.........towards the stream of thoughts

Sunday, October 5, 2014

සුපෙම් යාත්‍රා (අටවැනි දිගහැරුම )




කෝපි පීරිසිය මත සිහින් අතැගිලි වලින් තට්ටු කරමින් සිටි සාවිත්‍රි  නිහඩබව බින්දාය.

"විදර්ශනගේ හැම චිත්‍රයකම මොකක්දෝ වේදනාවක් හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා"

සාවිත්‍රිගේ වදන් ඔහුගේ සිතට ඇතුල් වූයේ අනාරධිත සුළඟක් මෙනි. දිගු කලක් වසා තිබූ ඒ අඳුරු කුටිය විවර කිරීමට කාලය එළඹ ඇති බව විදර්ශනට වැටහිණි.

"ඕනෙම නිර්මාණකාරයෙක් බිහි වෙන්නේ ඔහුව දවන වේදනා ගින්නක අළු වලින් තමයි "

"බයානකයි !" ඇය හිනැහුණාය

" ඔව් ඒක ටිකක් දිග කතාවක්... ඒත් හැම කලාකාරයෙක් යටම ඒ වේදනා විදින මිනිහ හැංගිලා ඉන්නවා.. සමහර වෙලාවට පිටට පේනවා සමහර වෙලාවට පේන්නේ නැහැ. නමුත් බහුතරයක් ඒ වේදනාව හංගගෙන ඉන්නේ .. " විදර්ශනගේ සිත ගව් ගණන් දුර ගොස් තිබිණි .

" ආයේ ඒක මතක් කරලා හිත පාරවගන්න එපා" සාවිත්‍රි චකිතයෙන් කීවාය.

" ඒ රිදුමත් හරිම අමුතුයි. හීන් මිහිරක් එක්ක එන රිදුමක්.. නැත්තම් මෙහෙම චිත්‍ර ඇදෙයි ද? මට තේරෙන්නේ මම ඒ රිදුම සායම් වලින් දිය කරනවා වගේ. මම පැන්සලෙන් අදින රේඛා යට තියෙන්නේ ඒ රිදුම ද  මන්දා? තවරන පාට වල, පැලට් එකේ ...මේ හැම තැනම එයා සක්මන් කරනවා .. අඳුරත් එළියක් වුණු හීතලත් උණුහුමක් වුණු ඒ අතීතෙට මම තාම ආසයි  " ඔහු ඇගේ රුව මනැසින් දකින නිසාදෝ සිහින් සිනහවකින් විදර්ශනගේ මුහුණ පැහැසර වෙයි.

" සාවිත්‍රි කවද හරි ප්‍රේම කරලා තියෙනවද?"

ඔහුගේ ප්‍රශ්නයෙන් ඇය තත්පර කිහිපයකට නිරුත්තරව සිටියාය. එයට සැබෑ පිළිතුර ඇයවත් දැන නොසිටියාය. විටින් විට හදවතට තෙතක් ගෙන දුන් අය සිටියද ප්‍රේමයක් තෙක් මෝරා ගිය හැඟුමක් ඇගේ සිත තුළ කවදා හෝ ජනිතව තිබුණේද යන වග ඇය හරිහැටි දැන සිටියේ නැත.

" මම දන්නේ නැහැ.." අවසානයේ ඇය සිහින් හඩකින් තෙපලුවාය.

" එකත් හරි"

" ඇයි ඒ?"

" ප්‍රේමයක් ඇති වෙන්නේ හිතටත් හොරා කියල මට හිතෙනවා... පූර්ව දැනුම් දීමකින් තොරව.. හිටි හැටියේම.. සූදානම් වෙන්න කාලයක් නොදී.. සමහර වෙලාවට අහිමි වෙනකම් දන්නේ නැහැ ප්‍රේමයක් තිබ්බද කියලවත්.. තේරුම් ගන්න අමාරුම මනෝභාවයක් ...තවමත් මම ඒක තේරුම් ගන්න උත්සහ ගනිමිනුයි ඉන්නේ"

" ඒක සංකීර්ණයි"

" ඔව් ඒක මං දන්නවා.. වෙන එකක් තියා මට මගේ ප්‍රේම පුරාණයත් අපබ්‍රන්සයක් !"

"ප්‍රේමයත් එක්තරා රෝගයක් .."

" ඔව් රෝග ලක්ෂණ පහල වෙනකොට ඔසුවක් හොයන්න ප්‍රමාද වැඩියි ...මුළු ආධ්‍යාත්මය ම ගිලන් වෙලා ඉවරයි ..."

" කැමතිනම් මට ඔයාගේ ඒ කතාව  මටකියල දාන්න. මම ඒ වගේ කතා අහන්න ආසයි"  සාවිත්‍රිගේ දෙනෙතේ බලාපොරොත්තුවක සිහින් සේයාවක් සනිටුහන් වී තිබුණේ  කුඩා දැරියකගේ මුහුණක සොබා දක්වමිනි.

 "මං දන්නවා ඒක ආර්ටිකල් එකට වැදගත් වෙන්නේ නැති වෙයි.. එත් ඔයා කැමතිනම් විතරක්..." ඇය යළිත් කීවාය.

අවන්හලේ ලී සිවිලිම දෙස නෙත් යොමු කළ විදර්ශන ඔහුගේ අතීත මතකයන් අතර  සැහැල්ලුවෙ පාව ගියේය. සැබවින්ම මේ සියල්ල ඇයට කිව යුතුය. ඔව් බිදුවක් ඒක ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් ගොරහැඩි ලෙස සංස්කරණය නොකරම ඇයට කිව යුතුය.. ඒ නෑබුල් ගතිය තුල ඇගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද? අතීතයට ඇය දක්වන ප්‍රතිචාරය තුළ අනාගතයේ ඔහුගේ රිදුම් දෙන හදවතට මද හෝ අස්වැසිල්ලක් ලැබෙනු ඇති ඔහු අන්ධව විශ්වාස කළේය.

මතු සම්බන්ධයි .