුබෝවන් මගේ හිත මිත්‍ර වොට්සන් .ඔබේ සුපුරුදු අසුනේ ම වාඩි වෙන්න මිත්‍රයා " හාන්සි පුටුවේ වාඩි වී  ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගත් කුරුඳු සුරුට්ටුවක් දෙතොලේ රුවා ගෙන හුන් හෝම්ස් මදෙස බලමින් පැවසීය.

" මට පෙනෙන්නෙ දැන් ටිකකට කලින් අනුග්‍රාහකයෙක් ඔබ හමුවෙන්න ඇවිත් ගිහින් වගේ" මම සිනාමුසු මුහුණින් පැවසුවෙමි.

" ඔබ කොහොමද ඒ බව නිගමනය කළේ?"                  

" ඒක බොහොම සරලයි. මමත් ඔබේ නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹීමේ ක්‍රමවේදය අනුගමනය කළා. බලන්න ඔබේ නිවසේ පියගැටපෙළට පිවිසෙන තැන තිබෙන වතුර කරාමය අවට හොඳටම තෙත් වෙලා.  ඒකෙන් පැහැදිලි වෙන්නෙ මීට ටිකකට කලින් අනුග්‍රාහකයෙක් ඔබ හමු වෙන්න ආ බවත් ඔහු දෑත් සෝදාගෙන නිවසට ඇතුළු වුණු බවත්"

" බොහොම කනගාටුයි මිත්‍රයා. මෙවරත් ඔබේ නිගමනය වැරදියි. ඔය වතුර කරාමයේ ජල නළ පද්ධතියේ කාන්දුවක් නිසා තමයි එතැන වතුර රැඳිලා තියෙන්නෙ. මම අද උදේම හඩ්සන් මහත්මියට කිව්වා ජල නළ කාර්මිකයෙක්ට පණිවිඩයක් යවන්න කියලා"

" ආහ් ඒකත් එහෙමද?"

"මගේ නිරීක්ෂණ නිවැරදි නම් ඔන්න දැන් එනවා අපේ අනුග්‍රාහකයා" හෝම්ස් සතුටින් දෑත් පිරිමැද්දේය.

බේකර් වීදියේ නිවාස වල අංක පරීක්ෂා කරමින් හිස එළියට දමාගෙන  පැමිණි  අමුත්තා පුභූවරුන් පරිහරණය කරන අශ්වයින් දෙදෙනෙකුගෙන් යුත් සුවපහසු කරත්තයකින් ඉවතට පැමිණියේය. රථය ඈතින් නවතා ගන්නා ලෙස සන් කළ ඔහු වේගයෙන් තරප්පු පෙළ නැග විසිත්ත කාමරයට පිවිසියේ මලල ක්‍රීඩකයෙකුගේ ස්වරූපය පෙන්නුම් කරමිනි.

අපගේ තරුණ ආගන්තුකයා අඩි හයක් පමණ උස හැඩි දැඩි සිරුරකින් හෙබි කඩවසම් තැනැත්තකු විය.

" ෂර්ලොක් හෝම්ස් මහත්මයා..." ඔහු මාරුවෙන් මාරුවට හෝම්ස්ගෙත් මගෙත් මුහුණු දෙස බලමින් කීවේය.

" මම හෝම්ස්.. මේ මගේ සගයා සහ සහයකයා දොස්තර වොට්සන්"

" හෝම්ස් මහත්මයා මම ඔබව හමු වෙන්න ආවෙ මගේ ජීවිතය සම්බන්ධයෙන්  ඉතාම වැදගත් කාරණවකට.  මේකට කිසිම අපරාධයක් ගෑවිලා නැහැ. මට ඕනෙ ඔබතුමාගෙන් ප්‍රායෝගික විසඳුමක්"

" ඔතනින් වාඩිවෙන්න ආදිපාදතුමා , අපට මුල ඉදන් පිළිවෙලට ඔබේ ගැටලුව කියන්න"

"  මම ඩෙවන්ෂයර් ආදිපාදවරයා. මගේ පියාට අවුරුදු හැත්තෑව සම්පූර්ණ වීමත් සමඟ පාරම්පරික වතු පිටි දේපළ සියල්ල පරිපාලනය කිරීම මට පැවරුවා. මගේ නැගණිය විවාහයෙන් පසු ප්‍රංශයට සංක්‍රමණය වීමත් මව මිය යාමත් නිසා දැනට අපේ පවුලෙන්  එංගලන්තයේ ඉතිරිව සිටින්නෙ අවිවාහක මා සහ  මගේ පියා  පමණයි"

" ඔබගේ දේපළ පරිපාලනය කිරීම සුළු පටු කටයුත්තක් නොවන බව පැහැදිලියි"

"ඒක හරි හෝම්ස් මහත්මයා. නමුත් ගැටලුව හාත්පසින්ම වෙනස් දෙයක්. මා ලබන සතියේ  කැතී මෙනවිය සමඟ විවාහ ගිවිස ගැනීමට නියමිත වෙලා තිබ්බෙ. මුලු දකුණු ලන්ඩනයේ ම ඉඩම් අයිති ඇයගේ පියාට කිව්වොත් ඒකෙ ඒ හැටි වරදක් නෑ. "

" දැන් මොකක්ද ඔබේ විවාහ ගිවිස ගැනීමට  මතු වෙලා තියෙන බාධාව"

" ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව නිම කළේ  ඇයගේ අවශ්‍යතාව  අනුව දියමන්ති ඔබ්බවලා.  මට ඔය ආභරණ ගැන වැඩි දැනුමක්  නැති නිසා  මම කිව්වා ඇය කැමති විදිහට එය සකස් කරගන්න කියලා. දෙයියෝ සාක්කි හෝම්ස් මහත්මයා  ගෝල්ඩන් බිල්ඩින් ස්වර්ණාභරණ සමාගමෙන්  ලදුපත ලැබුණාමයි දෙලොව රත් වුණේ"

" ඒ කියන්නෙ ඒ තරමටම මුදුව මිලෙන් වැඩියි?"

" ඔව් හෝම්ස් මහත්මයා දැනට බටහිර ලන්ඩනයේ අපේ මන්දිරයේ වටිනාකමත් ඊට අඩුයි. මම ආදිපාද කෙනෙක් වුණත් මගේ පියා සූදුවට ඇබ්බැහි වෙලා විශාල මුදලක් නාස්ති කර ගත්තා. ඒ නිසා එපමණ වියදමක් දරන්න මට  හැකියාවක් නැහැ. එවැනි  වියදම්කාරී කෙනෙක් මට ගැලපෙන්නෙ නැති බව මට තේරෙනවා. නමුත් මට ඕනෙ මේක අවමානයක් නොවෙන විදිහට බේරුම් කරගන්න. මට මුල් වෙලා මේ විවාහය නවත්වන්න බැහැ හෝම්ස් මහත්මයා. "

" හොඳයි මම ඔබේ ගැටලුව විසඳීමට බාර ගන්නවා. මට තොරතුරු ටිකක් ඔබෙන් දැන ගන්න තියෙනවා" සටහන් පොත දිග හැර ගත් හෝම්ස් තරුණ ආදිපාදතුමාට පැවසීය.

ඉන්පසු හෝම්ස් ඔහුගෙන් විමසූයේ කැතී මෙනවියගේ රුචි අරුචිකම් පිළිබඳව ප්‍රශ්න ගණනාවකි.  ඩේලි ගැසට් පුවත්පතේ පළවූ පොල් තෙල් යෙදූ කෑම වල අහිතකර ප්‍රතිඵල ගැන ලියවුණු ලිපියක් කෙරෙහි මගේ අවධානය යොමු කළ හෙයින් මට ඔවුන්ගේ සංවාදය පැහැදිලිව නොඇසිණි. 

පසුදින උදෑසනම සන්ධි ප්‍රදාහයෙන් පෙළෙන රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා මම අපේ නවාතැනින් පිටතට පැමිණියෙමි. කොහෙන්දෝ පැමිණි ජේත්තුකාර තරුණයෙක් මගේ ඇඟේ හැපුණේය. ආචාරශීලීව සමාව ඉල්ලූ ඒ කඩවසම් තරුණයා කරත්තයක නැඟී හාර්ලි වීදිය දෙසට නොපෙනී ගියේය.   

පසුගිය සතිය පුරා චිකිත්සාගාරයේ වැඩ වල සිරවී සිටි මා ලද සුළු විවේකයකදී බේකර් වීදිය වෙත ගියෙමි. 

මා බේකර් වීදියේ උඩු මහලට පැමිණෙන විට හෝම්ස් හාන්සි පුටුවට වී සිවුරුහන් කරමින් සිටියේය.

" හෝම්ස් මගේ මිත්‍රයා.. කොහොමද අර එදා ගෙනාව ආදිපාදතුමාගෙ ප්‍රශ්නෙ ?"

" අපොයි  ඒ වැඩේ හරි"

" මෙච්චර ඉක්මනින්?"

"ඒක බොහොම සරලයි මිත්‍රයා . අපේ අනුග්‍රාහකයාට හානියක් නොවන පරිදි විවාහය නොකෙරෙන තැනට වැඩ සිද්ධ වුණා"

" හෝම්ස් ඔබ කොහොමද එහෙම කළේ?"

" කැතී මෙනවියට පහුවදා උදේම අහන්න ලැබුණාලු සූවස් ඇළේ නෞකාවක් හිර වෙලා නිසා ඇයගේ දියමන්ති මුදුව දකුණු අප්‍රිකාවේ සිට එංගලන්තයට ළඟා වීමට තව මාසයක් කල් ගත වෙන බව. ඒ නිසා කෝපයට පත් ඇය වහාම විවාහ ගිවිස ගැනීම අවලංගු කරලා"

" මේ වගේ දෙයක් නිසා ඇයි ඇය විවාහය අවලංගු කළේ. "

"  ගෝල්ඩන් බිල්ඩින් ස්වර්ණාභරණ  සමාගමේ අලෙවි කළමණාකරු ජෙරී ටේලර් සතියක වෙලේ ඉදන් ඇයගේ හිත හොරාගත් නිසා වෙන්නත් පුළුවන්"

" ජෙරී ටේලර් ?" මම අදහා ගත නොහැකිව හෝම්ස්ගේ මුහුණ දෙස බැලුවෙමි.

" එදා  බේකර් වීදියෙන් එළියට බහිද්දි ඔබේ ඇඟේ හැපුණු ජෙරී ටේලර් නොහොත් ෂර්ලොක් හෝම්ස්"

" දෙයියෝ සාක්කි හෝම්ස් ඔබ ඒ ගෑනු ළමයව රවටපු එක නම් වැරදියි"

"අපේ අහිංසක තරුණ අනුග්‍රාහකයා වෙනුවෙන් මම ඒ පාපය බාර ගන්නවා" හෝම්ස් මගේ පිටට තට්ටු කරමින් කීවේය.

©ධරණී උපේකා වීරසේකර 

නිමි

ෂර්ලොක් හෝම්ස් සහ ගිලන් ඇඳේ වික්‍රමය - රහසිගත ලිපිගොනු 66

 එය මැයි මස අඳුරු වැහිබර දිනයක් ලෙස මගේ මතකයේ හොඳින් සටහන් වී තිබේ.   මගේ හිතමිත්‍ර ෂර්ලොක් හෝම්ස්ගේ හැඳුනුම්පතෙහි අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් වීම නිසා අද දින බැහැර යාමට අවසර තිබුණේ ඔහුට පමණි.   ගිනි උඳුන් පඩිය මත හෝම්ස් තබා ගිය රාජකීය මාධ්‍ය නිවේදන කියවීමේ අත්පොත පරිශීලනය කරමින් සිටි මා හට තද හිසේ රුදාවක් වැළඳිණි.  වැහිබර ගතියත් තද හිසේ ඇම්මත් නිසා මම නින්දක් ලැබීමේ අරමුණින් උඩු මහලට ගියෙමි.

බේකර් වීදියේ අපගේ සුපුරුදු නිදන කාමරයේ සුව නින්දක් ලබමින් සිටි මා තිගැස්සී අවදි වූයේ කිසිවෙකු මහ හඬින් දොරට තඩිබාන ශබ්දයත් සමඟ ය. ඉන් තත්පර කිහිපයකට පසු බිලී නිදන කාමරය අසලට පැමිණ මට කතා කළේය.

" වොට්සන් මහත්මයා ...වොට්සන් මහත්මයාව මුණ ගැහෙන්න කවුද මහත්මයෙක් ඇවිත්"

ඔහොම පොඩ්ඩක් විසිත්ත කාමරයේ  ඉන්න කියන්න බිලී. මම ඉක්මනින් එන්නම්.

ලිහිල් කලිසමක් සහ කපු  කමිසයකින් සැරසී මා පහළ මාලයට බසින විට මගේ නෙත ගැටුණේ මා හිත මිතුරු වෛද්‍ය අර්නස්ට්රූදර් ය.

" අර්නස්ට් මොකද මේ අවේලාවෙ?"

ඔහු මැලවුණු මුහුණින් කතාව පටන් ගත්තේය.

" මට ඔබේ මිත්‍රයා හෝම්ස්ගෙන් ලොකු උපකාරයක් අවශ්‍යයි"

" හෝම්ස් නම් මේ වෙලාවෙ දුම්කොළ  ගේන්න එළියට ගිහින්. තව ටිකකින් එයි"

මා එසේ පවසමින් සුපුරුදු අසුනේ හිඳ ගත්තා පමණි. සිහින් හඬින් ගීයක් මුමුණමින් හෝම්ස් විසිත්ත කාමරයට ඇතුළු විය.

" ආහ් අර්නස්ට් මොකද්ද ඔබ මට අරගෙන ආව හදිසි ගැටලුව"කිසිවක් පැවසීමටත් පෙරාතුවම ඔහු හාන්සි පුටුවේ දිගා වී විමසුවේය.

" මේක මගේ පුද්ගලික ගැටලුවක් හෝම්ස් මහත්මයා . මේක ඉක්මනින් රහසිගතව විසඳ ගන්න ඕනෙ"

"හොඳයි ඔබේ කතාව මුල් ඉදන් කියමු බලන්න"

"මේ සිද්ධිය වුණේ අද දවල් 2ට විතර. මම කොවිඩ් රෝගීන් සම්බන්ධ ප්‍රතිකාර වලට හවුල් වෙන බව ඔබතුමා දන්නවනෙ. ඒ නිසා අද හරිම කාර්‍යබහුල දවසක්. මම වාට්ටුවෙ වැඩ ඉවර කරලා සාමාන්‍යයෙන් අත් ඔරලෝසුව ගලවලා ලාච්චුවට දාලා මුහුණ කට සෝදගෙන තමයි කෑම ගන්නෙ"

"මේක ඔබේ සාමාන්‍ය පුරුද්දක් ද නැත්නම් කොවිඩ් නිසා පටන් ගත්ත දෙයක් ද?"

" නැහැ ඒක මගේ සාමාන්‍ය පුරුද්දක් . මම පළඳින පතේ පිලිප්ස් වර්ගයේ රන් අත් ඔරලෝසුව මගේ  මව් පාර්ශවයේ මිත්තණියගෙන තෑගි ලැබුණු එකක්. මම එය දිනපතා පළඳින්නෙ ඇයව සිහිවෙන්න. සාමාන්‍යයෙන් මම ගෑරුප්පුව හසුරවන විදිහ නිසා ඔරලෝසුවේ මුහුණත පලුදු වීම් කිහිපයක් වුණා. ඒ නිසා තමයි මම ආහාර ගන්න විට ඔරලෝසුව ගලවලා තියන්නෙ"

"හොඳයි ඔබේ කතාව දිගටම කියාගෙන යන්න"

"අදත් සුපුරුදු විදිහට මම ආහාර අරගෙන අවසන් වුණා. නමුත්  රෝගියෙකුගේ ශ්වසන අපහසුතාවයක් නිසා මම ආපසු ඔරලෝසුව පැළඳ ගන්නෙ නැතුව තමයි ආපහු වාට්ටුවට දිව්වෙ. එතන කාර්යය අවසන් වෙලා ආපහු මගේ කාමරයට එද්දි විනාඩි විස්සක්වත් ගත වෙන්න ඇති. නමුත් ලාච්චුව ඇරලා බලද්දි ඔරලෝසුව එතැන නෑ"

"ඔබ ඒක හරියට පරීක්ෂා කළාද?"

"ඔව් හරියටම බැලුවා හෝම්ස් මහත්මයා. මම මේක හැමදාම කරන දේ නිසා වරදින්න විදිහක් නෑ. මම ඔරලෝසුව වෙන කොහේවත් වැරදීමකින් තිබ්බෙ නැති බව මට සීයට සීයක් විශ්වාසයි. මෙතන හොරකමක් වෙලා තියෙනවා. මට මගේ ඔරලෝසුව හොයා ගන්න ඔබතුමාගෙ උදව් ඕනෙ. ඒක මට භෞතික සහ ආධ්‍යාත්මික වටිනාකමක් තියෙන දෙයක්. ඒකයි මේ වැඩ අස්සෙම මම දුවගෙන ආවෙ"

හෝම්ස් මෙතෙක් වෙලා අඩවන්ව තුබූ දෑස් විවර කළේය.    

"ඔබේ කොවිඩ් වාට්ටුවෙ රෝගීන් කී දෙනෙක් ඉන්නවද?"

" දැනට ඉන්නෙ හය දෙනයි හෝම්ස් මහත්මයා. පෙරේදා උදේ තමයි ගිලන් ඇඳවල් ගෙනත් මේක කොවිඩ් රෝගීන්ට අතරමැදි ප්‍රතිකාර සිදු කරන වාට්ටුවක් හැටියට පටන් ගත්තෙත්. ඒත් මේ රෝගීන්ගෙ විනය නම් අන්තිමයි. කොච්චර කිව්වත් වාට්ටුව පුරාම ඇවිදිනවා"

" ශ්වසන ආබාධය ඇති වුණේ කාටද? "

"පිරිමි රෝගීන් සිටි කොටසේ රිකී බෝල්ඩ්වින් කියන හැත්තෑ වියැති මහත්මයාට. ඔහුව වහාම  කිංග්ස් ලෝයල් රෝහලට මාරු කර යැව්වා. ඉතිරි රෝගීන්ගෙන් තිදෙනෙක් කාන්තාවන්."

" අනෙක් පිරිමි රෝගීන් කොයි වයස්වල කොහොම සෞඛ්‍ය තත්ත්වයක ඉන්න අයද?"

"එලන් හැරියට් වයස හැට පහයි ඔහු කෘත්‍රිම පාදයක් ආධාරයෙන් ඇවිදින්නෙ. විශ්‍රාමික සොල්දාදුවෙක්. දෙවෙනි රෝගියා ස්ටීව් ඉංගල්ස්වර්ත් වයස අවුරුදු අසූ එකයි. දියවැඩියා රෝගියෙක්. ඔහු  වැවිලිකරුවෙක් බවයි මට දැනගන්න ලැබුණේ .ඔහුගේ තත්ත්වය එතරම් සතුටුදායක නැහැ. තුන්වෙනියා බෙන් ඩිකින්සන් වයස අවුරුදු විසි එකයි. රැකියාවක් කරන බවක් නම් පේන්න නෑ. නමුත් මේ වාට්ටුවට ආව දවසෙ මම කෑම කන වෙලාවෙ මේ හාදයා එක්ක කතාවට වැටුණා.ඔහු කිව්වෙ කොවිඩ් රෝගීන්ට ගිලන් ඇඳවල් හදන්න ගිහින් තමා වෛරසය ආසාදනය වුණේ කියලා"                               

" හොඳයි අර්නස්ට් එහෙනම් දැනට මේ තොරතුරු ප්‍රමාණවත්. තවදුරටත් ඔබව මෙහෙ රස්තියාදු කරන්න අවශ්‍ය නෑ. ඔබේ ගැටලුව විසඳුණා කියලා හිතාගන්න"                          

" එතකොට හෝම්ස් මහත්මයා ඔරලෝසුව"

"ඒක ගැන වද වෙන්න එපා. තව පැය භාගෙකට කලින් ඒක ඔබේ අතට ලැබේවි"

අර්නස්ටෲදර් නික්ම ගිය පසු හෝම්ස් ගිනි උඳුන ළඟ තිබූ යකඩ අඬුව අතට ගත්තේය.

" හෝම්ස් ඔබට ඕනෙ නම් මං ළඟ හමුදා රිවෝල්වරය තියෙනවා"

" අපොයි ඕනෙ නැහැ මිත්‍රයා. නමුත් විශේෂ කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් නම් ඕනෙ වෙයි"

" අපි වාට්ටුව ඇතුළට යනවද?"

"ඔව් අපි දෙන්නම මිත්‍රයා" හෝම්ස් සිනාවක් පාමින් පැවසුවේය.

කිසිවක් සිතා ගත් නොහැකි වූයෙන් මම හෝම්ස් සමඟ කුලී රථයක් නැගී අර්නස්ට් සේවය කළ වාට්ටුවට ළඟා වුණෙමි. හනික ආරක්ෂිත ඇඳුම් කට්ටලයෙන් සැරසුණු අපි දෙදෙනා වාට්ටුවට ඇතුළු වුණෙමු.

ඇඳ ඉහපත් පරීක්ෂා කරමින් ඉදිරියට ඇවිදගිය හෝම්ස් නිදා හුන් රෝගියෙකු අසල නැවතී අර්නස්ටෲදර් ට සන් කළේය. ඉන්පසුව ඇඳ මත හුන් රෝගියාද නොතකමින්  හෝම්ස් තමා රැගෙන ආ අඬුවෙන් ඇඳ විට්ටමට සියුම් පහරක් එල්ල කළේය. 

ඇඳේ යකඩ කොටසක් ඉවතට පැන්නෙනු දුටු රෝගියා මාරාවේශ වූවෙකු මෙන් හෝම්ස් වෙතට පැන්නේය. වහා ක්‍රියාත්මක වූ මා මගේ අතිජාත මිත්‍රයා වෙතට පිනූ ආසාදිතයා වෙත පහරක් එල්ල කළේ වෛද්‍ය  ආචාර ධර්ම ද පසෙක ලමිනි.

ඒ ඇසිල්ලෙන් හෝම්ස් ඇඳ විට්ටමේ විවරය තුළට අත දමා අර්නස්ටෲදර්ගේ පවුම් දහස් ගණනක් වටිනා රන් ඔරලෝසුව ඉවතට ගත්තේ ජයග්‍රාහී රාවයක් නඟමිනි.

"හෝම්ස් මට හිතා ගන්නවත් බැහැ කොහොමද හරියටම හොරාව හොයා ගත්තෙ කියලා" 

" ඒක හරිම සරලයි මිත්‍රයා. අර්නස්ටෲදර් රන් ඔරලෝසුව ගළවලා ලාච්චුවෙ දාලා  ආහාර ගැනීම මෙහෙ හැමෝටම සාමාන්‍යයයි. හොරා ස්ථිර කාර්‍ය මණ්ඩලේ කෙනෙක් වෙන්න බැහැ. එතකොට පිටින් ආවෙ රෝගීන් විතරයි. අර්නස්ට් මේ වෙලාවෙ කාමරේ නෑ කියලා හරියටම දන්නෙ පිරිමි වාට්ටුවෙ අය. මොකද ශ්වසන අපහසුව බලන්න ආව වෙලේ අර්නස්ට්ගෙ අතේ ඔරලෝසුව නැති බවත් ඔවුන් දකිනවා. ඒත් ඒක ලාච්චුවට දාලා අඟුලු නොදා නිකම්ම තියෙන බව දන්නෙ කෑම වෙලාවෙ ඔහුත් එක්ක මීට කලින් කතා කරපු බෙන් ඩිකින්සන් විතරයි"

" හරි ඒත් ඔරලෝසුව මෙතන හංගලා තියෙන බව හරියටම දැන ගත්තෙ කොහොමද ?"

" මගේ ආදරණීය වොට්සන් ගිලන් ඇඳේ විට්ටම ඇතුළේ හොර භාණ්ඩයක් හංගන්න පුලුවන් විවරයක් තියෙනවා කියලා දන්නෙ වෙන කවුද ඇඳ හදපු කෙනා මිසක්"

" මට තේරෙන්නෙ නෑ මේ උදව්වට ඔබතුමාට කොහොම ප්‍රතිඋපකාර කරන්නද කියලා" අර්නස්ටෲදර් හැඟුම්බරව කීවේය.

" ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකම අපි දෙන්නට අරන් දෙන්න ඒ හොඳටම ඇති" හෝම්ස් ඔහුගේ කරවටා අතක් දමමින් හිනැහෙනු මම මුව ආවරණය අතරින් යන්තමින් දුටුවෙමි.

නිමි.

© ධරණී උපේකා වීරසේකර

Tuesday, June 9, 2020

හැරී පෝටර් සහ නිරෝධායන දවස් (සත්වෙනි කොටස)


හොග්වර්ට්ස් ක්විඩිච් පිටියෙන් ගුවනට නැගුණු නිවාස හතරේම ක්රීඩකයින් සිය මායා යෂ්ටි එල්ල කරගෙන සිටියහ.

"ප්රොටේගෝ හොරිබිලිස් සැනිටයටාරිස්"



නිල් පැහැති පුළිඟු නිකුත් කරමින් මායා යශ්ටි ආලෝකවත් විය. එයින් නිකුත් වූ එළියත් සමඟ සැනිටයිසර් සුවඳ කැටි වූ නිල් පැහැති පටලයක් හොග්වර්ට්ස් බලකොටුව වසා ගෙන පැතිරෙන්නට විය. එය කොවිඩ් වසංගතයට එරෙහි මෙම වශිය සාර්ථක වූ බව අඟවන සලකුණක් බව හැරී දැන සිටියේය
.





අඩි කිහිපයක් නුදුරින් ෆයර්බෝල්ට් වර්ගයේ මායා කොස්සක නැඟී හුන් චෝ චෑන්ග් හැරී දෙස බලා මදහසක් පෑවාය. එහෙත් චෝ චෑන්ග් වෙනුවට ජිනී තමා වෙත සමීප වීම සම්බන්ධයෙන් හැරී සතුටින් පසු විය. හැරීගේ සිතිවිලි බිඳ දමමින් මැඩම් හූච්ගේ විසිල් නාදය ඔහුගේ සවනත පතිත විය.

ඩම්බල්ඩෝර් , මැගොනිගල් සහ ස්නේප් යන මහාචාර්යවරු ප්රධාන දොරටුව අසල රැස් වී සිටියහ. ඩම්බල්ඩෝර් සිනාමුසු මුහුණින් සිය හඬ අවදි කළේය.

" මේ වශිය සාර්ථක වුණ නිසා බලකොටුවට වසංගතයෙන් ආරක්ෂා වෙන්න පුලුවන් කියලා අපි හිතනවා. ඒක යෝජනා කළ හර්මොයිනි ග්රේන්ජර් වෙනුවෙන් ග්රිෆින්ඩොර් නිවාසයට ලකුණු විස්සක් ලැබෙනවා. ඒත් නිරෝධායන නීති තාම ක්රියාත්මක වෙනවා කියලා අමතක කරන්න එපා. කාටවත් බලකොටුවට ඇතුළේ නිකරුණේ ඇවිදින්න , තැනින් තැන යන්න, අවසරයක් නැතුව කල්ලි ගැහෙන්න සම්පූර්ණයෙන්ම තහනම්"

කෙටි රැස්වීමෙන් අනතුරුව පිරිසිදු වී කාමරයට ගිය හැරී මදක් විවේක ගත්තේය. ඔහු කොල්ලකාරයන්ගෙ සිතියම සූට් කේසයෙන් ඉවතට ගත්තේ රොන්ගේ යෝජනාවක් අනුවය.

"අපි බලමු කවුරු හරි නිරෝධායන නීති කඩ කරමින් ඇවිදිනවද කියලා" හොර ඇල්ලීමේ නොතිත් ආසාවෙන් පෙළෙන රොන් යෝජනා කළේය.

" මට කිසිම යහපතක් සිදුවී නැති බව දිවුරා පවසමි" හැරී සිතියමට තට්ටු කර මන්ත්රය මිමිණුවේය .

හොග්වර්ට්ස් බලකොටුව් කොරිඩෝ මුලුමනින්ම හිස්ව ගොස් ඇති බව ඔහුටත් රොන්ටත් පෙනී ගියේය.

"මේ බලන්න මේ කවුද?" රොන් එක්වරම කෑගැසුවේය .

තාරකා විද්යා කුළුණ දෙසින් වේගයෙන් උතුරු දෙසට ඇවිද යන පා සටහන් ලකුණු කොල්ලකරුවන්ගේ සිතියම මත දර්ශනය විය.

"රේවන් නොට්මෑන්" හැරී විස්මයෙන් එම නම උච්චාරණය කළේය.

ඒ කවුද?

"ඇයි හැරී මේ තමා සික්ස්ෆෙසස් නොට්මෑන්ගෙ පුතා"

මතු සම්බන්ධයි

©ධරණී උපේකා වීරසේකර

සයවෙනි කොටස

හැරී පෝටර් සහ නිරෝධායන දවස් සවැනි කොටස



නිවේදනයෙන් අනතුරුව තරමක් කැළඹීමට පත් හොග්වර්ට්ස් සිසුහු තම නිවාස කාමර වෙත ගමන් කරමින් සිටියහ. වසංගතයෙන් ආරක්ෂා වීම මෙන්ම වෝල්ඩ්මෝට්ගෙන් ආරක්ෂා වීමද එක සේ වැදගත් බව ඔවුහු දැන සිටියහ.

"හැරී,රොන්, මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා" හර්මොයිනි කටහඬ බාල කර පැවසුවාය.

"ඒ මොකද්ද ?" රොන් කුතුහලයෙන් විමසුවේය.

"පහුගිය දවස් ටිකේම මම මන්ත්ර පොත් ගොඩක් කියෙව්වා කියලා ඔයා දන්නවනෙ. ඉතින් මට හොයාගන්න පුලුවන් වුණා හොග්වර්ට්ස් වෛරස් එකෙන් බේරගන්න පුලුවන් ආරක්ෂාකාරී වශියක්. 1815දී වගේ මේ වශිය සූකර උණට පිළියමක් හැටියට යොදා ගෙන තියෙනවා. මම හිතන්නෙ මේක කොවිඩ් වලටත් හරියයි."

" හරි අපි උත්සහ කරලා බලමු. ඒක කරන විදිහ ඔයා දන්නවනෙ" හැරී පැවසුවේය.



" ඔව් මේක කරන්න ඕනෙ පොළොව මට්ටමේ ඉදන් අඩි 100ක් විතර උඩට ගිහින්. ඒකට අපට ක්විඩිච් ක්රීඩකයින්ගෙ උදව් ඕනෙ"

" හරි මම ඩම්බල්ඩෝර්ට කියලා කට්ටිය ලෑස්ති කරවන්නම්" හැරී පැවසුවේය.

" ඩම්බල්ඩෝර් මේ වශිය ගැන දන්නවා. මම මතක් කළාම එයා කිව්වෙ උත්සහ කරලා බලමු කියලා"

" හොඳයි එහෙනම් කිවිඩිච් ක්රීඩකයින් සේරටම මම එන්න කියන්න කියලා ඔලිවර් අතේ පණිවිඩයක් යවන්නම්" රොන් කීවේය.

මඳ වේලාවකට පසු සෙඩ්රික් ඩිගෝරි, චෝ චෑන්ග්, ජිනී වීස්ලි සහ නිවුන් සහෝදරයන්,රොජර් ඩේවිස්, ඩ්රැකෝ මැල්ෆෝයි සහ ඔහුගේ මිතුරන් දෙදෙනා ඇතුලු පිරිස පොදු කාමරයට එකතු විය. හර්මොයිනි වෛරසය මැඩ පවත්වන වශිය ක්රියාත්මක කරන අයුරු පියවරෙන් පියවර පැහැදිලි කරන අයුරු රොන් නිහඬව ආඩම්බරයෙන් බලා සිටියේය.

"මුලින්ම ඔයාලා ග්රින්ග්රොට්ස් බැංකුවේ ඔයාලගෙ වත්කම් ප්රමාණය හිතින් මවා ගන්න ඕනෙ. ඊට පස්සෙ ඒකෙන් භාගයක් මේ වසංගතය මැඩ පවත්වන්න යොදවනවා කියලා හිතන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාලගෙ මැජික් යෂ්ටිය වම් පැත්තට බර කරලා එක පාරම දකුණට එල්ල කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ මන්ත්රය හයියෙන් තුන් වතාවක් කියන්න ඕනෙ."
හර්මොයිනි මන්ත්රය කළු ලෑල්ලේ සටහන් කළාය.
"ප්රොටේගෝ හොරිබිලිස් සැනිටයටාරිස්" හරියට මේ මන්ත්රය උච්චාරණය කරන එක අනිවාර්යයයි.

"මට පොඩි ප්රශ්නයක් තියෙනවා මිස් ග්රේන්ජර්" සෙඩ්රික් සුරත එසවීය.

"ඒ මොකද්ද?"

" දැන් මේ ආරක්ෂාකාරී වශිය කරන්න යන කෙනෙක්ගෙ බැංකු වත්කමෙන් භාගයක් නැති වෙනවද?"

" අයියෝ නැහැ සෙඩ්රික් , ඔයාට එහෙම හිතලුවක් ඇති කරගන්න විතරයි තියෙන්නෙ. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ. පොඩි මවා පෑමක් විතරයි."

මතු සම්බන්ධයි

©ධරණී උපේකා වීරසේකර

හැරී පෝටර් සහ නිරෝධායන දවස් පස්වන කොටස


වෝල්ඩර්මෝට්ගෙන් කවර හෝ මොහොතක ප්රහාරයක් එල්ල විය හැකි බැවින් ඊට සිසුන් සූදානම් කිරීම ඩම්බල්ඩෝර්ගේ අරමුණ විය. මෙවර වෝල්ඩර්මෝට් ග්රිෆින්ඩොර් නිවාසයේ සිසුන් භීතියට පත් වන ආකාරයේ යමක් සිදු කර හැරී පෝටර් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබිණි.

රැස්වීම අවසානයේ ග්රිෆින්ඩොර් සිසුන් ආපසු තම නිවාස කාමරය වෙත යාමට සූදානම් වන විට සෙසු නිවාස වල සිසුන්ද ප්රධාන ශාලාව වෙත පැමිණියහ.

" සෙවරස් මොකද මේ හැමෝම කැඳෙව්වෙ?"

සිසුන් පිටුපසින් සිටි මහාචාර්ය ස්නේප් දෙස බැලූ ඩම්බල්ඩෝර් විමසීය.

"අත්යවශ්ය නිවේදන ටිකක් තියෙනවා දෙන්න. මෙතනම ඒ ටික නිවේදනය කළොත් හොඳයි නේද මහාචාර්යතුමා?"

" හොඳයි සෙවරස්" වතුර වීදුරුව පසෙකින් තැබූ මහාචාර්ය ඩම්බල්ඩෝර් පැවසීය.

" අද දින සිට යළි දින නියමයක් කරන තුරු කිසිදු නිවාසයක කිසිදු ශිෂ්යයෙක් හොග්වර්ට්ස් ගොඩනැගිලි වලින් ඉවතට ගමන් නොකළ යුතුය. සුපුරුදු පරිදි ක්විඩිච් පුහුණු වීම් වල නිරත වන්නන් සඳහා මෙය අදාළ නොවේ. නමුත් ඔවුන්ට තහනම් වනාන්තරය , හොග්ස්මීඩ් වැනි අත්යවශ්ය නොවන ස්ථාන වලට යාමට මෙම වරප්රසාදය අයුතු ලෙස භාවිත කිරීමෙන් වැළකිය යුතුය. මෙම පාසල් වාරය සඳහා හොග්වර්ට්ස් වෙත පැමිණීමට 9 3/4 දුම්රිය ස්ථානයෙන් ඔබ ලබා ගත් ටිකට් පතේ අවසන් අංකය අනුව ඔබට ඉදිරියේදී හොග්වර්ට්ස් වලින් පිටතට යාමට අවසර ලැබෙනු ඇත.
*ටිකට් අංකය ඉරට්ටේ වන ස්ලිදරින් හා ග්රිෆින්ඩොර් සිසුන් -සඳුදා
*ටිකට් අංකය ඔත්තේ වන ග්රිෆින්ඩොර් හා සිලිදරින් සිසුන්- අඟහරුවාදා
*ටිකට් අංකය ඉරට්ටේ වන හෆ්ල්පෆ් හා රෙවෙන්ක්ලෝ සිසුන් - බ්රහස්පතින්දා
*ටිකට් අංකය ඔත්තේ වන හෆල්පෆ් හා රෙවෙන්ක්ලෝ සිසුන් - සිකුරාදා
සති අන්තයේ පිටතට යාම සඳහා කිසිදු සිසුවෙකුට අවසර නැත."

නිවේදනය අවසානයේ සිසුන් අතර හට ගත්තේ අමුතු කසුකුසුවකි.

" එදා ටිකට් නැති වෙයි කියලා බයට තාත්තා මට ටිකට් එකක් අරගෙන. ඒක දන්නෙ නැතුව මාත් ට්රේන් ටික්ට් එකක් ගත්තා. දැන් මම පාවිච්චි කරන්න ඕනෙ කෝකද?" සෙඩ්රික් ඩිගෝරි කැළඹීමට පත්ව කෙඳිරුවේය.

නමුත් තම දුම්රිය ප්රවේශ පත්රය කොතැනකට හෝ වීසි කළ බවට මතකයක් තිබූ නෙවිල් අන් හැමටම වඩා අතිශයින්ම බියට පත්ව සිටියේය.

මතු සම්බන්ධයි
© ධරණී උපේකා වීරසේකර

හැරී පෝටර් සහ නිරෝධායන දවස් සිව්වන කොටස

ග්රිෆින්ඩොර් පොදු කාමරයේ සිට සිසුහු පෝලිමට ප්රධාන ශාලාව වෙත පිය මැන්නහ.
රතු සහ රන්වන් පැහැති ටයි පටි පැළඳ ගත් ග්රිෆින්ඩොර් නිවාසයේ සිසු සිසුවියන් හේතුවෙන් හොග්වර්ට්ස් ප්රධාන ශාලාවට අමුතුම චමත්කාරයක් එක්ව තිබිණි. නමුත් මේ වසංගතය හේතුවෙන් හර්මොයිනිට මීටරයක් දුරින් සිටීමට සිදු වීම රොන්ගේ මනස්තාපයට හේතු විය.

මහාචාර්ය ඩම්බල්ඩෝර් ගේ කටහඬත් සමඟ ළමුන්ගේ කසුකුසුව නැවතිණි. " අද පොළොව" මායා ප්රවෘත්ති විකාශයෙන් නොකියවෙන භයානක යමක් සිදුව ඇතැයි සිසුහු බියට පත් වී සිටියහ.

" අද ඔයාලට මෙතනට එන්න කිව්වෙ ඉතා වැදගත් කාරණයක් සඳහා. මේ හැමෝම දන්නවා අපි මේ දින වල දරුණු කොවිඩ් වසංගතයට මුහුණ පා තියෙන බව. මෙය මග්ල්ස්ලාට වගේම අපිටත් ලොකු අභියෝගයක්. ඒ අතරේ අපිට තවත් ප්රශ්නයක් ඇවිත්"

ඩම්බල්ඩොර් , මැගොනිගල් සහ ලුපින් යන මහාචාර්යවරුන් සියල්ලන්ගේම දෙනෙත් වලින් දිස් වූයේ අතිශය බැරෑරුම් තත්වයකි.

"මොකද්ද ප්රශ්නෙ ප්රොෆෙසර්?"                   

"වෝල්ඩමෝට් හොග්වර්ට්ස් වලට පහර දෙන්න හදනවා කියලා අපට මායා අමාත්යාංශයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණා"

" එතකොට වෝල්ඩර්මෝට්ට මේ වසංගතයෙන් බලපෑමක් නැද්ද?" හැරී කල්පනාකාරීව විමසුවේය.

"එයාට මේ කාලෙදි අපට පහර දෙන්න ලේසියි මොකද එයාට මේ වෛරසය බෝවෙන්න ඉඩ ඉතා අඩුයි" මැගොනිගල් පිළිතුරු දුන්නාය.

"ඒ කොහොමද ?" රොන් ඇසුවේය.

"අයියෝ ඒකවත් තේරෙන්නෙ නැද්ද? එයාට නහයක් නෑනෙ" නෙවිල් එසේ පැවසුවේ සියල්ලන්ම සිනා සයුරේ ගිල්වමිනි.

" ඒත් එයාට මාස්ක් එකක්වත් දාන්න බෑ හරියට නහයක් නැතුව" හැරී සෙමින් මිමිණුවේය. පසුගිය දින කිහිපයේ ඔහුගේ අකුණු හැඩැති කැළල මෙතරම් රිදුම් දීමට හේතුව හැරීට වැටහුණේ දැන් ය.

මතු සම්බන්ධයි
©ධරණී උපේකා වීරසේකර

හැරී පෝටර් සහ නිරෝධායන දවස් තෙවන කොටස


අහසේ කලු පැහැති ඡායාවක් ලෙසින් දිස් වූ වස්තුව කෙමෙන් මිතුරන් තිදෙනාගේ දර්ශනපථයට හසු විය.

" භූතාරක්ෂකයෙක් ද?" රොන් යළිත් කලබලයට පත්ව පැවසීය.

මෙම වසංගත තත්ත්වය තුළ භූතාරක්ෂකයන්ගේ ග්රහණයට හසු වීම මහත් හිරිහැරයක් වනු ඇත. රොන් වඩාත් බිය වූයේ භූතාරක්ෂකයන්ගේ හාද්ද සම්බන්ධයෙන් අසා තිබූ කතාවන් වලට ය. එවැනි හාදුවකින් වුව කොරෝනා වෛරසය වැළඳිය හැකි බව සිහිවූ රොන්ගේ සියොලඟ කිලිපොළා ගියේය.

"ඒ එන වේගේ හැටියට නම් එරොල් වගේ" හර්මොයිනි කවුළුවෙන් ඉවතට මුහුණෙ යොමා පැවසුවාය .
ඇයගේ කියමන සැබෑ කරමින් රොන්ගෙ සුරතල් බස්සා කවුළුවෙන් කාමරයට ඇතුලු විය. රොන් යුහුසුළුව සැනිටයිසර් යොදා බස්සාගේ පාද සෝදා ඔහු රැගෙන ආ පාර්සලය දිග හැරියේය. බස්සා ජනෙල් පඩිය මතට වී ගිමන් හැරීමට පටන් ගත්තේ සිහින් කෙඳිරියක් ද නංවමිනි.

" රොන් මොනවද ඕකෙ තියෙන්නෙ" හැරී අසුනින් නැගිට මීටරයක් ඈතින් රොන් ළඟින් සිට ගත්තේය.

" ෂා කෑම මතක් කරා විතරයි.අපේ අම්මා වට්ටක්කා කේක් සමඟ චොකලට් ගෙම්බො පාර්සලයක් එවලා" රොන් සතුටින් කෑ ගැසුවේය.

" මේක නම් හරිම රස පාටයි" සති ගණනාවකින් කේක් ගෙඩියක් දුටු හර්මොයිනිගේ මුහුණ සැණෙකින් ආලෝකවත් විය.

" ග්රින්ග්රොට්ස් බැංකුවේ සල්ලි විතරක් තිබ්බට වැඩක් නෑ. හොඳට උයන්න පුලුවන් නැන්දම්මා කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕනේ" රොන් කීවේය.

" කාටද ඒක කිව්වෙ රොන්?" හැරී දඟකාර සිනාවක් පාමින් විමසුවේය.

" එක්කෙනෙකුට නෙවෙයි. ඔය දෙන්නටම! "

මුව ආවරණය පහත් කළ රොන් කේක් කැබැල්ලක් මුවට ඇතුළත් කරනවාත් සමඟම පාවහන් ගැටෙන හඬක් ඔවුන්ගේ සවනත වැකිණි.
සියුම් තට්ටු කිරීමක් සමඟ මහාචාර්ය ඩම්බල්ඩෝර් කාමරයට ඇතුලු විය.

ග්රිෆින්ඩොර් නිවාසයෙන් මම මේ නම් කියවන අය තම තමන්ගේ මාස්ක්, සැනිටයිසර් සහ මායා යෂ්ටි අරගෙන ප්රධාන ශාලාවට එන්න.

" ඔලිවර් වුඩ්, නෙවිල් ලෝන්ග්බොටම්, හර්මොයිනි ග්රේන්ජර්, හැරී පෝටර්, ජිනී වීස්ලි"

" බලනවා මම නෑ . දැන් මට තනියම තමා ඉන්න වෙන්නෙ, හැරීට නම් මොකද ජිනීගෙ නමත් කිව්වෙ" රොන් හර්මොයිනිගේ කණට කෙඳිරුවේය.

" සහ අවසාන වශයෙන් රොන් වීස්ලි" යි පැවසූ ඩම්බල්ඩෝර් සිය උපැස් යුවළ සකසා ගෙන පිටත්ව ගියේය.

" දෛවය එච්චරටම කුරිරු නෑ" මද සිනහවක් මුවෙහි ඇදෙද්දී රොන් තමාටම කියාගත්තේය.

© ධරණී උපේකා වීරසේකර

හැරී පෝටර් සහ නිරෝධායන දවස් දෙවන කොටස


සැනිටයිසර් බෝතලය පසෙකින් තැබූ හැරී රොන්ගේ මඟ අවුරා සිට ගත්තේය. හැරී ඔහුගේ විෂබීජහරණය කළ මායා යෂ්ටිය තදින් සුරතින් ග්රහණය කර ගෙන සිටියේ කුමන අවස්ථාවක හෝ ගල් කිරීමේ මන්ත්රය රොන් වෙත ජප කිරීමේ සූදානමෙනි.

"කොහෙද මේ ඒ පාර ගාල කඩා ගත්ත බක්බීක් වගේ යන්න හදන්නේ" හැරී කෝපයෙන් ගිගිරුවේය.



" මට අදිසි ලෝගුව දෙන්න හැරී. පොඩි රවුමක් දාලා එන්නම්" ක්ලෝඩන් කේක්, බටර් බියර්, ගෙම්බෝ චොක්ලට් වැනි කෑම බීම වල රස සිහියට නැගෙත්ම ඔහුගේ මුව තෙත් වූයේ නිරායාසයෙනි.

" රොන් ඔයාට හොඳටම පිස්සු. අදිසි ලෝගුව දැම්මා කියලා මේ වෛරස් එකෙන් බේරෙන්න බැහැ. යනවා ! ගිහින් ප්රොෆෙසර් ස්නේප්ටත් අහුවෙලා හවුස් එකේ ලකුණුත් කපා ගෙන එනවා" එවර හර්මොයිනිගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් තිබිණි.රොන්ගේ වගකීම් විරහිත වැඩ ගැන හර්මොයිනි තුළ කිසිදු ප්රසාදයක් නොවුණේ මෙවැනි සිදුවීම් නිසා ය.

" දැන් ඔයා හිතන්නෙ අනික් මායා පාසල් වලත් මේ වගේ ළමයින්ව ඉස්කෝලෙ ඇතුළේ හිර කරගෙන ඉන්නවා කියලද?"

" ඇයි නැත්තෙ. වික්ටර් කෘම් කියලා එවලා තිබ්බ මට එහෙත් එහෙම තමා කියලා."

" කොරෝනා අස්සෙ කොහොමද එච්චර විස්තරයක් කියලා එව්වෙ"රොන් විස්මයෙන් දෑස් මහත් කර ගත්තේය.

" බස්සෙක් අතේ" හර්මොයිනි තමා කියවමින් සිටි පොත දෙසම බලාගෙන පිළිතුරු දුන්නේය.

" හර්මොයිනි කරුණාකරලා මේ ටිකේ බසු තැපෑල පාවිච්චි කරන එක අඩු කරන්න. ඒකෙනුත් එහෙනම් මේ වෛරස් එක බෝවෙන්න පුලුවන්" රොන් පැවසුවේය.

" ඒක නම් ඇත්ත. මම හැමදාම හෙඩ්විග්ගෙ කකුල් සැනිටයිසර් දාලා හෝදලා තමා ළඟට ගන්නෙ" හැරී රොන් දෙස බලා ඉඟිමරමින් පැවසීය.

"ඒයි අර මොකද්ද" එකෙණෙහිම කවුලුවෙන් පිටත බැලූ රොන් තමා වෙත වේගයෙන් එන අපැහැදිලි වස්තුවක් දෙස ඇඟිල්ල දිගු කළේය.

මතු සම්බන්ධයි.

© ධරණී උපේකා වීරසේකර

හැරී පෝටර් සහ කොරෝනා නිරෝධායන දවස් 1

එය හොග්වර්ට්ස් වලට නරක කාලයක් විය. මින් පෙර වෝල්ඩර්මෝට් නිසා හොග්වර්ට්ස් වල බියකරු දින උදා වී තිබුණද මෙය වඩාත් අසහනකාරී වකවානුවක් බව මායා ලෝකයට පසක් වෙමින් තිබිණි.
"මට නම් එපා වෙලා මෙහෙම හොග්වාට්ස් ඇතුලේ හිර වෙලා ඉදලා. හරියට කන්නවත් නෑ. හොග්ස්මීඩ් ගිහින් බටර් බියර් බොන්න තිබ්බනම්. හර්මොයිනි ,ඔයා මහ ලොකුවට පම්පෝරි ගැහුවා නේද ස්පෙල්ස් ගොඩක් දන්නව කියලා. මොනව හරි කරනවකො" රොන් කෑගැසුවේය.

" කට වහනවා. මේක වසංගතයක්. මැජික් වලින් විසඳන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඩම්බල්ඩොර් වගේ කෙනෙක් අපිව මෙහෙම එලියට යන්න නොදී හිර කරලා තියයි ද ඒ මැජික් එක පාවිච්චි නොකර." හර්මොයිනිට රොන් ගැන හටගත්තේ දැඩි කේන්තියකි. කුමක් සිදු වුණත් ඔහුගේ කෑදර කම අඩු නොවන හැටි!
එක දිගට නිරෝධායනය වීමෙන් කෝපයට පත් රොන් යළි ඇය දෙස හොරැහින් බලා කටහඬ අවදි කළේය.
"ඔයාගෙ පිස්සු ලොම් පිරිච්ච ඌරෙක් වගේ ඉන්න බළලගෙන් වෙන්න ඇති මේ කොවිඩ් 19 මායා ලෝකෙට එන්න ඇත්තෙ"

ස්කාර් එක මත සිද්ධාලේප ආලේප කළ හැරී ග්‍රිෆින්ඩොර් පොදු කාමරයට ඇතුලු වූයේ මේ කළබගෑනිය මැදය. ඔහුට මේ කෝලාහලය පැහැදිලව ඇසුණි.
"අයියෝ ඔයාලා මේ රණ්ඩුව දැන්වත් නවත්තනවද? මම අවුරුදු ගාණක් ප්‍රයිවෙට් ඩ්‍රයිව් එකේ හිර වෙලා හිටියේ ස්වයං නිරෝධායනය වුණා වගේ තමයි. ඒකෙන් නරකක් වුණාද? ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉන්න"

"ඒක ඇත්ත. අපිට මේ පොඩි කාලෙට මෙහෙම අමාරු නම් අස්කබාන් වල අයට කොච්චර අමාරු ඇත්ද හිර වෙලා ඉන්න" හර්මියොනි කල්පනාකාරීව පැවසුවාය.
"කට පියාගෙන යනවා යන්න පණ්ඩිත ආච්චි"රොන් මාස්ක් එක ගළවා දමා ඉවතට යාමට සැරසුණේය.
මතු සම්බන්ධයි
@ ධරණී උපේකා වීරසේකර





Thursday, December 5, 2019

හිම මත මතක 02




සුදු හැඳගත් කාන්තා රූපය කෙමෙන් කෙමෙන් සමීප වන විට මොකක්දෝ හුරු පුරුදු ගතියක් මට දැනෙන්න පටන් ගත්තා. ඒත් මගේ හිතේ තිබුණු කැළඹිල්ල සහ චකිතය එයින් අඩු වුණේ නැහැ. සුදු ජාතිකයෙකුගේ හමට වඩා අඳුරු පැහැයක් ගත්ත ඇගේ මුහුණේ තිබුණේ ආසියාතික පෙනුමක් බව මම නිරීක්ෂණය කළා.

මාර්ක් කොලින්වුඩ්! ඇය කටහඬ අවදි කළා

මහ රෑ පාළු පාරකදී මුණ ගැහෙන සුදු ඇඳගත් ගැහැනියක් තමන්ගේ නම කියලා කතා කරනකොට මොන වීරයා වුණත් තිගැස්සෙනවා. ඒ තිගැස්ම මගේ ඇස්වලින් පෙනෙන්න ඇති.
.
දෙවියනේ! මොකද මේ බය වෙලා?

මනුෂ්‍ය වේශයෙන් ආව අවතාරයක් මාව මුළා කරලා මේ පාළු පාරේ මාව මරලා දාන්න හදනවාවත් ද?

 නැහැ! මගේ යටිහිත කෑගහලා විරෝධය පළ කළා.

මාර්ක් මොළේ කල්පනා කරලා වැඩ කරපන්! දැන් මතක් කරපන්. උඹ කවදහරි මේ කෙල්ලව කලින් දැකලා තියෙනවද මගේ යටිහිත ඒකාධිපති විදිහට මට අණ කළා.

කාලයේ වැලි තලාවෙන් ජීවිතේ ගොඩක් දේවල් වහලා හංගලා දාන්න පුළුවන් වුණත් එක හදිසි සැඩ හුළඟකට පුළුවන් වැල්ලට යට වෙලා තිබුණු සිප්පි කටුවක් ආයෙත් උඩට මතු කරලා ගන්න. මේ හමුවීමත් ඒ වගේ තමයි.

දෙවියනේ සාධනා! මට කවදාවත් අමතක නොවෙන ඒ මුහුණ මට අමතක වුණේ කොහොමද?
                                         
                                                      *****************

දයාබර පාඨකයිනි, මම ලේඛකයෙකු හෝ සාහිත්‍යකරුවෙකු නොවෙමි. සාමාන්‍ය මිනිසෙකු සිය ජීවිත කාලය තුළ මුහුණ දෙන අත්දැකීම්වලට හාත්පසින්ම වෙනස් අත්දැකීම් සමුදායකට කෙටි කලක් තුළ මුහුණ දීමට මා හට සිදු විය. ඒ කතාන්තරය ඔබ වෙත කිව යුතුමය.

මිනිසා යනු පරිණාමයේ අග්‍රගණ්‍ය ඵලයකි. හෝමෝ සේපියන් මානවයා තෙක් විකසනය වී ඇති මනුෂ්‍යයාගේ අතීත ගමන් මඟ සැබවින්ම විස්මය එළවන සුලුය. තමාට මුහුණ පෑමට සිදු වන අනේක විධ බාධක සිය බුද්ධිය මෙහෙයවා ජය ගැනීමට හැකි වීම මනුෂ්‍යයා සතු ප්‍රබලතම හැකියාව බව මම අදහමි. එහෙත් විද්‍යාවට හා තාක්ෂණයට හසු නොවු යම් අපැහැදිලි සිදුවීම් ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ සිදු විය හැකිය. එවන් අවස්ථා වලදී අප හට කළ හැකි වන්නේ ඉරණමට ඉඩදී බලා සිටීම පමණි.

මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ඇති මා එම රහස් සමඟ කාලයාගේ ඇවෑමෙන් මෙලොව හැර යා යුතු නොවේ. ප්‍රබන්ධයක ස්වරූපයෙන් හෝ මා විඳ ඇති ඒ අත්දැකීම් ලෝකය හමුවට ගෙන ඒමට මම පන්හිඳ අතට ගනිමි.

2009.12.27
සමර්සෙට්

ශීත සෘතුවේ සෞම්‍ය සිසිලස මුළු එන්ගලන්තය පුරාම පැතිර ගොස් තිබුණේ නත්තල් සමයේ ප්‍රීතිය හා මුහු වෙමිනි. නත්තල් දිනය පවුලේ සාමාජිකයින් සමඟ ගත කළ යුතුය යන සම්ප්‍රදාය ගරු කළ මම ඉන් අනතුරුව මගේ පාසල් මිතුරෙකු වු පේලේඩ් ටෘමන් හමු වී නිවාඩුවක් ගත කිරීම සඳහා සමර්සෙට් වෙත යමින් සිටියෙමි.පසුගිය දින කිහිපය තුළ පැවති අධික හිමපතනය මේ වන විට තරමක් අඩු වී තිබුණ ද මාර්ග තවමත් හිමෙන් වැසී පැවතිණි.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ඉහළ නිලධාරියෙකු වු මගේ පියාගේ අකල් වියෝවෙන් පසුව මාත් මගේ මවත් ලන්ඩනයේ තනිවිය. මව ඇගේ ඥාති සහෝදරියගේ නිවසට ඇරලවු මම සන්ධ්‍යා යාමයේදී ලන්ඩනයෙන් පිටත් වුණෙමි. පේලේඩ් ටෘමන් මගේ දිගු කාලීන පාසල් මිත්‍රයෙකු වීමට හේතු වුයේ අපගේ සිතුම් පැතුම් වල පැවති සාම්‍යත්වයයි. ප්‍රභූ පෙළපතකින් පැවතී එන්නෙකු වුවද ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙකු විය. ලන්ඩනයේ සිට සමර්සෙට් දක්වා දුරක් පැමිණීමට මා පෙළඹවුයේ ද පේලේඩ්ගේ මෙම යහපත් චරිත ස්වභාවයයි.

කාලගුණ තත්ත්වය එතරම් යහපත් තත්ත්වයක නොපැවතීම නිසා මඳ වේගයෙන් රිය ධාවනය කිරීමට පරිස්සම් වුණේමි. මව මේ ගමන සඳහා කැමැත්ත පළ කළේ ද වේගයෙන් රිය පැදවීමෙන් වළකින බවට මගෙන් පොරොන්දුවක් ලබා ගැනීමෙන් අනතුරුවය.
සමර්සෙට් වෙත සමීප වෙමින් සිටිය දී මාර්ගයේ වම් පසට වන්නට ආරක්ෂිත වැට ආසන්නයේ යමක් හදිසියේ මා නෙත ගැටිණි. එය මාර්ගය මත මුනින් අතට වැටී ඇති කාන්තා සිරුරක් බව හඳුනා ගැනීමට ගතවුයේ නිමේෂයකි.
            රථය ආරක්ෂාකාරීව මාර්ගයේ කෙළවරක නැවතූ මා ඒ දෙසට වේගයෙන් දිව ගියේ මගේ යටි සිත යම් අනතුරක සේයාවක් සම්බන්ධයෙන් ඉඟි කළ හෙයිනි.

            ඇතැම් සුළු සිද්ධියකින් පවා ඉමහත් කම්පාවකට ලක් වන සංවේදී හදවතක් ඇති පුද්ගලයෙකු වු මා හට මා යන මඟ මෙසේ යමෙකු කරදරයට පත්ව ඇති විට එය නොතකා සිටිය නොහැකිය.
            සිහින් සිරුරකින් හෙබි තැනැත්තියක් වු ඇයගේ සිරුර ස්පර්ශ කළ වහාම දැඩි සීතලක් මා හට දැනිණි. ඇගේ මුහුණ හරවා බැලු විට මට දිස් වුයේ නළලෙහි ගැඹුරු තුවාලයකි.
මා ඇයට වහාම උපකාර කළ යුතුය. දැඩි ශීතල හා අධික රුධිර වහනය මධ්‍යයේ ඇය ජීවතුන් අතර සිටී ද යන්න පිළිබඳව ද මට හරිහැටි අදහසක් නොවීය. නමුත් ඇයව හැර දමා යාම මනුෂ්‍යත්වයට කරන නිගාවකි.

            මෆ්ලරයෙන් ඇගේ රුධිරය වහනය වන තුවාලය ආවරණය කළ මම ඇයව පසුපස අසුනේ හාන්සි කරවා රිය පණ ගැන්වුයෙමි. නාඳුනන අනතුරට පත් කාන්තාවක් මේ අයුරින් රෝහලට ගෙන යාමට සිත තුළ යම් චකිතයක් පැවතිය ද මගේ පරාර්ථකාමීත්වය එය අභිබවා ගියේ මගේ වාසනාවකට ද අවාසනාවකටදැයි මම ඒ වන විට නොදත්තෙමි  .


                          

Sunday, September 29, 2019

හිම මත මතක

01 


මේ සිද්ධිය මුලින්ම පටන් ගත්තේ සතියකට කලින්. ඊට කලින් ජීවිතේ හරි ලස්සනට ගලාගෙන ගියා කියන්න බැහැ. ඒත් මේ සිදුවීම එක්ක ජීවිතේ පැහැදිලිම වෙනසක් වුණ බව නම් මම හොඳාකාරවම දන්නවා.
එදා හොඳින් ඉර පායලා තිබ්බ දවල් වරුවක්. වීදිය දිගේ ඇවිදගෙන යනකොට මට තේරුණා කවුරු හරි මං දිහා බලාගෙන ඉන්නවා කියලා.
ඒත් මං වගේ සාමාන්‍ය පවුලක උස හීන්දෑරි කොල්ලෙක් දිහා ඇස්දෙක දල්වගෙන බලාගෙන ඉන්නෙ කවුද? මං කඩවසම් කියලා හිතාගෙන හිටියට හොරෙන් හැංගිලා බලාගෙන ඉන්න තරම් ලස්සනක් මගේ තියෙනවද?
            මේ හැංගිමුත්තන් සෙල්ලම කරන්නේ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්න බැරිද? ඒත් .......
ගැටකපන්නෙකුට වාසි වෙන්න තරම් මුදලක් මගේ පසුම්බියේ නැහැ. මිනීමරු ස්නයිපර් වෙඩික්කරුවෙකුට වෙඩි තියලා ලබා ගන්න දෙයකුත් නැහැ. එහෙනම් ඇයි මට එහෙම දැනෙන්නේ. අනික මේ මට හුරු පුරුදු හිතමිත්‍රයන් ඉන්න නගරෙකුත් නෙවෙයි.
            මම එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවේ කවුද මං දිහා හොරෙන් බලාගෙන ඉන්නේ කියලා අතටම අල්ල ගන්න. ඒත් පාර සම්පූර්ණයෙන්ම හිස් පදික වේදිකාවෙ හිටිය මහලු දුප්පත් සපතේරුවෙකුයි පොලිස් නිලධාරියෙකුයි විතරයි. මනස්ගාත! මම මටම කියා ගත්තා.
            පොඩි කාලේ ඉදලා එක එක දේවල් හිතෙන් මවා ගන්න එක මගේ පුරුද්දක්. මැදි වයසටත් ළං වෙනකම් ජීවිතයේ ගැහැණු ළමයෙක්ට ඉඩක් නොතිබුණු මං වගේ පිරිමි ළමයෙකුට මෙහෙම දේවල් හිතෙන එක සාමාන්‍ය දෙයක් වෙන්නැති.
ඒත් මේ හැඟීම එක දවසක් විතරක් දැනුණනම් මම ඒක මෙච්චර ලොකුවට ගන්නේ නෑ. මේක දෙවෙනි වතාවට වෙද්දිත් මම හිටියේ මහ දවල් බස් නැවතුම්පෙළේ. ගුවන් හමුදා මූලස්ථාන පාරෙ ඉදන් මීටර් දෙසීයක් විතර ඉස්සරහින් තමයි බස් නැවතුම්පොළ තිබුණේ.
            බසයක් එනතුරු නොයිවසිල්ලෙන් පාර දිහා බලාගෙන හිටපු මට කවුරු හරි පාරෙන් එහා පැත්තේ ඉදගෙන මගේ ඔත්තු බලනවා කියලා හිතුණා. නමුත් මගේ යටි හිත කිව්වා පරිස්සම් වෙයන් කවුරු හරි උඹ ගැන ඔත්තු බලනවා කියලා. ඒත් මගේ උඩු හිත කිව්වේ උඹට බය වෙන්න කාරණයක් මෙතන නැහැ කියලා.
බස් එකට නැගලා වාඩි වුණාට පස්සේ මගේ හිතේ තිබුණ දෙගිඩියාව තරමක් මඟ ඇරිලා ගියා. ඒත් දෙවියනේ ඊළඟ බස් නැවතුමේදී මට ආයෙමත් අර මූසල හැඟීම දැනෙන්න ගත්තා. ඇත්තෙන්ම මට මොකක් හරි මානසික ලෙඩක් හැදීගෙන එනවාවත්ද? මං බය වෙන දේ මට නොපෙනෙන්නේ ඇයි කියලා මං ආයේ ආයේ කල්පනා කරන්න ගත්තා.
            මේ කතාව මුල ඉදන් අගට හරි පිළිවෙලකට කියන්න ඕනෙ. ඒත් මේ සිද්ධි ඇත්තෙන්ම හරි පිළිවෙලකට වුණ ඒවා නෙවෙයි.
            ඊලඟ දවස වැහිබර අඳුරු දවසක්. වැහි අඳුරත් එක්ක වෙලාව හවස හය වුණත් පරිසරයේ තිබුණේ මූසල පාළු ගතියක්. අලුත්ම චිත්‍රපටයක් බලලා මම සිනමාහලෙන් පාරට ආවේ හිතේ සැහැල්ලුවෙන්. කාලගුණය නරක වුණත් මං හිටියේ පියවි සිහියෙන්. පියවි සිහිය අවුල් වෙන විදිහේ දේවල් කරන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා මම මත් වුණේ සංගීතයෙන්, සාහිත්‍යයෙන්, සිනමාවෙන් විතරයි.
මිනිස් පුළුටක්වත් නොතිබුණු අඳුරු පාළු වීදිය ඔස්සේ මම මගේ නවාතැන්පොළ දෙසට ඇවිද එමින් හිටියා. සීතල හුළඟත් එක්ක පහන් කණුවේ කණාමැදිරි එළියෙන් වේගයෙන් එහා මෙහා වුණු සුදු පාට රූපයක් මගේ දර්ශනපථයට අහුවුණා.

හොල්මන්, අවතාර ගැන මගේ විශ්වාසයක් තිබුණේ නැති වුණත් පහුගිය දවස් වල දැනුණු අමුතු හැඟීම් එක්ක මගේ හිත තරමක් චංචල වෙලා තිබුණේ. ඒ නිසා වෙන්නැති මගේ හද ගැස්ම වැඩි වෙන හැටි මට දැනුණේ.
            ඒ එක්කම මම දැක්කේ රූමත් කාන්තා රූපයක්. ඇයගේ මූණ හොඳටම සුදුමැලි වෙලා. ඇයගේ වරලස උඩට වෙන්න බැඳ තිබුණා. ඒත් ඇයගේ ඇස් වල තිබුණේ වෙහෙසකර බැල්මක්. කොහේ හරි වැදගත් ගමනකට යන්න සූදානමින් වගේ ඇය සුදු කුර්තාවකින් සහ දිග කලිසමකින් සැරසිලා හිටියේ. අත් බෑගයකුත් අරගෙන ඇය සෙමින් සෙමින් වීදියේ අඳුරු කෙළවර ඉදන් මා හිටි තැනට ඇවිදගෙන ආවා.
            මගේ උගුර වේළිලා වචන පිටවුණේ නැහැ. මම එතැනම ගල් වෙලා බලන් හිටියා විතරයි. පපුව ඇතුළේ හදවත ගැහෙන වේගෙ වැඩිවෙලා හදවත එළියට පනියි කියලා මම හිතුවා. කොහොමත් බියගුළු හදවතක් තියෙන කෙනෙකුට ජීවත් වෙන්න මේ ලෝකේ හොඳ තැනක් නෙවෙයි කියලා මම අත්දැකීමෙන් ම දන්නවා.
කෙටි ඒත් වේගවත් පියවර මනිමින් ඇය මා දිහාට ඇවිදගෙන ඇවිත් අයිස් කැටයක් වගේ සීතල අතකින් මාව අල්ල ගත්තා.


                                                          *************


Thursday, July 25, 2019

එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් ඛේදවාචකය


බේකර් වීදියේ මගේ හිතමිත්ර හෝම්ස්ගේ නිවසට යාමට මා අදහස් කළේ ඔහු සමඟ උණු කෝපි කෝප්ප කිහිපයක් සමඟ ඉස්තරම් ඉතාලි පීසා රසවිඳින යටි අරමුණෙනි. මේරි එස් පී ඕ රාජකාරි සඳහා අනියුක්ත කර තිබීම නිසා මට උදෑසන ආහාරය ද අහිමි විය.
උදෑසන ම ඡන්ද පොළට ගොස් හරි පක්ෂය ඉදිරියේ කතිරය ලකුණු කළ හෙයින් අපර භාගයේ හෝම්ස් සමඟ මැතිවරණ ප්රතිඵල නැරඹීම මගේ සැලසුම විය. මා ඔහුගේ කාමරයට පිවිසෙන විට හෝම්ස්ගේ බිලී නමැති සේවක ළමයා මා වෙනුවෙන් දොර විවර කළේය.

සුබ සන්ධ්යාවක් මගේ මිත්රයා. අද හදිස්සි ලෙඩෙක් ආවොත් අර්නස්ට්රූදර්ට බලන්න කියල නේද ඔබ ඔය ආවේ?
හෝම්ස් මා දුටු විගස දඟකාර සිනාවක් පාමින් කීවේය. මගේ මුහුණේ වූ විමතිට පත් ලකුණු ඔහුගේ සිනාවට හේතු වූ බව මම දනිමි.
"ඔය තරම් පුදුමයෙන් මා දිහා බලන්න එපා වොට්සන්. එදා ලංකාව මැච් එක දිනුව නිසා හාට් ඇටෑක් ලෙඩ්ඩු කී දෙනෙක්ට ප්රතිකාර කරන්න සිද්ධ වුණා ද? එදා ඉදන් ඔබ ගොඩක් පරිස්සම් කියල මං දන්නව."
මම හිස සලා සුපුරුදු අසුනට බර වුණෙමි. ඒ සමඟ ම කිසිවෙකු වේගයෙන් තරප්පු පෙළ නැඟ එන හඬ ඇසිණි.
"ලෙස්ට්රේඩ් මොකක් හරි ලොකු කලබලේකින්" හෝම්ස් එසේ කියනවාත් සමඟ ම ලෙස්ට්රේඩ් අපගේ විසිත්ත කාමරයට කඩා වැදුණේය.
" වොට්සන් මහත්මයා ! මේරි මෝස්ටන් මහත්මියට හොඳට ම අසනීපයි. අපි මේ දැන් ඇයව එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් රෝහලට ඇතුළත් කළා."
" දෙයියෝ සාක්කි හෝම්ස් දැන් අපි මොකද කරන්නෙ?"
මම භීතියෙන් මගේ මිත්රයා දෙස බැලුවෙමි.
ඇඟිලි තුඩු එකිනෙක ළං කරගෙන් මිලි තප්පරයක් පමණ කල්පනාවේ ගැලී හුන් හෝම්ස් අනතුරුව කටහඬ අවදි කළේය.
" මේරි මහත්මිය වෙනුවට එතන එස් පී ඕ රාජකාරි වලට කාව ද දැම්මේ?"
" කවුරුත් මේ හදිස්සියෙ හොයාගන්න විදිහක් නෑ. ජේ. පී ඕත් අමු ස්ටෝන් ඊල් කෙනෙක්" ලෙස්ට්රේඩ් කම්පාවෙන් පිළිතුරු දුන්නේය.
"එහෙමනම් මම යන්නද ඒ ඡන්ද පොළට?" මම ඇසුවෙමි.
" අහක යන කලු මාම්බල කබාය අස්සට දා ගන්නෙ නැතුව ඉන්න වොට්සන්. ඕව දණිස්සෙන් පහළට නෙවෙයි ඔලුවටම වෙඩි කන්න වෙන වැඩ. ඔයා රජයේ නිලධාරියෙක් නෙවෙයිනෙ. පෞද්ගලික චිකිත්සාගාරයක් පවත්වාගෙන යන වෛද්යවරයෙක්"
" මම යනව ලෙස්ට්රේඩ් එක්ක ඡන්ද පොළට. මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැහැ. මගේ බිරිඳ වෙනුවෙන් මම ඒක කළ යුතුයි" මම බෙරිහන් දුන්නෙමි.
" එහෙනම් මේරි ඉන්න රෝහලට යන්න. ඡන්ද පොළට යන්නෙ මොකටද"?
"මේක තීරණාත්මක ඡන්දයක්. ඒක අවුල් වෙන්න දෙන්න බෑ"
" ඕනෙ එකක් කරගනින්" හෝම්ස් අසුනෙන් නැගිට කාමරයට ගොස් වයලීනය වාදනය කිරීමට පටන් ගත්තේය.
සුදු අශ්වයෙකු සහිත පොලිස් කරත්තයක නැඟුණු මම ලෙස්ට්රේඩ් සමඟ අධිවේගී මාර්ගය හරහා නෝෆොක් පළාතේ පිහිටි එලිෆන්ට් ෆෝලන් ටෑන්ක් ඡන්ද පොළට ළඟා වන විට මධ්යහ්නය එළඹී තිබිණි.
හෝම්ස්ගේ අවවාදය නොපිළිගැනීමෙන් මා කළේ අනුවණකමක් බව වැටහීමට වැඩි වෙලා ගත නොවීය. එස් පී ඕ මේසය අසළ වූ ආකෘති පත්ර නෙත ගැටෙනවාත් සමඟ මගේ දෙනෙත් අඳුරු විය.ඉන්පසු සිදු වූ කිසිවක් මට හරි හැටි මතක නැත.
සිහිය එන විට හෝම්ස් මා ළඟ වැට් 69 බෝතලයක් අතැතිව දණ ගසා ගෙන සිටියේය.
"හෝම්ස් අර ජර්නල් .. පී වී. ...පී එස්..ඩබ්ලිව්.."
" බය වෙන්න එපා මගේ ආදරණීය වොට්සන් ඒ සේරම මම පිරෙව්වා. හැබැයි ෆෝම් ටික පුරවන්නම පැය හතරක් ගියා. ජේ පී ඕ මහත්තයව යැව්වා බඩු රිටන් කරන්න.ඒ ආර් ඕ මහත්තය මේ දැන් ගියෙ. දැන් ක්රීම් ක්රැකර් එක්ක හැපී කව් චීස් කෑල්ලක් කාල පොඩ්ඩක් නිදා ගන්න."
සමාප්තයි!
©ධරණී උපේකා වීරසේකර