.........towards the stream of thoughts

Saturday, November 30, 2013

සමනල සිරස හිඳ


හමු නොවෙන විට දවසක් දෙකක්

දැනෙයි සියවසක  මෙන් හුදකලාවක්

මුවෙන් නිතරම නොදෙඩුවත් පෙම් වදන්

සිතෙන් පෙම් කරන වග දනී දැන් හදවතත්

 

සුගම මුත් බරැති ආදරය හිස දරා ගෙන

කරන තරණයකි ජීවිතේ මහ ගිරි දඹ

සිත්තමක් සේ සිත රැඳුණු ඔබ සනහස

ගෙත්තමක් කරන්නම් ගෙත්තම් පාන ළඟ

 

සිව් මහා නදී ඌලය ද නුඹ වසන් වුණ

සමනල සිරස මත රසඳුනක් වී ගලන

ආවාරෙක වුව ද හිත වෙත තෙතමනය දෙන

සීත ගඟුලත් නුඹයි සීත මුත් සුව ගේන

 

හද දෑලවර මල් පිපි සේ ම පෙර දාක

දෑඟිලි බැඳෙන දිනයක් එයි ද මතු දාක

එවන් දිනයක් නොඑයි නම් හිනැහෙන්න

ඉර සේවයක් කුමට තනිව හිඳ නරඹන්න

 

ධරණී ©

 

 

 

Thursday, November 14, 2013

වෙරෝනිකා




හිරු ගිලෙන  කඳුළු සමුදුරේ 

චණ්ඩ රළ පෙළ අතරේ

ටයිටැනික් සිහින මවනා

වෙරෝනිකා


පා දවන වැලි තලය අතරින්

ආදරේ සුදු

පබළු කැට මතු වේවි ද

වෙරෝනිකා

 

සැඩ කුණාටුව මැදින්

 ගල්පර මතින්

නෞකාව මුහුදුබත් වේවි ද

 වෙරෝනිකා


මායාවකි දුර ක්ෂිතිජ රේඛාව

ඉඩ නෑ අහසකට එක් වෙන්න

සීත මීදුමට ඉඩදී ඈතට වෙන්න

වෙරෝනිකා

දැන් දනිමි එයට පිළිතුර


සඳු නැඟෙන්නට ළඟ බව

දැන අහස් ලිය කොපුලත

මැවෙන ඒ සොඳුරුතම

සුරත් පැහැය ම යි

රැඳුණේ ඔබේ වුවනත

 

ඔබ ද මා හා මුණ ගැහුණ

එදින මේ අහස් වියන යට

ඔබට පෙම් කරන වග

නොසඟවා පැවසි සඳ

 

නිසල දිය පිරි පොකුණක

දියෙහි පැහැ ගත් දෙනුවන

පහන් තරු දෙකක් එකවර

පෑයූ සේ එකළු විය

ඔබේ පෙම්බර නෙත්සර

 

මෙතෙක් කල් හදෙහි තෙරපෙන

පැනයක් තිබුණි නොඇසුව

කිම ද මුළු ලෝකයම ඔබ සමඟ

කියාගන්නට නොහැකි තරමටම මනහර

දැන් දනිමි එයට පිළිතුර

 

©ධරණී