.........towards the stream of thoughts

Friday, April 18, 2014

කඳුකර පුනරාගමනය

"ඔන්න මේ පාර නම් බැහැ බැහැ ගාන්න එපා. ගිය සැරෙත් බොරුවක් කියල ට්‍රිප් එක මග ඇරියා"

ධනංජයගේ ගෝරනාඩුව ජංගම දුරකථනය හරහා උස් ස්වරයෙන් මගේ සවන් පත් මතට ගලා ආවේය.

"හරි හරි මේ පාර අනිවාර්යයෙන් එනවා!" මම ඔහුගේ පෙරැත්ත කිරීම නිසාම පැවසුවෙමි.

"ඇති යන්තම්"

" දැන් අපි කොහෙද යන්නේ?"

"නුවරඑළි !"

ඔහු ඒ වදන පවසනවාත් සමගම මගේ උගුර කට වියලී ගියේය. මිහිපිට ඕනෑම මනුෂ්‍යයෙකුටම අමතක කළ නොහැකි අතීතයක් ඇත. මගේ ඒ අමතක කළ නොහැකි අතීතය බැදි තිබුණේ නුවරඑළිය වටා ය. මා වසර ගණනකින් එහි පය නොගසුවේ හිතා මතාය. එම භූමිය සිහිවෙත්ම මගේ සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ මූසල ගතියකි.

මහා දවාලක වුවද ඔහුගේ අවසන් විලාපය සුළඟ සමග පැටලී විත් මගේ ලොමු දහ ගන්වයි.

දෙවියනේ!සැතපුම් ගණනක් ඈත කොළඹ සිටියදී පවා නින්ද අහිමි කරන , බියකරු සිහින වලින් මා සැම විටම පීඩාවට  ඒ අඳුරු අතීතයට  මම සාප කළ තරම්! දැන් ඒගොල්ලන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒ නරකාදිය බලන්න යන්න.!

"මොකද ඒ පාර උඹ කතා නැත්තේ?  දැන් යන්න බෑ කියන්නද හදන්නේ?"

"මම ඔය සීතල පළාත් වලට ආස නැහැ බං" මම නොසැලකිලිමත් ලෙස කීවෙමි.

"විකාර කියවන්න එපා කාවිංග. එහෙ තියෙන්නේ හරිම ලස්සන පරිසරයක්. උඹට කවි එහෙම ලියන්න නියමෙට ගැළපෙන දේශගුණයක් තියෙන්නේ. කොහෙද ඉතින් උඹ කොළඹින්  අඩියක් හොල්ලන් නැතුව ඒ ගැන දැන ගන්න විදිහක් නැහැ නෙ? "

"බ්‍රයන්ව දාල යන්න බැහැ බං"

"බල්ලෙක් හින්ද උඹ මේ ට්‍රිප් ඒක නොයා ඉන්නද හදන්නේ? ඔච්චරටම දුකයි නම් ඌව අරන් යමු"

"එහෙ සීතල ඔරොත්තු දෙයිද?"

"අවුලක් වෙන්නැති වෙයි.විකාර නැතුව දහ නව වෙනිදා පාන්දර පහ වෙද්දී ලෑස්ති වෙලා ඉදපන්. මම අදීෂවත් දාගෙන එන්නම්! එහෙනම් හරි නෙ මම අපි තුන් දෙනාට හොටලෙකුත් බලනවා එහෙනම්. කලින් බූක් කලේ නැත්තම් ඉඩ නැති වෙයි"

මට කිසිවක් පැවසීමටවත් ඉඩක් නොදුන් ධනංජය බලෙන් මෙන් මගේ පැමිණීම තහවුරු කර ගෙන දුරකථනය විසන්ධි කළේය.

කිසිවක් සිතා ගත නොහැකිව මම ඉස්තෝප්පුවේ සිමෙන්ති පඩිය මත වාඩි වුණෙමි. විදුලි පංකාවේ සුළගින් හරි වැරදි ලකුණු කළ නිබන්ධන වල පිටු සෙලවිණි. බ්‍රයන්ගේ  ඉසියුම් කෙදිරිලි හද රාත්‍රියේ නිහඩතාවය මැදින් ඇසෙන්නේ  දුක්බර ස්වරයකිනි.


                                      ****************************

 " අතීතයේ වෙච්ච ඒක සිදුවීමක් නිසා මෙච්චර හිතින්  දුක් විදින්න එපා !" මම මටම කියා ගත්තෙමි.

අවසන් වරට ගමන් මල්ල පිරික්සූ මම බිත්ති ඔරලෝසුව දෙස බැල්මක් හෙළුවෙමි.
ඒ සමගම ගේට්ටුව දෙසින් ධනංජයගේ ජීප් රථයේ සුපුරුදු නළා හඩ ඇසිණි.

"ඔන්න අපි කිව්ව වෙලාවටම තිතටම!"

ජීප් රටයේ පිටුපස අසුනේ මම බ්‍රයන් සමග වාඩි වුණෙමි.

" හැබෑට  උඹට මේ බල්ලව දාල එන්න බැරි වෙච්ච් හැටියක්" අදීශ සරදම් කළේය.

ඔවුන් කෙසේ කීවද බ්‍රයන් මා සමග සිටීම මගේ බිය දශමයකින් හෝ අඩු වීමට හේතු විය.


 ගැටඹේ පන්සල අසලදී රියෙන් බැස ගත මම පඩුරු දැමීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණෙමි.

 " මූ අද හරි ධාර්මික උපාසකය වෙලා" ධනංජය  කොක් හඬ ලා සිනාසෙමින් කීවේය.

" තේ ටිකක් බිව්වනම් හොඳයි  දිව ගිලෙන්න වගේ" අදීෂ පැවසුවේය.

ධනංජය හා අදීෂට තේ බීමට ඉඩ හැර මම දෙඅත් කලිසම් සාක්කු වල රුවා ගෙන අවන්හලේ ඔබ මොබ සක්මන් කළෙමි.

"ඔබ මොනවත් බිව්වේ නැද්ද?"

" නෙස්කැෆේ එකක් බිව්වා"

" අනේ මන්ද තේ නොබොන මනුස්සයෙක් මන් මේ දැක්කමයි. මන් හිතුවේ ඔය පුරුද්ද ජොබ් එකක් කරනකොට වත් අත් ඇරෙයි කියල"

මම සුපුරුදු ලෙස මුනිවත රැක්කෙමි. තේ කෝප්පයක් දකින වාරයක් පාසා  තේ පදුර පාමුල බෙලහීනව වැටි සිටි ඔහුගේ තුවාලයෙන් ගලා ගිය ඝන රක්ත පැහැ රුධිරය ඊට මුසුව ඇතයි මට හැගේ. ඒ මානසික ව්‍යාධිය නිසාම මට ඔක්කාරය ඇතිවේ. පහළොස් වසක් පමණ තේ බීමෙන් ඈත්ව සිටීමට හේතුව එය බව ඔවුනට කෙසේ කියන්නද?


රථය කෙමෙන් කෙමෙන් කඳුකර මාර්ගයට අවතීරණය වෙනවාත් සමඟ මගේ මතකය බාල කාලය දෙසට දිව ගියේය. ඇතැම් විට මම මේ මාර්ගයේ සැතපුම් ගණන් පයින් ඇවිද ගොස් ඇත. පියා අපව හැර දමා ගිය දිනයේ පටන්  කටුක වූ ජීවිතයේ සැමරුම්  මගේ දෙනෙත් තෙත් කළේය.

මනසේ වූ ව්‍යාකූල බව පිටතට නොපෙන්වූ මම ධනංජයගේ ගී ගායනයට හවුල් වුණෙමි. නමුත් මගේ සිත බොහෝ දුර ගොස් තිබුණි.

බ්‍රයන් මාගේ දෙපා පාමුල නින්දට වැටි සිටියේය. වසර ගණනාවක් ක්ෂය රෝගයෙන් පීඩා විඳි මවගේ මරණයෙන් පසු මගේ බිය හා තනිකම තුරන් කලේ මේ ආදරණීය සුනඛයාය.

රථය රම්බොඩ උමගට ඇතුළු වෙද්දී මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. තද සීතල කාලගුණයක වුව නළලින්  මතු වූ කුඩා දා බිඳු වල තෙතමනය මට හොදින් දැනුණි.

කිසිවෙකු මා පිටුපස සිටින්නේය යන හැගීමක්  මගේ සිත තුල හොල්මන් කරන්නට විය. මම විගසින් පිටුපස හැරී බැලුවෙමි. අප තිදෙනාගේ ඇදුම් මලු හැරුනුකොට පණ ඇති කිසිවක්  රථය තුල නොවීය.

වාහනයට පසකින් වූ බිහිසුණු ප්‍රපාතයේ සිට සුදු ජාතික වතු අධිකාරි වරයාගේ  මර ළතෝනිය කදු මුදුන් වල හැපී දෝංකාර දෙන්නක් මෙන් මට ඇසිණි. ඒ අඳුරු මතකයන් සියල්ල මිහිදන්ව තිබු  වුල්ෆ්හිල් වතු යාය වෙත වැටි තිබු පටු බොරළු මාවතෙන් වාහනය හරවන විට මගේ බිය දෙගුණ තෙගුණ විය.



"අපි මේ කොහෙද යන්නේ අදීශ?"

මම අඩක් විස්මයෙන් හා අඩක් භීතියෙන් යුතුව ඇසුවෙමි.

" අපි අද නවතින හෝටලේ තියෙන්නේ මෙතන. අලුතින් හදපු ලස්සන හෝටලයක් . තේ වත්ත කෙළවරේ තියෙන්නේ"

මා මුළු ජීවිත් කාලයටම දැකීමට අකමැතිම ස්ථානය අසල ලැඟුම් ගැනීමට ඔවුන් දෙදෙන තීරණය කිරීම කොතරම් අභාග්‍යයක් ද? නමුත් මෙයට කෙසේ හෝ මුහුණ දිය යුතුය. පසළොස් වසරක් තිස්සේ මේ බිමෙන් වසන් වී සිටියා ඇති!

" වුල්ෆ්හිල් වතු යාය,
 ක්‍රිස්ටෝපර් මැල්කම් ප්ලාන්ටේෂන් ලිමිටඩ්,
 නුවර එළිය."

මීදුම අතරින් හරි හැටි නොපෙනුණු එම නාම පුවරුවේ අකුරු වල පවා හොල්මන් ස්වභාවයක් තැවරී තිබුණි .

                                       **************************

ගමන් විඩාව නිසා රාතී‍්‍ර ආහාරයෙන් පසු අදීෂ හා ධනංජය වහා නින්දට වැටුණහ. කොපමණ උත්සහ කළත් නින්ද මා අසලක වත් නොවීය. බ්‍රයන්ද මගේ සිතැගි හැඳින ගත්තෙකු මෙන් අවදියෙන් පසු විය. තවමත් රාත්‍රී දහය යන්තමින් පසුවූ වා  පමණි. පහත මාලයේ රැස්වූ සංචාරකයින්ගේ  සිනා මුසු කතා බහ දොර විවර කළ විට මට ඇසිණි.

කාමරය වසා දැමූ මම බ්‍රයන්ගේ කර පටියෙන් අල්ලාගෙන පහත මාලයට බැස්සෙමි.

මැදි වයසේ  මිනිසුන් තිදෙනෙක් අල්ලප සල්ලාපයේ දී සිටියහ. මා ඔවුන් අසලින් හිද ගෙන පත්තරයක් බලන්නට පටන් ගත්තෙමි. බ්‍රයන් මගේ දෙපා මුල අවදියෙන් වැතිර සිටියේය. පත්තරය කියවමින් සිටියද ඔවුන්ගේ කතා බහ මට හොදින් ඇසුණි.

"එතකොට මේ වත්තේ නම වුල්ෆ්හිල් නේද?"

" ඔව්, මේ වත්ත ඉස්සර අයිති වෙලා තිබුණේ සුද්දෙකුට. මිනිහ තමන්ගේ යාළුවෙක්ව වතු අධිකාරී කමට පත් කරලාලු තිබ්බේ. ඒත් සුද්දෙක්. "

"ඒ සුදු වතු අධිකාරිගේ චරිතේ නම් එච්චර හොඳ නැහැලු නේද?."

"ඔව් ඔව් තේ දළු නෙලන දුප්පත් ගැහැණු උදවියට මිනිහ හරියට අඩත්තේට්ටම් කළාලු. හැබැයි අන්තිමේදී හොඳ වැඩේ තමයි වුණේ"

"ඇයි මොකද වුණේ?"

" වත්තේ තේ දළු නෙළුව සිංහල ගැහැණු කෙනෙකුටත් මිනිහ කරදර කරලා. ඒ ගැහැණු කෙනාගේ මනුස්සයත් මැරිලා. එයාටත් ක්ෂය රෝගේ හැදිලලු තිබ්බේ."

"ඉතින්?"

" එයාට අඩත්තේට්ටම් කරන්න යද්දී සුද්දට වෙඩි තියල"

" කව්ද වෙඩි තියල තියෙන්නේ?"

" ඒක නම් හරියට දන්නේ නැහැ. එත් සුද්ද කට උත්තරේදී කියල තිබ්බේ අර ගැහැණු කෙනාගේ අවුරුදු දොළහක පුතා තමා වෙඩි තිබ්බේ කියල. මම නම් හිතන්නේ නැහැ අවුරුදු දොළහක පොඩි එකෙකුට ඔච්චර හරියක් කර ගන්න පුළුවන් වෙයි කියල. මොනවා උනත් ඒ සිද්ධියෙන්  පස්සේ ඒ ගැහැණු කෙනයි ලමයි දෙන්නම ගමින් අතුරුදහන් වුණාලු. පොලිසියටත් හොයා ගන්න බැරි වුණා."

"එතකොට සුද්දා?"

"  ලේ ගොඩක් ගියත් සුද්දගේ වෙලාවට වෙඩිල්ල හරියට පපුවට වැදිලා තිබ්බේ නැහැලු. මිනිහ තුවාලේ සනීප වුනු ගමන් ආපහු රට ගියා.දැන් නම් වත්ත බලා ගන්නේ හොඳ සිංහල මහත්තයෙක්"

 ඇත්තටම සුද්දට වෙඩි තිබ්බේ අවුරුදු දොළහේ පොඩි ළමයා නම්  ඒ ළමයාට සම්මානයක් දෙන්න වටිනවා ඒ නිර්භීත වැඩේට "

පත්තරය පසෙකින් තැබූ මම හුනස්නෙන් නැගී සිටියෙමි.

" බ්‍රයන් අපි කාමරේට යමු. දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ" මම සුරතලාගේ කණට කෙදිරුවේ ආත්ම ආඩම්බරය මුසු හැඟුමකිනි.


                                          නිමි