.........towards the stream of thoughts

Tuesday, September 30, 2014

යක්ෂයාගේ කැමැත්ත


 



      ලිම්පොපෝ ගංගාව අසබඩ ලී බංකුවක් මත වාඩි වී හුන් එකොළොස් වියැති ෂෝන් ගල් කැටයක් විසි කර නැගෙන තරංග දෙස ආශාවෙන් බලා සිටියේය. ජල තලයක් දකින හැම මොහොතකම මට මගේ උද්වේගකර නාවික ජීවිතය සිහියට නැගේ.

 " අනේ සීයේ කතන්දරයක් කියන්නකෝ?" ඔහු සිව්වෙනි වතාවට යළිත් ඇවිටිලි කළේය.

 ෂෝන්ගේ කතන්දර ඇසීමේ නොතිත් ආශාවේ නිරන්තර ගොදුරක් බවට පත් වූයේ මාය. ඔහු වයසින් වැඩෙත්ම මෙම ආශාව තුරන් වේ යැයි අපේක්ෂා කළ ද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා වල සිට ශේක්ස්පියර්ගේ කතා දක්වා  මා දන්නා සෑම කතාවක්ම ඔහුට කියා දී තිබුණු අතර ඒ සියල්ල කොතරම් හොඳින් ඔහුගේ මතකයේ ගබඩා වී තිබුණේද කිවහොත් එකම කතාව දෙවරක් කියා ඔහුව මුලා කිරීමට මට නොහැකි විය. එහෙයින් අවසානයේ මම ඇලෙක්ස් කාට්රයිට් නම් මගේ ජීවිතයේ එක අපූර්ව කතාන්දරයක් ඔහුට කීමට හරි බරි ගැසුණෙමි.

 

                                        ********************

             ග්ලොරියස් ක්වීන් නෞකාව කේප් ටවුන්හි නැංගුරම් හෙළා මාසයක් ඉක්ම ගොස් තිබිණි. අප්‍රිකාව සිසාරා තම බලය විහිදුවමින් සිටි එක්සත් රාජධානිය අඳුරු මහාද්වීපයේ නිදන්ව තිබූ රත්රන් හා දියමන්ති ආකර වලින් සිය වාසනාව  ඉහළ නංවා ගනිමින් සිටියාය. ග්ලොරියස් ක්වීන් නැවට පැවරී තිබුණු රාජකාරිය නම් ඒ වස්තු සම්භාරය සුරක්ෂිතව එංගලන්තය වෙත රැගෙන යාමයි.

 නැව් තට්ටුවේ එහා මෙහා ගමන් කරමින් බර කල්පනාවක සිටි ඇලෙක්ස්, කම්කරුවන් පිරිසක් මිනිසෙකුගේ සිරුරටත් වඩා විශාල ලේ තැවරුණු ගෝනියක් නැවට පටවනු දුටුවේය.

 " මේ මොකද්ද?" ඔහු කුහුල මැඩ ගත නොහැකි තැන  කම්කරුවෙකුගෙන් ඇසුවේය.

 " මේ තමා අප්‍රිකාවේ කළු පර්වතයේ අවසානය"

 ඇලෙක්ස් අමාරුවෙන් හුස්මක් ඇල්ලුවේය.

 " ඒ කිව්වේ ....අර..?"

 " ඔව් අප්‍රිකාවේ කළු පර්වතය කියල හැදින්වුව  අර සද්දන්ත හස්ති රාජයාගේ අවසානය තමා මේ.... සර් මේක කිව්වට අමනාප වෙන්න එපා.සුදු මහත්තුරු  කොහොම ඒ සතාට වෙඩි තිබ්බද මන්ද. මනුස්සයෙකුට ඒ වැඩේ  කරන්න බැහැ.කපිතාන් වොල්ටරුත් හිටියා එතන. ..එයාගේ වෙඩිල්ලට තමා සතා මැරුණේ.මේ දළ ගෙනියන්නේ රජ පවුලට ආභරණ හදන්නලු." කළු ජාතික කම්කරුවාගේ දෙනෙත් කඳුලින් බරව තිබිණි.

 "අධිරාජ්‍ය දිගු කල් දිනේවා!"

 ජැටියේ සිටි සුදු ජාතිකයන්ගේ ප්‍රීති ඝෝෂාව ඇලෙක්ස් කාට්රයිට්ට පැහැදිලිව ඇසුණි.

 "ගම් බිම් සේරම විනාසයි. තමුන්නාන්සේලාගේ රටේ මිනිස්සු තවත් පණක් නහන්නේ කිසිම බයක්  නැතුව! මිනිස්සු මරන්නෙත් සත්තු මරනවා වගේ."

 කම්කරුවාගේ වචන ඇලෙක්ස්ගේ හදවත පසාරු කරගෙන ගියේය.

 කපිතාන් වෝල්ටර් ආපසු නෞකාව වෙත පැමිණියේ කිසිවෙකුට මරා දැමිය නොහැකි හස්තියෙකු  ලෙස නම් දරා තිබූ ඒ දළ ඇතා දඩයම් කිරීමෙන් ප්‍රීතියට පත්ව ය.

"ඇලෙක්ස් දන්නව ද අද මම...... "

"ඔව්  මට ආරංචි වුණා"

"කෝ ඉතින් මට සුබ පතන්නෙ නැද්ද? "

"ඒක යක්ෂ සාප වැදෙන අපරාධයක් කපිතාන්"

"පිස්සු බහුබූත! "

ඉහළට නවා තිබූ කමිස අතෙන් නිරාවරණය වූ බාහුව දෙසට ඇඟිලි යැවූ ඇලෙක්ස් කඟවේනෙකුගේ රුව සහිත පච්චය සෙමින් පිරිමැද්දේය. 

 

                                                ***********

        ඒ සැප්තැම්බරයේ අඳුරු වැහිබර රාත්‍රියකි. අත්ලාන්තික් සමුදුර  සිසාරා හමන මුහුදු සුළං වල ද වෙනදාටත් වඩා චණ්ඩ බවක් තිබිණි.   ග්ලොරියස් ක්වීන් නැව දරුණු ලෙස පැද්දෙමින් ගමන් ගත්තාය.

දරුණු ලෙස ගිලන් වූ කපිතාන් වෝල්ටර් හට යන්තමින් හෝ  හිස කෙළින් කර ගත හැකිවුයේ සති දෙකකට පසුවය. එතෙක් ඔහු වෙනුවට සුක්කානම හසුරුවන ලද්දේ ඇලෙක්ස් නැමති තරුණ විය නොඉක්මවූ ඔහුගේ දෙවෙනියාය.

අසනීප වී සිටි කාලය පුරාම ඔහුගේ සුව දුක් සොයා බැලුවේ ඇලෙක්ස් ය. මේ තරුණයා හැරුණුකොට නැව තුළ කිසිදු මිනිස් පුළුටක් ගිලන්ව සිටි කාලය තුළ කපිතාන්වරයා නොදුටුවේය.

නැව පිළිබඳ බලාපොරොත්තු කපිතාන් වෝල්ටර්ගෙන් බොඳ වී ගියේ නැවේ ගමන් මඟ නිරීක්ෂණය කරන විටය.දුරදක්නයෙන් පරක් තෙරක් නොපෙනෙන සාගරය දෙස බැලූ  ඔහු හට  ගොඩබිමක සේයාවක් වත් නොපෙනිණි.

 " කපිතාන් අපිට කොතැනද වැරදුණේ?" ඒ ඔහුගේ දකුණත හා සමාන සහායකයාගේ කටහඬයි.

 " මට තේරෙන්නේ නැහැ. අවුරුදු විස්සක් තිස්සේ මේ මුහුදු රස්සාව කරන්නේ. එත් මේ වගේ දේකට මම කවදාවත් මුහුණ දීල නැහැ. මාලිමා වල දිශාවන් හිටි ගමන් වෙනස් වෙනවා. කාලගුණයත් හරිම අමුතුයි. හුළඟ හමන්නෙත් එකෙක දිසා වන් වලින් නුපුරුදු තාලෙකට.මම අසනීප වෙලා හිටිය ටිකේ මොනවා වෙලාද මන් දා"

 ඔහු බැරෝමීටරය පරීක්ෂා කර ආපසු පැමිණියේ පෙරත් වඩා අවුල් වූ සිතකිනි.

 " අපි මේ ඉන්නෙ කොහෙද?  "

 "සුබ ප්‍රාර්ථනා තුඩුව කිට්ටුව "

 " එහෙම වෙන්නෙ කොහොම ද? අපි කේප් ටවුන් වලින් පිටත් වෙලා දැන් සතියකටත් වැඩියිනෙ "

 " කපිතාන් මම දන්නවා අපට කොතැනද වැරදුණේ කියල"

 ඔහු පුදුමයෙන් තරුණයා දෙස බැලුවේය.

 " අපි ඒ මිනිස්සුන්ගේ රටවල් යටත් කර ගන්නවා විතරක් නෙවෙයි. .. ඒ රටේ සම්පත් සේරම සූරා කනවා. දේපල මංකොල්ලකනවා. ඒ පාපෙට අපි සේරම හවුල්කාරයෝ. තව දුරටත් මේ දේ වෙන්න ඇරලා මට බලාගෙන ඉන්න බැහැ. එංගලන්ත කාරයින්ට නිතර අමතක වෙන දෙයක් තියනවා කපිතාන් ! ඒ මොකද්ද දන්නවද?"

 ඔහු පිළිතුරු නොදී කැළඹීමට පත්ව ඔහේ බලා සිටියේය.

 " එංගලන්ත කාරයින්ට අමතකයි උන් නැව් වලට බඳවා ගන්න මිනිස්සුන්ගෙන් හරි අඩක්ම ඔය පිස්සු අධිරාජ්‍යවාදයෙන් බැට කාපු විදේශික සම්භවයක් තියෙන මිනිස්සු බව. ග්ලොරියස් ක්වීන් නැව වුණත් එහෙමයි"

 " ඇලෙක්ස් තමුසෙට මොන යක්ෂයෙක් වැහිලද?"

 "මෙච්චර කල් යක්ෂයාගේ කැමැත්තට ඉඩ දුන්නු එකයි වැරැද්ද!" ඔහු ගුගුළේය.

 "කපිතාන් ලෙඩ වෙලා හිටිය කාලේ ඇතුළත නැවේ ගොඩක් වෙනස්වීම් වුණා. "සවුත්හැම්ප්ටන් වරායෙන් ගොඩබාන්න තව කිසිම වස්තුවක් ඉතුරු වෙලා නැහැ කපිතාන් වෝල්ටර් !"

 "මොනවා?"

 තරුණ නාවිකයාගේ ශක්තිමත් පා පහරකින් විවර වූ ගබඩා කාමරයේ දොරෙන් කපිතාන්වරයාට දැක ගත හැකි වුයේ සියලු වස්තුව අතුරුදහන් වී ඇති බවයි.

 " දෙවියනේ? කොහොමද එහෙම වුණේ?"

 " අපි ඒ වස්තුව සැබෑ හිමිකරුවන්ට බෙදා දුන්නා. මේ වැඩේ රහසිගතව අරපරිස්සමට කරන්න ඕනේ නිසයි කපිතාන්ව ලෙඩ කරවන්න වුණෙත්. ඒ අනුව පහුගිය සති දෙකක කාලේ අපතේ ගියේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මම කල්පනා කරලා සැලසුම් කළ ඒ හීනය ඉෂ්ට කර ගන්න පුළුවන් වුණා. මේ අද්භූත කාලගුණ විපර්යාසෙත් අපට වෙස් වළා ගත්ත ආශිර්වාදයක් වුණා."

 " ඉංග්‍රීසිකාරයෙක් වෙලා තමුසෙට ලැජ්ජාවක් නැද්ද මේ වගේ වැඩක් කරන්න කාට්රයිට්!"

 " හම සුදු පාට ඉංග්‍රීසි නමක් තියන  හැම මිනිහෙක්ම ඉංග්‍රීසිකාරයෙක් නෙවෙයි. මගේ ඇඟේ තියෙන්නේ දකුණු අප්‍රිකාවේ බන්ටු ගෝත්‍රිකයන්ගේ ලේ."

 කපිතාන්වරයා ඉණෙහි වූ පතරොම් තුවක්කුව ඉවතට ගත්තේය.

 " ඔය තුවක්කුවත් එංගලන්ත අධිරාජ්ජේ වගේම හිස්. ඕකේ උණ්ඩ අයින් කරලා තියෙන්නේ" ඉනික්බිති ඔහු සිවුරුහන් කළේය.

 "තමුසෙ නම් මහ යක්ෂයෙක්!"

" බෝට්ටුව ලෑස්ති කරන්න" ඇලෙක්ස් අණ කළේය.

 "මමයි මගේ හවුල්කාරයොයි  මේ බෝට්ටුවෙන් ආපහු දකුණු අප්‍රිකාවට යනවා.  ඒක ටිකක් අවදානම් තමයි. රට වෙනුවෙන් යුතුකමක් කරලා දැනෙන සතුටින් හිත පිරෙනකොට ඒ අවදානම දැනෙන්නේවත් නැති තරම්. එහෙනම් සුබ ගමන් කපිතාන්තුමා ! දෛවය විසින් ඔබට කැමති දඬුවමක් දෙයි. ඔබේ අවසාන මරණ වරෙන්තුව ලියන්න මට අයිතියක් නැහැ .එංගලන්තේ ජිවත් වෙන එකත් අපිට පිළිකුල්" ඔහු උගුර පාදා සාගරයට කෙළ ගැසුවේය.

                                                         ************

"ඉතින් ඊට පස්සේ?"

 " ඉතින් ඊට පස්සේ ඒ ඇලෙක්ස්ට මුරණ්ඩු, නරකම නරක ෂෝන් කියන මුණුබුරෙක් ලැබුණා"

බොරු අමනාපයක් මවා පාමින් ෂෝන් මොහොතකට නිහඬව හිදී.

 " මට සීයා ගැන ගොඩක් ආඩම්බරයි!" ඔහුගේ දෙනෙත් බබළයි.

 මම  ඔහුගේ අතින් අල්ලාගෙන නිවස දෙසට පිය මැන්නෙමි.

 

 

Monday, September 22, 2014

සුපෙම් යාත්‍රා ( සත්වැනි දිගහැරුම)


විදුලි පංකාවේ ඉසියුම් ශබ්දය පමණක් ඇසෙන විට රහල් ගේ මුවින් වදනක් හෝ පිටවේ යැයි අපේක්ෂාවෙන් සාවිත්‍රි බලා හුන්නාය. අද  පත්තරය දෙස නෙත් හෙලූ ඔහු  අවසානයේ  කටහඬ අවදි කළේය.

" ඒ කියන්නේ එයා ආර්ටිකල් එකක් ලියනවට කැමතිම නැහැ?"

" නැහැ සර්!"

" ඒ මොනවා වුණත් කොහොම හරි මට විදර්ශන සේනානායක ගැන ලිපියක් ඕනෙමයි"

" එයා හරි අමුතු කෙනෙක් සර්. ප්‍රසිද්ධියට කොහොමටවත් කැමති නැහැ. එයාගේ ප්‍රදර්ශනේට කලින් ආර්ටිකල් එකක් ලියාගන්න බැරි වෙයි"

" කල් ගියත් කමක් නැහැ. කොහොමහරි මේ කලාකරයව අපි අපේ රටේ මිනිස්සුන්ට අදුන්නලා දෙන්න ඕනේ. නැත්තම් ඒක මහා අපරාදයක්"

" ඉතින් දැන් මම මොකද කරන්නේ?"

" කෝකටත් ඔයා ආයේ ගිහින් එයාව හම්බ වෙන්න"

සාවිත්‍රිගේ දෙනෙත් විස්මයෙන් මහත් විය.

" ආයෙමත්?"

" ඔව් සාමාන්‍ය යාලුවෙක් මුණ ගැහෙනවා වගේ හම්බවෙලා ආර්ටිකල් එකට තොරතුරු එකතු කර ගන්න. ඔය වගේ මිනිස්සු ගොඩක් වටිනවා. මගේ යටිහිත කියනවා මිනිහා ළඟදීම සම්මානයක් දෙකක් දිනා ගනී කියල. එහෙම වුණොත් අනික් පත්තර වලට කලින් එයාව අපි අදුන්නලා දීල තිබුණොත් ඒක පත්තරේ නමටත් හොඳයි"

" එයා චිත්‍ර අදින්නේ සම්මාන බලාගෙන නෙවෙයි සර්"

" හැමෝම ඔය කතාව කියනවා තමන්ට සම්මාන හම්බෙන්න කලින්. ඒවා හම්බෙනවට අකැමැති කෙනෙක් නැහැනේ."


සාවිත්‍රි යාන්ත්‍රිකව හිස සැලුවාය.


                                                     ****************

වායු සමීකරණය කරන ලද අවන්හලේ සුවදායි වායුගෝලයට උණුසුම් කොපි සුවඳද මුහු වී තිබිණි.සාවිත්‍රිගේ සිත දෙගිඩියාවෙන් බර වී තිබිණි. කෙළවරම මේසයේ  කල්පනාවක නිමග්නව හුන් විදර්ශන සේනානායක නෙත ගැටීමට ඇයට ගත වූයේ නිමේෂයකි.

"සොරි විදර්ශන , ට්‍රැෆික් හින්ද පොඩ්ඩක් පරක්කු වුණා."

" අය්යෝ ඒකට කමක් නැහැ. මාත් ගෙදරට වෙලා කම්මැලි කමේ හිටියේ"

කෝපි කෝප්පය ඇය දෙසට සෙමින් තල්ලු කළ ඔහු විමසුම්සහගත බැල්මක් සාවිත්‍රි දෙස හෙළුවාය.

" දැන් මට මොකද එන්න කිව්වේ?"

" විශේෂයක් නැහැ විදර්ශන"

" ඒකනම් එච්චර පිළිගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි" ඔහු සරදම් සහිත සිනහවක් කැටිවූ මුවින් ඈ දෙස බැලුවේය.

" ඇයි ඒ"

" මට පේන්නේ ආර්ටිකල් ඒක ලියා ගන්න බැරි වුනු නිසා ඔයා මිස්ටර් රහල් ගෙන් හොඳටම  බැනුම් අහල"

" නැහැ . සර් මට බැන්නේ නැහැ.. ඒත්..."

" ඒත් කොහොම හරි ආර්ටිකල් එක ඕනේ කිව්වා නේද?"

" ඔයා කොහොමද දන්නේ?"

" කලාකාරයින්ට සමහර දේවල් ඉවෙන් වගේ තේරෙනවා . එකයි ඒගොල්ලෝ අනික් අයගෙන් වෙනස්"

කිසිවක් නොදෙඩු සාවිත්‍රි ලේන්සු කෙළවරකින් දාඩිය පිස දැමුවාය.

විදර්ශනගේ දෙනෙත් නතරව තිබුණේ ඇයගේ සිහින් දිගු ඇඟිලි අසලය. කිසිවක් ආලේප කර නොතිබූ ලා රෝස පැහැ සුමට නියෙන් යුත් ඒ දෑත්වලින් කියා පෑවේ කලාව දෝතින් දරා ගෙන උපන්නියකගේ ලකුණුය. එහෙත් ඒ කලාකාරිය ඇය තුළ කොහේ හෝ සැඟවී සිටිනවා විය යුතුය. ඒ ඔහු මේ දකින පුවත්පත් කලාවේදිනිය නොවේ.
 
"ඇත්ත, මට ඔබ ගැන ආර්ටිකල් එකක් ලියන්න බාර දී තිබෙනවා තමයි..නමුත් ඒ ආර්ටිකල් එක ලියන්න සීමාවක් මායිමක් සොයා ගත නොහැකිවයි මා ඉන්නේ..'' සාවිත්‍රී පැවසුවේ විදර්ශනගේ නෙත දෙස එක එල්ලේ බලමිනි...

කෝපි කොප්පය මඳින් මඳ තොලඟ ගාවමින් කෝපි රසය විඳිමින් සිටි විදර්ශනගේ මුවෙහි පළ වූයේ සිනහවකි.. ඒ කියන්නේ ඔබට මා ගැන කියවීමක් අවශ්‍යයි...

''ඔව් සැබවින්ම''...සාවිත්‍රී පැවසුවේ අභිලැස පිරි නෙතකිනි.

මතු සම්බන්ධයි ...

ලියන්නේ ධරණී වීරසේකර සමඟ ෂෙනාල් රාජකරුණානායක


 

Tuesday, September 2, 2014

සුපෙම් යාත්‍රා ..නිකැළැල් ප්‍රේමයේ තීර්ථය සොයා (සවැනි දිගහැරුම)

" මට සමාවෙන්න බාධාවක් වුණා නම්. මම ඇවිත් ටිකක් වෙලා. වැඩේ අතරමගදී කතා කරන්න හොඳ නැති නිසයි හිටියේ."

"චිත්‍ර අදිනවා කියන්නේ භාවනාවක් වගේ වැඩක්.  නිරාමිස භාවනාවක් නම් නෙවෙයි. මේ චිත්‍ර එක්ක මම ගොඩක් ඇලෙනවා .ඔයා මගේ දැහැන බින්දා... අහා ඒකට කමක් නැහැ."  ඔහු පින්සල් පසෙක තබා හිස එසවූයේය.



සාවිත්‍රි ඔහුගේ මුහුණ පැහැදිලිව දුටුවේ එවරය. ඇයගේ දෙනෙත් විස්මයෙන් මහත් විය. හරි මට මතකයි.මේ ඔහුය! එය කෙතරම් අහම්බයක්ද?

" මන් හිතන්නේ අපි මීට කලින් කොහේදී  හරි මුණ ගැහිලා තියෙනවා.  පොත් ප්‍රදර්ශනේදි නේද? අර මට ගත්ත පොත දීලා ගියේ ගොඩගේ ස්ටෝල්  එකේදී"

"එහෙම දෙයක් වුණා මතකයි. එත් මට මූණ හරියට මතකයක් නැහැ. එත් ඔයා මේ ඇවිත් ඉන්නේ ඒ පොත මට ආපහු දීල යන්න වෙන්න බැහැ." විදර්ශන කීවේය.

සාවිත්‍රි මදක් විළියෙන් රතු විය.

" නැහැ මම සාවිත්‍රි. පත්තරේ වැඩ කරන්නේ. රහල් සර් තමයි මාව එව්වේ සම්මුඛ සාකච්ඡාවක් ගන්න කියල"

" මම ඔය දේවල් වලට ඒ හැටි කැමැත්තක් නැති බව මම රහල්ට පැහැදිලි කරලා කිව්වා. ඒ තියෙද්දිත්....මම දන්නේ නැහැ යි ඔයාව එව්වේ කියල..කොටින්ම මන් කැමති නැහැ මන් ගැන අනවශ්‍ය ප්‍රචාරයක් පත්තර වලින් දෙනවට. ඒ හින්ද මන් ඔය වැඩේට කැමති නැහැ. සමාවෙන්න"

" එහෙම කරන්න එපා. විදර්ශන මහත්මය, මම රහල් සර්ට පොරොන්දු වුණා ආර්ටිකල් එකක් දෙනවා කියල. මේක මගේ රස්සාවටත් හරි නැහැ."

අපක්ෂපාතී ලිපි නිසා දේශපාලකයින්ගේ නිරන්තර ක්‍රෝධයට පාත්‍ර වන සාවිත්‍රි මදක් හෝ සැනසුමක් ලැබුවේ මෙවැනි ලිපියක් සම්පාදනය කිරීමට ඉඩ ලැබෙන විටය. ඒ සදහා ඇති අවස්ථාව ගිලිහී යාමට ඉඩ දිය නොහැකිය.

"අපිට සාමාන්‍ය පිළිසදරක යෙදෙන්න පුළුවන්. හැබැයි සම්ප්‍රදායික සම්මුඛ සාකච්ඡාවක් නම් එපා. රහල්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් වුනොත් මම කියන්නම්කො මමයි එපා කිව්වේ කියල"

සාවිත්‍රි කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ බැල්මක් හෙළුවාය.

"එයා එපා කිව්වට කමක් නැහැ. කොහොමහරි ඕනේ විස්තර දැනගත්තොත් ආර්ටිකල් ඒක ලියන්න පුළුවන්." ඇය සිතුවාය.


"මම සායම් ටික හෝදගෙන එන්නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න". ඔහු අලංකාර වේවැල් පුටුවක් පෙන්නුවේය.

නිහැඩියාව මුසු නිස්කලංක පරිසරය සාවිත්‍රිගේ සිත පැහර ගත්තේය. ඊයේ පතිත වූ වරුසාව නිසා  තවමත් වාතයේ පැවතියේ ජාල වාෂ්ප මුසු සිසිල් බවකි. චිත්‍ර එල්ලා තිබූ බිත්තිය දෙස  ඇය බලාගත්වනම සිටියාය.

ඔහු ආපසු පැමිණියේ තීන්ත පැල්ලම් වැකුණු ඇඳුම වෙනුවට අලුත් ඇඳුමක් ඇඳගෙනය. නමුත් ඔහුගේ කේශ කලාපයේ  තිබූ අපිළිවෙල පෙර පරිදිම පැවතිණි. ඔහු ඇය සමීපයෙන්ම හිඳ ගන්නා විට ප්‍රසන්න ඖෂධීය සුවඳක් ඔහු වෙතින් වහනය විය.

" විදර්ශන මහත්මයා ඇයි ප්‍රසිද්ධ වෙනවට ඔය තරම් අකැමැති ?" සාවිත්‍රි ඇසුවාය .

"මහත්මය කියන්න ඕනේ නැහැ" ඔහු සිනා සුණේය.  සාමාන්‍යයෙන් කලාකරුවන් කෙරෙන් දක්නට ලැබෙන බුලත් කහට හෝ සිගරට් කහට බැදුණු දුර්වර්ණ දත් පෙළක් වෙනුවට ඔහුට හිමව තිබුණේ දීප්තිමත් දසන් පෙළකින් එළිය වූ සිනහවකි.

" මම චිත්‍ර අදින්නේ මගේ සතුට වෙනුවෙන් මිසක් ප්‍රසිද්ධ වෙන්න නැත්තම් මුදල් හම්බ කරන්න නෙවෙයි" ඔහු නිවුණු හඩින් කීවේය.

"එතකොට සල්ලි? එතකොට ප්‍රදර්ශනයක් තියන්නේ?"

" කාටවත් අත නොපා ජිවත් වෙන්න තරම් සල්ලි මා ගාව තියෙනවා. ඒ ඇති. ප්‍රදර්ශනේ තියන්නේ මගේ නිර්මාණ අනික් අයටත් බලා ගන්න ඉඩක් ලබා දෙන්න."

" විදර්ශන චිත්‍ර අදින්න මුලින්ම යොමු වුණේ කොහොමද?"

"ආයෙත් මාව ඉන්ටර්වීව් කරන්නද හදන්නේ?" ඔහු සිනා සෙමින් ඇසුවේය.

"අපෝ නැහැ නැහැ. මම නිකං දැනගන්න ඇහුවේ"

" මම දන්නේ නැහැ කවදද හරියටම ඒකට යොමු වූණේ කියල. එත් ඒක හරියට සසර පුරුද්දක් වගේ. සමහර දේවල් අපි හිතල නෙවෙයි කරන්නේ. ඉබේ ඒ පිළිවෙලට සිද්ධ වෙනවා. මේකත් හරියට ඒ වගේ. ඒ වෙලාවට ඒ දේවල් වලට ඉරණමේ විදිහට වෙන්න දෙන්න ඕනේ "

" ඒ කිව්වේ?"

"මගේ අම්මවත් තාත්තවත් කවදාවත් හිතන්න නැතුව ඇති මම පින්සලක්වත් අල්ලයි කියල. මම උසස් පෙළට ඉගෙන ගත්තේ වාණිජ. ජීවිතේට පින්සලක් අතට ගත්තෙත් උසස් පෙළ පන්තියේදි. එතකොට විභාගෙට මාසයයි. නමුත් එදා මට තේරුණා මෙච්චර කල් මම ගිහින් තියෙන්නේ වැරදි පාරක බව. නමුත් පටන් ගත්තා දේ අත් ඇරලා ආපහු හැරෙන්න කල් මදි. ඒ හින්ද මන් විභාගේ ඉවර වෙනකම් ඉවසීමෙන් හිටියා. කැම්පස් එකේදී ගණන් හදන ගමන් චිත්‍ර ඇන්දා. උපාධිය ඉවර වුණාට පස්සේ මන් ආසාවෙන් හිටියා දේ පූර්ණ කාලින කරන්න පටන් ගත්තා."

"නමුත් ඔබගේ චිත්‍ර වල තියෙන්නේ වසර දහයක් පහළොවක් තිස්සේ මේ කලාව ප්‍රගුණ කළ කෙනෙක්ගේ පරිණතබව."

"පරිණතබව ඇති වෙන්නේ වයස එක්ක නම් මේ ලෝකෙ ඉන්න වයස්ගතම කෙනා තමයි පරිණත බැවින් වැඩිම වෙන්න ඕනේ.ඒත් එහෙම නැහැ. ඒක ඇති වෙන්නේ අත්දැකීම් එක්ක "

" හාහා කතා කරලනම් මට දිනන්න බැරි වෙයි වගේ" යි සිතු සාවිත්‍රි සෙමින් හිස වනා එය අනුමත කළාය.

මතු සම්බන්ධයි

ලියන්නේ ධරණී වීරසේකර සහ ෂෙනාල් රාජකරුණානායක