කාර්යාලයේ උස්
වීදුරු කවුළුවෙන් පහත බැලු ඇයට ගේට්ටුව ඉදිරිපිට උද්ඝෝෂණයෙහි නිරත වන ජනකාය
පැහැදිලිව නෙත ගැටිණි. චණ්ඩ අයුරින් හැසිරුණු උද්ඝෝෂකයන් පාලනය කර ගැනීමට පොලිස්
නිලධාරීන්ට ද මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ඉන්දීය
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක වු
අර්චනා කපුර්ගේ සවනත වැකුණේ මේ මහා
ඝෝෂාවයි.
“ප්‍රතාප් !
මොකද්ද මේ කලබලේ” හතිදමමින්
තරප්පු පෙළ නැග ආ මහලු ලිපිකරුවා දුටු
අර්චනා ඇසුවා ය.
“මිනිස්සු ඡන්ද
ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා එයාලගේ
නියෝජිතයෙකුට මැඩම්ව මුණ ගැහෙන්න ඕනැලු”.
පළපුරුදු සිවිල්
නිලධාරිනියක වූ අර්චනාට මෙවැනි විරෝධතා සහ උද්ඝෝෂණ ඉතා හුරුපුරුදුය. වෙනසක්
වෙනුවෙන් අරගල කරන්නන් වෙත කුඩා කල පටන්ම ඇය ආකර්ෂණය වී සිටියාය.
“හරි ඉතින්
ඉන්න, මම යන්නම් අපි එතැනට ගිහින් කතා කරමු ”
“එපා එපා මැඩම්
ඔය මිනිස්සු කවුද කියලා අපි දන්නේ නෑනේ මැඩම්ට අනතුරක් කරන්නත් පුළුවන්” ලිපිකරුවාගේ මුහුණින්
දිස් වුයේ භීතියට පත් ලකුණු ය. එහෙත් අර්චනා කපුර්ගේ මුහුණෙන් බියක සේයාවකුදු පළ
නොවීය.
ඇය සාරි පොට
උරහිසට දමාගෙන අසුනින් නැගිට්ටා පමණි. මහලු ලිපිකරුවා ඇයගේ මඟ අවුරා සිට ගත්තේ ය.
“මැඩම් යන්න එපා මම
එයාලගේ නායකයාව මෙතනට අඬ ගහගෙන එන්නම්”
ඔහුගේ
කාරුණිකභාවයට විරුද්ධ විය නොහැකි තැන ඇය සුපුරුදු අසුනෙහි හිඳ ගත්තාය. ඇයගේ දෙනෙත්
නතර වුයේ පොත් රාක්කය මත තිබු රාධා - ක්‍රිෂ්ණා අනුරුව මතය. දෙනෙත් අඩවන් ක්‍රිෂ්ණාගේ
දිගු අතැඟිලි වස්දඬුව මතම රැඳී තිබු අතර රාධා මහත් ස්නේහයෙන් තම පෙම්වතාගේ උර මත
හිස තබා ගෙන සිටියාය. නමුත් තනිකඩව මැදි වියද පසු කරමින් සිටි අර්චනාගේ ජිවිතය තුළ
“ක්‍රිෂ්ණා” කෙනෙකුට ඉඩක් නොවීය.
උද්ඝෝෂණ
කණ්ඩායමේ නායකයා අර්චනාගේ කාමරයේ දොර විවර කර ගෙන ඇතුල් වුයේ ඇයගේ සිතිවිලි ධාරාව
බිඳ දමමින්ය.
“මම ශංකර් මේ
උද්ඝෝෂණය මෙහෙයවන්නේ අපේ පුරවැසි සංවිධානයෙන් ”
ඝනකම්
රැවුලකින් වැසී තිබුණු ඔහුගේ මුහුණෙන් දිස්
වුයේ අපිළිවෙල පෙනුමකි. දහඩියෙන් මුළුමනින්ම තෙත්ව තිබු කමිසයෙහි බොත්තම්
දෙකක් විවරව පැවතිණි. හරිහැටි නොපීරූ ඔහුගේ හිසකෙස් තැනින් තැන රිදී පැහැයට හැරී
තිබුණි. නමුත් ඔහුගේ සෘජු නාසයෙන් තියුනු දෙනෙත් වලත් වුයේ කොහේ හෝ දැක හුරු
පුරුදු බැල්මකි.
“වාඩිවෙන්න
මහත්මයා, මොනවාද සංවිධානෙ ඉල්ලීම් ”
“අපි ඉල්ලන්නේ
ඡන්ද අපේක්ෂකයින් කිසිම කෙනෙකුට කැමති නැතිනම් ඒක ලකුණු කරන්න ජන්ද පත්‍රිකාවේ
ඉඩක් ලබා දෙන්න කියලා”
“අහා! ශංකර්
මහත්මයා ඔයා මේ ඉල්ලන්නේ NOTA නැත්නම් None of the above පහසුකම නේද? ”
“අන්න හරි!
එතකොට අපට පුළුවන් අපි ඡන්ද අපේක්ෂකයන්ට කොච්චර අකැමතියි ද කියලා පැහැදිලිව අඟවන්න”
“ඒත් ඒකෙන්
පලක් තියෙනවද? ” අර්චනා පෙරළා
ප්‍රශ්න කළාය.
“ඇයි නැත්තේ !
ඒකෙන් හැමෝටම වෙන්නේ යහපතක් ”
“මොකක්ද ඒකෙන්
පුරවැසියෙකුට තියෙන ප්‍රයෝජනේ ”
“ඒක ඔබතුමියට
මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපේ විශ්වවිද්‍යාලයේ අපි එක්ක ඉගෙන ගත්තා
ලස්සන ගැහැණු ළමයෙක්. විශ්වවිද්‍යාලයේ තරුණ ශිෂ්‍යයින් කිහිප දෙනෙක්ම මේ කාලයේදී
එයාට ආදරය ප්‍රකාශ කළා. ඒත් අර ගැහැණු ලමයාගේ පිළිතුරවුණේ “ඉහත කිසිවෙකුත් නොවේ” කියන එක. ඒ නිසා එම
තරුණයින් තේරුම් ගත්තා ඔවුන් කාගෙවත් ගතිගුණ හා ස්වභාවයට ඒ ගැහැණු ළමයා කැමති නැහැ
කියලා, ජිවිතයේ කිසිදු
බරපතලකමක් වටහ නොගෙන ජීවත් වුණු ඒ තරුණයින් දැන් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන සාර්ථක
වෙලා තියෙනවා ”
“දෙයියෝ
සාක්කි? ශංකර් උමාකාන්ත්! මේ ඔයාම ද? ” අර්චනා සිං
ගොළුව හිඳ අවසන විස්මයෙන් කටහඬ අවදි කළාය.
“ඔව්, මම දැන්
මහාචාර්ය ශංකර් උමාකාන්ත්, මේ සේරම NOTA නිසා තමයි. ඒ නිසා මේ වතාවෙවත් මගේ යෝජනාව ගැන
සළකා බලන්න. රස්සාවෙදිත් පරස්තාවෙදිත් පසු
තැවෙන්න වෙන තීරණ ගන්න එපා ”
- නිමි. -
ධරණි
උපේකා වීරසේකර
No comments:
Post a Comment